වෘත්තීය නිපුණතාවයෙන් යුත් උපාධිධාරියෙකු බිහිකිරීමේ වගකීම බලධාරින් තවදුරටත් අතපසු නොකළ යුතු බව ජනපති පවසයි.

වෘත්තීය නිපුණතාවයෙන් යුත් උපාධිධාරියෙකු බිහිකිරීමේ වගකීම බලධාරින් තවදුරටත් අතපසු නොකළ යුතු බව ජනපති පවසයි.

දේශීය මෙන්ම විදේශීය රැකියා වෙළෙඳපොළට ගැළපෙන වෘත්තීය කුසලතාවයෙන් සහ නිපුණතාවයෙන් යුත් උපාධිධාරියෙකු මෙරට විශ්වවිද්‍යාල පද්ධතිය තුළින් බිහිකිරීමේ වගකීම බලධාරින් තවදුරටත් අතපසු නොකළ යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් රචිත ‘ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ රැකියා වෙළෙඳපොළ අතර ඇති නොගැලපීම’ නම් ග්‍රන්ථය එළිදැක්වීමේ අවස්ථාවට අද (02) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ දී එක් වෙමිනි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රැකියා වෙළෙඳපොළට ගැළපෙන ලෙස අධ්‍යාපන පද්ධතියේ සැලසුම් සහ ප්‍රතිපත්ති වෙනස්විය යුතු බවට වන හඬ අද ඊයේ අපේ රට තුළ නැගුණු හඬක් නොවන බවයි.

එය දීර්ඝ කාලීන ඉල්ලීමක් වුව ද, කෙතරම් පර්යේෂණ වාර්තා එළි දැක්වුව ද එම ගැටලුවට නිසි විසඳුමක් තවමත් ලැබී නොමැති බව සඳහන් කළ ජනාධිපතිතුමා තම වෘත්තීය අයිතිවාසිකම් පමණක් ඉල්ලා හඬ නඟන කිසිවෙකුගේ අවධානය ඒ පිළිබඳ යොමු නොවීම පිළිබඳව ද කනගාටුව පළ කළේය.

මෙහිදී ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ උපාධිධාරින් රැකියා ඉල්ලා මහපාරේ කෑ ගසන යුගය නිමා වන්නේ ද මෙම ගැටලුවට නිසි විසඳුමක් ලැබුණු දිනක බවයි.

ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් අධ්‍යාපන විද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය වෙනුවෙන් සම්පාදනය කරන ලද පර්යේෂණ නිබන්ධනය ‘ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ රැකියා වෙළෙඳපොළ අතර ඇති නොගැළපීම’ නමින් මෙලෙස ග්‍රන්ථයක් ලෙස එළි දක්වා තිබේ.

ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතියේ මූලෝපාය හැකියා පිළිබඳව මෙම ග්‍රන්ථයෙන් ගැඹුරින් සාකච්ඡා කෙරෙන අතර රැකියා වෙළෙඳපොළ තුළ මතු වී ඇති අභියෝග හරහා සමස්ත අධ්‍යාපන ක්‍රියාවලියේ වගකීම සාකච්ඡා කර තිබේ.

ග්‍රන්ථයේ පළමු පිටපත ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් මෙහිදී ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

කථානායක කරූ ජයසූරිය, තිලංග සුමතිපාල යන මහත්වරුන් ද මහාචාර්ය ජේ.බී. දිසානායක, මහාචාර්ය මොහාන් ද සිල්වා යන මහත්වරුන් ඇතුළු ආචාර්ය මහාචාර්යවරුන්, විද්වතුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මොහාන් ලාල් ග්‍රේරු මහතා විසින් රචිත “ශ්‍රී ලංකාවේ අධ්‍යාපන පද්ධතිය සහ රැකියා වෙළෙඳපොළ අතර ඇති නොගැළපීම” ග්‍රන්ථය එළි දැක්වීමේ උලෙළට සහභාගි වෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව –  2019.02.02 වන දින බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ දී

මගේ හිතවත් මිත්‍රයෙක් වූ ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා සිය දැනුම, මෙන්ම අත්දැකීම් පදනම් කර ගනිමින් ඉතාමත් කාලීන අවශ්‍යතාවක් වන අධ්‍යාපන පද්ධති සහ රැකියා වෙළෙඳපොළට අදාළ පර්යේෂණ ග්‍රන්ථයක් එළිදක්වන අවස්ථාවේ ඔබ හමුවීමට ලැබීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

මහාචාර්ය මොහාන් ද සිල්වා මැතිතුමා ග්‍රේරු මැතිතුමා පිළිබඳව ඉතා දීර්ඝ හැඳින්වීමක් කළා.

මේ පර්යේෂණ ග්‍රන්ථය මේ කාලයට ඉතාමත් වැදගත් වන්නේ ඇයි? අපේ රටේ රැකියා වියුක්තිය 5% – 6% ක් පමණ වෙනවා. පසුගිය වසර තුනහමාරකට පෙර උසස් අධ්‍යාපන හා මහාමාර්ග නමින් අමාත්‍යාංශයක් තිබුණා. විදේශ රටවල ගියාම අපි විවිධ විෂය ක්ෂේත්‍රවල අවබෝධතා ගිවිසුම් අත්සන් කරනවා. එවැනි අවස්ථාවක එක් රටක ඇමැතිවරයෙක් මගෙන් ඇහුවා උසස් අධ්‍යාපන හා මහාමාර්ග කියලා අමාත්‍යාංශයක් නම් කරලා තිබෙන්නේ ඇයි කියලා. ඒ අවස්ථාවේ මගේ ගැලවිල්ලට මම උත්තරයක් දුන්නා.

ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමනි ඔබතුමාගේ පර්යේෂණ ග්‍රන්ථය කාලීන අවශ්‍යතාවක් සම්පූර්ණ කිරීමක්. මේ මඟින් කියන දේ කරන්න අපි කොතෙක් දුරට ලෑස්තිද? මම මේ පොතේ පිටු කිහිපයක් පෙරළලා බැලුවා. එතුමා කිව්වා වගේ උසස් අධ්‍යාපනය, කාර්මික අධ්‍යාපනය, වෘත්තිය අධ්‍යාපනය, තෘතීය ද්විතීය අධ්‍යාපන යන සියලු අංශවල අභියෝගවලට අවශ්‍ය සැලැසුම් සහ විසඳුම් පිළිබඳව මේ පර්යේෂණ ග්‍රන්ථයේ ඇතුළත් වෙනවා. අපේ රටේ මිලියන දෙකකට වැඩිය විදේශයන්හි සේවය කරනවා. මෙතැනින් ලක්ෂ 17 – 18 ක් විතර ගෘහ සේවිකාවන් සහ ඊට සමාන රැකියාවල යෙදෙන අය. දැන් සති තුන හතරකට පෙර මම පිලිපීනයේ ගියා. පිලිපීනයේ ජනගහනය මිලියන 81 යි. මේ මිලියන 81 න් මිලියන 10 ක් ම විදේශයන්හි හෙද වෘත්තියේ සේවය කරන අය. යුරෝපා රටවල සහ ඇමරිකාව, කැනඩාව මැදපෙරදිග කලාපයේ රටවල ඔවුන් වැඩ කරනවා. මෙම හෙද වෘත්තිකයන් තම සේවා කාලය නිමා කරලා තම මව් රටේ ගුවන් තොටුපොළට පැමිණියම මේ අය ව පිළිගන්නේ රෙඩ් කාපට් දාලා. ලෝකයේ හෙද විද්‍යාල අතරින් ඉහළ ම ප්‍රමිතියකින් යුතු හෙද විද්‍යාල කීපයක් ම පිලිපීනයේ තිබෙන බවත් මේ අවස්ථාවේ මට දැනගන්න ලැබුණා. මේ තත්ත්වයන් සැලකිල්ලට ගත්තහම අපි කොහොම ද මේවට මුහුණ දෙන්නේ.

ගරු කථානායකතුමනි, දින කිහිපකට පෙර එක් පැත්තකින් ප්‍රශ්නාර්ථයක්, තවත් පැත්තකින් ලොකු කුතුහලයක්, තවත් පැත්තකින් කනගාටුවක් ඇති වුණු ප්‍රවෘත්තියක් මම දැක්කා. ශිෂ්‍යයෙකුට ගැහුවයි කියලා ගුරුවරයෙකුට බරපතළ වැඩ ඇතිව වසර දෙකක සිර දඬුවමක් මහාධිකරණයෙන් නියම කරලා තිබුණා. හාමුදුරුවනේ මම ගුරුවරුන්ගෙන් හොඳට ගුටි කාපු කෙනෙක්. හොඳට වේවැල් පාර කාපු කෙනෙක්. මම ඒ නඩු තීන්දුව විවේචනය කරන්නේ නැහැ. අපේ රටේ ගුරුවරු දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ ඉන්නවා. මේක දැක්ක ගුරු සේවයේ නියුතු ගුරුවරු ළමයින්ට ඉගැන්වීම පිළිබඳව කොහොම හිතයි ද කියලා මම දන්නේ නැහැ.

විනිශ්චයකාරතුමිය සාධාරණ වෙන්න පුළුවන්. ඒ දරුවාට ගහපු හේතුව කුමක්ද කියලා අපි දන්නේ නැහැ. ගුරුවරයා මොන විදියකට ගැහුවද කියලා අපි දන්නෙත් නැහැ. අධ්‍යාපන අමාත්‍යාංශයේ ම සමීක්‍ෂණ වාර්තා තිබෙනවා දෙලක්ෂ හැත්තෑපන්දහසක් පමණ වන ගුරු සේවයේ ගුරු මහත්ම මහත්මීන් අතරේ ගුරු වෘත්තියට කිසිසේත්ම සුදුසු නැති අය 7% – 8% ක් ඉන්නවා කියලා. එහෙත් මම නම් හිතුවේ ගරු කථානායකතුමනි, ළමයෙකුට ගුරුවරයෙක් ගැසීමේ වරදට ගුරුවරයෙකුට දඬුවමක් දිය යුතු ම නම් මගේ පුද්ගලික අදහස මම හිතනවා, ඒ ගුරුවරයා වැටුප් රහිත ව ආපසු ගුරු විද්‍යාලයකට යවන්න ඕනෑ කියලා. නීතියේ තිබෙන ප්‍රතිපාදන, ඉඩකඩත් එක්ක මේ දඬුවම දෙන්න ඇති. නමුත් මේ නඩු තීන්දු දැක්කහම ගුරුවරයෙක් මීට පස්සේ ළමයෙකුගේ අතින් අල්ලන එකක් නැහැ. හරි නම් අධ්‍යාපන අමාත්‍යාංශය මේ නඩු තීන්දුව ගෙන්වගෙන බලලා මේ රටේ සමස්ත ගුරු පරපුරම දැනුවත් කළ යුතුයි මේ නඩු තීන්දුව පිළිබදව.

මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමා පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක්, ඇමතිවරයෙක්, විද්වතෙක්, අධ්‍යාපන මනෝ විද්‍යාඥයෙක්, දක්ෂ ව්‍යාපාර කළමනාකරුවෙක්. ඒ සියලු අංශවල ඔහු විශිෂ්ටයෙක්. අපේ පාර්ලිමේන්තුවේ ඉන්න 225න් අඩු තරමින් 100ක් වත් ඔබතුමා වැනි චරිත පාර්ලිමේන්තුවට ආවොත් එදාට තමයි මේ රට හැදෙන්නේ කියලා මම විශ්වාස කරනවා. කථානායකතුමාට ඉතින් මේ ගැන හොඳ අත්දැකීමක් තිබෙනවා. මමත් පාර්ලිමේන්තුවේ 27 අවුරුද්දක් අඛණ්ඩ ව හිටියා. ඔබතුමාගේ මේ පර්යේෂණ ග්‍රන්ථයෙන් ඉදිරිපත් කරන නිරීක්ෂණ, නිර්දේශ ගැන තීන්දු තීරණ ගන්න තැන එතන. ඒ විසඳුම් දිය යුතු අය තමයි එතන්ට එන්න ඕනෑ.

මේ රටේ රැකියා වෙළෙඳපොළට සුදුසු විදියට අධ්‍යාපන ක්‍රමය සැලසුම් කළ යුතුයි. ප්‍රතිපත්ති වෙනස් විය යුතුයි කියන හඬ අද ඊයේ හඬක් නොවෙයි. මම දන්න විදියට පසුගිය අවුරුදු 30 – 40 ක් මේ ගැන කතා කරනවා. එහෙම නම් විශ්වවිද්‍යාලයේ දරුවෝ උපාධි අරගෙන එළියට ඇවිල්ලා අදත් මහ පාරේ බෝඩ් උස්සගෙන කෑගහනවා. මේකට විසඳුම් නැත්තේ වැරැද්ද කාගේද? දේශපාලනඥයින් ගේ ද? ජාතික අධ්‍යාපන ආයතනයේ ද? උසස් අධ්‍යාපනයේ විෂය නිර්දේශ හදන අධ්‍යාපන විශේෂඥයින්ගේ ද? ආචාර්ය මහාචාර්යවරුන්ගේද? කාගෙද වැරැද්ද. වැඩේ වෙන්නේ නැහැ. කෙරෙන්නේ නැහැ. මම හිතනවා මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමාගේ මේ ග්‍රන්ථය වගේ ග්‍රන්ථ ගණනාවක් පසුගිය දශක කිහිපයේ එළිදක්වලා ඇති.

මෙතුමාගේ මේ ග්‍රන්ථය ඉතාමත් විශිෂ්ටයි. සමහර විට ඒ සියල්ලට වඩා ඉහළ වෙන්න පුළුවන්. ඒ හැම එකක්ම අපි කියවලා නැහැනේ. නමුත් කෝ ප්‍රශ්නයට විසඳුම්. විසඳුම් දිය යුත්තේ දේශපාලනඥයින් ද? විසඳුම් දිය යුත්තේ මේ විෂය ක්ෂේත්‍රයට අදාළ වගකීම් දරන ඒ ඒ රාජ්‍ය ආයතනවල උසස් අධ්‍යාපන වේවා ඒ ඕනෑම අධ්‍යාපන ආයතනයක අදාළ අමාත්‍යාංශ සහ ආයතනවල විද්වතුන්. මේ රටේ කොච්චර විරෝධතා පෙළපාලි යනවා ද, උපවාස කරනවා ද, සත්‍යග්‍රහ කරනවා ද, මාත් එක්ක අමනාප වෙන්න එපා මෙහෙම කිව්වට. විශ්වවිද්‍යාල ආචාර්ය මහාචාර්යවරුත් පසුගිය කාලේ වැටුප් වැඩි කරන්න කියලා පෙළපාලි ගියා. ඒක වැරැද්දක් නෙවෙයි. නමුත් මේ රටේ මේ මහ පාරට ඇවිල්ලා කෑගහන රැකියා නැති උපාධිධාරීන් මේ ක්‍රමය වෙනස් කරන්න, අධ්‍යාපන පාඨමාලා වෙනස් කරන්න, විෂය නිර්දේශ වෙනස් කරන්න, කුසලතා නිපුණතා සඳහා සුදුසු වෘත්තීය අධ්‍යාපනයට රැකියා වෙළඳපොළට අවශ්‍ය දැනුම වෙළෙඳපොළට ජාතික හා අන්තර්ජාතික දැනුම වෙළෙඳපොළට අවශ්‍ය විදියට උපාධිය හදන්නයි කියලා කී දෙනෙක් පෙළපාලි ගිහින් තියෙනවද? කී දෙනෙක් විරෝධතා කරලා තිබෙනවද? කී දෙනෙක් උපවාස කරලා තිබෙනවද? විශ්වවිද්‍යාල දරුවොත් පෙළපාළි ගිහින් උද්ඝෝෂණ කරමින් වෙලාවකට කොළඹ නගරය හොල්ලනවා. නමුත් මම හිතන්නේ නෑ මේ මාතෘකාව යටතේ පෙළපාලි ගියා කියලා එක දවසක්වත්.

ආචාර්ය මොහාන් ලාල් ග්‍රේරු මැතිතුමාගේ මේ පර්යේෂණ ග්‍රන්ථය මඟින් ඇතිවන සමාජ මතය තුළවත් මේ ප්‍රශ්නයට අවශ්‍ය විසඳුම දෙන්න ඒ සියලු වගකිව යුත්තන්ට අවස්ථාව ලැබේවායි කියලා සුබ පතමින් ඔබතුමාගේ දැනුම, පරිණතභාවය, බුද්ධිය සහ අත්දැකීම් සමඟ අපේ මාතෘභූමියට සහ මුළුමහත් මානව ප්‍රජාවට සේවය කරන්න තව තවත් ශක්තිය ධෛර්යය වාසනාව ලැබේවා යි කියලා සුබ පතමින් ආශිර්වාද කරමින් මම නවතිනවා.

ස්තූතියි.

 

Share This Post

NEW