ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටුකරන මෙහෙවර අගයා ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටුකරන මෙහෙවර අගයා ජනපතිට විශේෂ ජාත්‍යන්තර සම්මානයක්

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ඉටුකරන මෙහෙවර අගයමින් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය ජනාධිපතිතුමා විශේෂ සම්මානයකින් පුදනු ලබයි.

අද (19) පස්වරුවේ කොළඹ ගෝල්ෆේස් හෝටලයේ පැවති උත්සවයකදී ජනාධිපතිතුමා වෙත මෙම සම්මානය පිරිනැමුණු අතර වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානයේ සභාපතිනි මහාචාර්ය Adeera Levin මහත්මිය අතින් එය පිරිනැමිණි.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා ප‍්‍රකාශ කළේ මෙම සම්මානය ශී‍්‍ර ලංකාවේ අසරණ වකුගඩු රෝගීන්ගේ සුබසිද්ධිය සඳහා රජය ගෙන යන වැඩපිළිවෙළට ලැබුණු මහත් ශක්තියක් බවයි. එබැවින් සමස්ත ශ‍්‍රී ලාංකීය ජනතාව වෙනුවෙන් වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය වෙත තම ගෞරවය පුද කරන බව ද ජනාධිපතිතුමා පැවසීය.

රටේ දුගී දුප්පත් අසරණ ජනතාවට දශක දෙකකට වැඩි කාලයක් පුරා මුහුණදීමට සිදුව ඇති මෙම ව්‍යසනයෙන් ඔවුන් ගලවා ගැනීම සඳහා බොහෝ දුර ගමනක් යා යුතුව ඇති බවද සඳහන් කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් සියලුදෙනාගේ දායකත්වය අපේක්ෂා කරන බව ද කියා සිටියේය.

ශී‍්‍ර ලංකාවේ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජාත්‍යන්තරව දක්වන දායකත්වය අගයමින් මහාචාර්ය Adeera Levin මහත්මිය වෙත සහ වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ඉටු කරන දායකත්වය අගයමින් විශේෂඥ වෛද්‍ය තිලක් අබේසේකර, වෛද්‍ය ජෝරිජි ඒබ‍්‍රහම්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධක බලකායේ අධ්‍යක්ෂ අසේළ ඉද්දවෙල යන මහත්වරුන් වෙත උපහාර තිළිණ පිරිනැමීම ද මෙහිදී ජනාධිපතිතුමා අතින් සිදු විය.

අමාත්‍යවරුන් වන රවී කරුණානායක, මහින්ද සමරසිංහ, පාඨලී චම්පික රණවක, ජෝන් අමරතුංග, අර්ජුන රණතුංග යන මහත්වරුන් ඇතුළු මැති ඇමතිවරුන් ද, ජනාධිපති ලේකම් පී.බී. අබේකෝන්, ඇමරිකා එක්සත් ජනපදයේ ශී‍්‍ර ලංකා තානාපති අතුල් කේෂප්, වකුගඩු රෝග නිවාරණ ජනාධිපති කාර්ය සාධන බලකායේ සන්නාම තානාපති ගෝල්ෆේස් හෝටල් සමූහයේ සභාපති සංජීව ගාඩිනර් යන මහත්වරුන් ඇතුළු සම්භාවනීය ආරාධිත පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

වකුගඩු රෝග නිවාරණය වෙනුවෙන් ජනාධිපතිතුමා සිදුකරන ලද මෙහෙවර අගයා වකුගඩු රෝග විශේෂඥ වෛද්‍යවරුන්ගේ ජාත්‍යන්තර සංවිධානය විසින් විශේෂ සම්මානයක් ප‍්‍රදානය කිරීමේ උත්සවයේදී ජනාධිපතිතුමා කළ කතාව (2016-12-20) ගෝල්ෆේස් හෝටලය)

අපේ රටෙන් වකුගඩු රෝගය තුරන් කිරීම සඳහා අපි විසින් තව යායුතු ගමනකටයි අපි මේ එක්ව සිටින්නේ.

වාර්ෂිකව අපේ රටට අලුතින් වකුගඩු රෝගීන් 5000 ක් පමණ එක් වෙනවා. 90 දශකයේ මුල සිට හඳුනාගත් මෙම රෝගය විශ්වවිද්‍යාල අංශයේ පර්යේෂණ අංශ සහ සෞඛ්‍ය අමාත්‍යාංශයේ පර්යේෂණ අංශ පසුගිය දශක දෙකකට වැඩි කාලයක් මේ සම්බන්ධයෙන් පර්යේෂණ පැවැත්වුවා.

ඒ වගේම මම සෞඛ්‍ය ඇමතිවරයා ලෙස සිටි කාලයේ මම ලෝක සෞඛ්‍ය සංවිධානයෙන් කළ ඉල්ලීමක් අනුව ලෝක සෞඛ්‍ය සංවිධානය පර්යේෂණ කරලා වාර්තා දෙකක් ලබා දුන්නා. එම වාර්තාත් අපේ රටේ පර්යේෂණ වාර්තාත් තුළ මේ රෝගය පිළිබඳව අවසන් නිගමනයක් ස්ථීර වශයෙන් ප‍්‍රකාශ නොකිරීම තුළ අපි සෑම කෙනෙක්ම බරපතළ ප‍්‍රශ්නයකට මුහුණ දෙනවා. ඒ වාර්තාවල අදාළ නිර්දේශයන් තුළ මේ රෝගය වැලඳීමට තුඩු දෙන්නා වූ හේතු ගණනාවක් සටහන් කර තිබෙනවා. පර්යේෂණ වාර්තාවලින් තොරව අපි දන්නා පරිදි කෘෂිකාර්මික කටයුතුවල යෙදෙන දුප්පත් අසරණ ගොවි ජනතාව පවුල් පිටින් මේ රෝගයට ලක්වන බව ඔබ දන්නවා.

මැතිවරණයේ ප්‍රතිඵල එන අවස්ථාව වන විට එම ගිණුමට විශාල වශයෙන් ආධාර ලැබී තිබුණා. මැතිවරණ ජයග්‍රහණයෙන් පසුව මේ ගිණුම රජය විසින් ජාතික වකුගඩු අරමුදලක් ලෙස ප්‍රකාශයට පත්කළා. ඊට රාජ්‍ය අනුග්‍රහයය ලැබුණා. පසුගිය වසරේ අයවැය යෝජනාවලදී රවී කරුණානායක මැතිතුමා මේ බැංකු ගිණුම ජාතික වකුගඩු අරමුදලක් ලෙස ප්‍රකාශයට පත්කළා. එදා මෙදා අපි ගෙන ගිය ජාතික වැඩපිළිවෙළට විශාල වශයෙන් සහය ලැබුණා. සෞඛ්‍ය අමාත්‍යාංශයේ සෞඛ්‍යය කාර්ය මණ්ඩල මේ සියලු අංශවලට විශිෂ්ට සහයක් ලබා දුන්නා.

වකුගඩු රෝගය තුරන් කිරීමට අප ගෙන යන වැඩපිළිවෙළ තවත් ශක්තිමත් කළ යුතුයි. අපි ආරම්භ කළ ජනාධිපති කාර්ය සාධන බලකායේ අසේල ඉද්දවෙල මහතා අධ්‍යක්ෂවරයෙක් ලෙස කටයුතු කරමින් විශිෂ්ට මෙහෙවරක් ඉටුකරනු ලබනවා. ජාතික හා අන්තර්ජාතික වශයෙන් මේ පිළිබඳව දැනුවත් කරලා අපේ රටෙන් වකුගඩු රෝගය තුරන් කිරිමට සියලු අංශවල සහය ලබා ගැනීමට සංජීව ගාඩිනර් මහත්මයා තානාපතිවරයෙක් වශයෙන් පත්කරා. එතුමාට මම ස්තූතිවන්ත වෙනවා විශාල කැපවීමකින් එතුමා ඒ මෙහෙවර ඉටුකර තිබෙනවා.

මේ වැඩසටහන පිළිබඳව යම් දවසක අපිට සතුටු වෙන්න පුළුවන් වෙන්නේ අපේ රටේ වකුගඩු රෝගීන් සියයට සියයක්ම තුරන් කිරීම කෙසේ වෙතත් හැකි තරම් දුරට එය අවම කර ගැනීමට හැකිවූදාටයි. අපේ ඉලක්කය විය යත්තේ සියයට සියයකින් එය නැති කිරීමයි. නමුත් එහිදී ප්‍රායෝගික දුෂ්කරතාවයන්, අභියෝගයන් අපි දන්නවා. ඒ නිසයි ජනතාවට අවශ්‍ය. පිරිසිදු පානීය ජලය, ඔවුන්ගේ ජීවන සටන ශක්තිමත් කිරීමට අවශ්‍ය පසුබිම ගොඩනැඟීමට දිය යුතු දායකත්වය සඳහා එක් එක් ක්ෂේත්‍ර මේ වැඩසටහන තුළින් ආවරණය කෙරෙනවා.

මේ සම්බන්ධයෙන් මට ලැබුණු සම්මානයට මගේ ස්තූතිය පුදකරනවා. ඒ ගෞරවය පුදකරන්නේ අපේ රටේ වකුගඩු රෝගීන් වෙනුවෙනුයි. වකුගඩු රෝගීන්ගේ සුබසිද්ධිය සඳහා මේ සම්මානය ලැබුණු බවයි මා විශ්වාස කරන්නේ.

පසුගිය වසරේ පැවැත්වූ මෙවැනි උත්සවයකදී මා ප්‍රකාශ කළේ වකුගඩු රෝගීන් සිටින පවුල්වල දුක්ඛිත ජීවිත පිළිබඳව. රෝගියෙක් සිටින පවුලක ඒ රෝගියා මිය යනවා වගේම ඒ පවුලේ සියල්ලන්ම නොමැරී මැරෙන බව අපි දන්නවා. එය තමයි බරපතළම ඛේදවාචකය. මුළු පවුලක් විනාශ වෙනවා. මෙවැනි තත්ත්වයක් අපේ රට තුළ තිබීම ගැන අපි කනගාටු විය යුතුයි සේම ඒ අභියෝගය අපි සියලු දෙනාම භාරගත යුතුයි. ඒ අභියෝගය බාරගෙන රටේ ජනතාව මෙම රෝගයෙන් බේරා ගැනීමට සියලු අංශවල සහය ලබාගන්නා ලෙස මා සෑම කෙනෙකුගෙන්ම ඉල්ලා සිටිනවා.

අසරණ රෝගීන් ගෙයක් ගෙයක් පාසා සොයා ගොසින් ඔවුන්ගේ දුක්ඛිත ජීවිත කතාවට සවන් දෙමින් ඔවුන් එයින් මුදවා ගැනීමට උනන්දු විය යුතු වෙනවා. මේ වැඩසටහන තව දුරටත් කාර්යක්ෂම කරමින් විධිමත් කරමින් මේ ඉලක්කය කරා අපි යා යුතු වෙනවා. මේ කාර්යයටත් එදත් අදත් සහයෝගය දෙන සෑම කෙනෙකුටම මගේ ස්තූතිය පිරිනමනවා.

මේ සම්මානය මා වෙත ලබා දුන් ඒ ආයතනයට නැවතත් ස්තූති වන්ත වෙමින් මා නිහඬ වෙනවා.

 

Share This Post

NEW