සතුරු ආක‍්‍රමණ ජයගැනීමට හැකිවූයේ වීරෝදාර රණවිරුවන්ගේ කැපවීම මතයි – ජනපති පවසයි.

සතුරු ආක‍්‍රමණ ජයගැනීමට හැකිවූයේ වීරෝදාර රණවිරුවන්ගේ කැපවීම මතයි – ජනපති පවසයි.

සෑම විටම මාතෘභූමියට එරෙහිව ආ සියලු පර සතුරු උවදුරු ජයගැනීමට හැකිවූයේ නිර්භීත සෙබළ පිරිස්වල ඉමහත් කැපවීම නිසාවෙන් බව ජනාධිපතිතුමා පවසයි.

කටුකුරුන්ද විශේෂ බළකා පුහුණු පාසලේ 76 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථක හැදෑරූ නිලධාරීන් විසිර යාමේ උත්සවය, ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් අද (05) පෙරවරුවේ පැවත්වුණු අතර එහි දී ජනාධිපතිතුමා මෙම අදහස් පළ කළේය.

කටුකුරුන්ද විශේෂ බළකා පුහුණු පාසලේ 76 වන මූලික පුහුණු පාඨමාලාව සාර්ථක හැදෑරූ ආධුනික පොලිස් පරීක්ෂකවරුන් 50ක්, ආධුනික පොලිස් කොස්තාපල්වරුන් 183ක්, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරියන් 41 දෙනෙකුගෙන් සමන්විත නිලධාරීන් 274 දෙනෙකු මෙහිදී විසිර ගියහ.

ප‍්‍රථමයෙන් පුහුණු පාසලේ යුද ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වූ ජනාධිපතිතුමා අනතුරුව එම පරිශ‍්‍රයේ ස්ථාපිත කර තිබූ රසායනික, ජෛව විද්‍යාත්මක, විකිරණශීලී න්‍යෂ්ටික හා පුපුරණ ද්‍රව්‍ය ආරක්ෂක මෙහෙයුම් නිරීක්ෂණ ජාතික මධ්‍යස්ථානය ද විවෘත කිරීමට එක්විය.

උත්සව සභාව අමතමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, රාජ්‍ය සේවයේ යෙදී සිටින්නන් පිළිබඳව මහජනතාවගෙන් විවිධාකාර චෝදනා එල්ල වී ඇතත් එවැනි කිසිඳු චෝදනාවක් නොමැති පිරිසක් ලෙස පොලිස් විශේෂ කාර්ය බළකාය හැන්ඳිවිය හැකි බව ය.

1980 දශකයේ මුල් භාගයේ උතුරු නැගෙනහිර ප‍්‍රදේශවල ඇතිවූ රාජ්‍ය විරෝධී හා ත‍්‍රස්තවාදී ක‍්‍රියාකාරකම් මර්දනය කිරීමේ අවශ්‍යතාවය මත පොලිස් විශේෂ කාර්ය බළකාය බිහි වූ බව සඳහන් කළ ජනාධිපතිතුමා එදා මෙදා කාලය තුළ රාජකාරි හේතුවෙන් ජීවිතක්ෂයට පත්වූ සහ ආබාධිත වූ රණවිරුවන්ට සමස්ත ජාතියේම ප‍්‍රණාමය හිමිවන බව ද සඳහන් කළේය.

දර්ශනීය සරඹ සංදර්ශන, තූර්ය වාදන සහ දර්ශනීය පැරෂුට් සංදර්ශනයකින් මෙම උළෙල වර්ණවත් කෙරිණි.

එමෙන්ම එම පුහුණුව සාර්ථකව නිමකිරීමේ විශිෂ්ටයින් 06 දෙනෙකු වෙත සම්මාන ප‍්‍රදානය කිරීමට ද ජනාධිපතිතුමා එක්විය.

මේ අවස්ථාවට රාජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කොට්ටේගොඩ, බස්නාහිර ආණ්ඩුකාර ඒ.ජේ.එම්. මුසම්මිල්, වැඩබලන පොලිස්පති චන්දන වික‍්‍රමරත්න යන මහත්වරුන් ද ජ්‍යෙෂ්ඨ නියෝ ජ්‍ය පොලිස්පතිවරුන්  එක්ව පිරිසක් එක්ව සිටියහ.

කටුකුරුන්ද විශේෂ බළකා පුහුණු පාසලේ 76 වන මූලික පුහුණු පාඨමාලාව හදාරා අවසන් කළ නිලධාරීන් විසිර යෑමේ උත්සවය අමතා ගරු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව (2019-10-05 වන දින)

අද මේ වැදගත් අවස්ථාවට මා විශේෂයෙන් ම සහභාගී වන්නේ අද විසිර යන ඔබටත්, පොලිස් විශේෂ කාර්ය බළකායටත්, ශ්‍රී ලංකා ජනරජයේ ජනාධිපති වශයෙන් මාගේ ගෞරවය සහ ප්‍රණාමය පුදකිරීම සඳහා යි. පොලිස් විශේෂ කාර්ය බළකාය සාමාන්‍ය පොදු ජනතාව අතර ඉහළ ම පිළිගැනීමක් සහ විශාල විශ්වාසයක් දිනාගෙන ඇති කණ්ඩායමක්.

රාජ්‍ය ආයතනවල සේවයේ නිරත වී සිටින අය ගැන, වංචා, දූෂණ පිළිබඳව බොහෝ විට චෝදනා සහ පැමිණිලි ඇති වුව ද මා දන්නා පරිදි විශේෂ කාර්ය බළකායේ සේවය කරන ඔබ, ඒ කිසිම චෝදනාවකට ලක් නොවූ දූෂණ චෝදනාවෙන් නිදහස් වූ අවංක ව, රටට සහ ජනතාවට සේවය කරන පිරිසක් බවට ජනතාව තුළ විශාල විශ්වාසයක් තිබෙනවා. ජනතාවගේ විශ්වාසය ලබාගැනීම තමයි කෙනෙකුට ඉතාමත් ම අසීරු දේ. විශේෂයෙන් ම එය රාජ්‍ය සේවයේ වැඩකරන අයට අමාරු දෙයක්. ඒ විශ්වාසය ඔබ දිනාගෙන තිබෙනවා. ඒ ඔබේ අවංකකම, කැපවීම, සටන්කාමීත්වය, පරිත්‍යාගශීලිභාවය නිසයි. ඔබ ලබා ඇති විශිෂ්ට පුහුණුව නිසයි.

රටේ ජාතියේ යහපත සඳහා, අපරාධ මර්දනයට, මත්ද්‍රව්‍ය මර්දනයට, නීතිවිරෝධි කටයුතු පාලනයට නායකත්වය දීමෙන් ඉතාමත් විශිෂ්ට සේවාවක් ඔවුන් ඉටු කරනවා. මෙවැනි විශිෂ්ට ලංකා පුත්‍රයින් පිරිසක් රටට දායාද කළ ඔබ හැදූවැඩූ ඔබේ ආදරණීය මව්පියවරුන්ට, මම මේ අවස්ථාවේ රජය සහ ජනතාව වෙනුවෙන් ගෞරවණීය ස්තූතිය පුදකර සිටිනවා.

අද විසිර යන විශේෂයෙන් ම විශේෂ කාර්ය බළකා 76 වන මූලික පාඨමාලාවේ තරුණ නිල දරුවනි, ඔබ දක්ෂයි. අවංකයි. විශිෂ්ඨයි. ඒ නිසා ඔබට මාගේ ගෞරවය පුද කර සිටිනවා. පොලිස් විශේෂ කාර්ය බළකාය පිළිබඳව දීර්ඝ කාලයක් රටේ ජනතාව තුළ ඇති ගෞරවය සහ විශ්වාසය ඒ ආකාරයෙන් ම ඔබ රකිනු ඇතැයි මා විශ්වාස කරනවා. විශේෂ කාර්ය බලකා 76 වන පුහුණු පාඨමාලාව අවසන් කළ ආධුනික පොලිස් පරීක්ෂකවරුන්, ආධුනික පොලිස් කොස්තාපල්වරුන්, ආධුනික කාන්තා පොලිස් කොස්තාපල්වරුන්ගෙන් සමන්විත නිලධාරීන් 274 දෙනෙක් අද මේ අවස්ථාවට එක් වී සිටිනවා. මෙම නිලධාරීන් භූමි උපක්‍රම, අවි සහ වෙඩි පුහුණුව, ප්‍රථමාධාර, සන්නිවේදනය, මහජන සාමය කළමනාකරණය, ප්‍රභූ ආරක්ෂාව සහ ප්‍රායෝගික වන සටන් පුහුණුව යන විෂයන් සහිත නීතිය හා ප්‍රායෝගික පොලිස් විධි සම්බන්ධ මාස 06 ක පුහුණු පාඨමාලාවත්, සති 30 ක වන සටන් පුහුණු මාලාවත් සාර්ථක ලෙස අවසන් කර තිබෙනවා.

ප්‍රධාන වශයෙන් ම අපේ රටේ දීර්ඝ කාලයක් පැවති යුද්ධ සහ යුද්ධයෙන් පසුවත් අපරාධ මර්දනය, නිතී විරෝධි ජාවාරම්කරුවන්, අපරාධකරුවන්, දූෂිතයන්, විවිධ සමාජ විරෝධීන් මර්දනයට අත්අඩංගුවට ගැනීම් වැනි රාජකාරීවල දී තමාගේ ශරීරයේ අවයව අහිමි වූ ජීවිත පරිත්‍යාග කළ සියලුදෙනාම මා මෙහිදී විශේෂයෙන් සිහිපත් කරනවා. ඒ සෑම කෙනෙකුට ම මාගේ විශේෂ ගෞරවය පිරිනමනවා.

උතුරු සහ නැගෙනහිර ප්‍රදේශවල ඇති වුණු රාජ්‍ය විරෝධී ත්‍රස්තවාදී ක්‍රියා මර්දනය කරන්න අවිආයුධ පුහුණුව ලැබූ, සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක අවශ්‍යතාව මතු වුණු නිසා, පොලිස් විශේෂ කාර්ය බළකාය පිහිට වූ බව ඔබ දන්නවා. ඒ අනුව 1983 වර්ෂයේ දී සන්නද්ධ පොලිස් නිලධාරීන් කණ්ඩායමක්, විශේෂ ඒකකයක් ලෙස පොලිස් දෙපාර්තමේන්තුව තුළ ස්ථාපනය කරන්නට එවක රජය කටයුතු කළා. පොලිස් විශේෂ කාර්ය බළකාය බිහිවීමත් සමග පොලිසියේ රාජකාරී විෂය පරාසය පු`ඵල් වුණා. මේ අතර විශේෂිත දැනුම් ඇති පිරිස් පොලිසිය තුළින් බිහි වුණා. ඒ විශිෂ්ටයන්, දක්ෂයන් සියලුදෙනාම ජාතියේ විශිෂ්ට දරුවන් ලෙස සෑමවිටම අප පිළිගන්නවා.

අද මේ ඉතාමත් වැදගත් අවස්ථාවට ඔබ සමග එක්වන්න ලැබීම ගැන මාගේ සතුට ප්‍රකාශ කරමින්, ජනාධිපතිවරයා ලෙස නැවතත් පොලිස් විශේෂ කාර්ය බළකායට මාගේ ගෞරවය සහ ප්‍රණාමය පුදකරමින්, හෙට දවසේ ජාතියේ, අනාගත වගකීම ඔබට භාර කරමින්, මාගේ වචන ස්වල්පය අවසන් කරනවා. සියලු දෙනාටම තෙරුවන් සරණයි.

Share This Post

NEW