2018 පරිසර සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

2018 පරිසර සමුළුව ජනපති ප‍්‍රධානත්වයෙන්

“වනරෝපා” රුක් රෝපණ වැඩසටහන ද ඇරඹේ

බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප‍්‍රමුඛ සියලු සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

හිටපු ජනාධිපතිවරුන් ජනාධිපති ධුරයට පත් වූ වහාම මුදල් අමාත්‍යාංශය තමා යටතට පවරා ගත්ත ද තමා එසේ නොකර, ජනාධිපති ධුරයේ අසීමිත බලතල ද පාර්ලිමේන්තුවට පවරාදීමට කටයුතු කළ බව සිහිපත් කළ ජනාධිපතිතුමා හෙට උපදින මතු පරපුර වෙනුවෙන් පරිසරය රැක ගැනීමේ වගකීම ඉටුකිරීම සඳහා පරිසර අමාත්‍යාංශය තමා යටතට පවරාගත් බව ද කියා සිටියේය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (05) පෙරවරුවේ මන්නාරම නගර සභා ක්‍රීඩාංගණයේ පැවති ජාතික පරිසර සමුළුව අමතමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පරිසර විනාශය අද මිනිසාගේ පැවැත්මට බරපතළ තර්ජනයක් වී ඇති බවත් මිනිසා, සතා සීපාවා ඇතුළු සියලු සත්වයන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පරිසරය රැක ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බවත් ය.

මිනිසාගේ ජීවත්වීමේ අයිතිය තහවුරු කරන පරිසරය දරුවෙකු සේ රැක ගැනීමේ වැදගත්කම අවධාරණය කළ ජනාධිපතිතුමා පරිසරය විනාශ කර දැමීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ද අවධාරණය කළේය.

යම් දිස්ති‍්‍රක්කයක සිදුවන පරිසර විනාශය පිළිබඳ එම දිස්ති‍්‍රක්කයේ සියලු රාජ්‍ය නිලධාරින් වගකිවයුතු බව ද මෙහි දී අවධාරණය කළ ජනාධිපතිතුමා නීතිය කි‍්‍රයාත්මක කිරීමේදී යම් දේශපාලන බලපෑමක් සිදුවන්නේ නම් තමා දැනුවත් කරන ලෙස ද එම සියලු දෙනාගෙන් ඉල්ලා සිටියේ ය.

පරිසරය රැක ගැනීම වෙනුවෙන් වූ සියලු ජාත්‍යන්තර ප‍්‍රඥප්තීන්ට අද ශ‍්‍රී ලංකාව අනුගතව සිටින අතර, පරිසරය රැක ගැනීමේ දී ප‍්‍රමුඛ වූ තිරසර සංවර්ධන අරමුණු ජය ගැනීම වෙනුවෙන් ද සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

සෑම දිස්ති‍්‍රක්කයක්ම ආවරණය කරමින් මෙවන් පරිසර සමුළු පවත්වන්නේ දිස්ති‍්‍රක්ක මට්ටමින් පවතින පරිසර ගැටලු විසඳාගැනීමට බව ද සඳහන් කළ ජනාධිපතිතුමා ඒ වෙනුවෙන් සියලුදෙනා කි‍්‍රයාකාරීව තම වගකීම් ඉටුකිරීමේ අවශ්‍යතාව වැඩිදුරටත් අවධාරණය කළේ ය.

සියලු දෙනා එක්ව පරිසර ප‍්‍රතිඥාව ඉදිරිපත් කිරීමෙන් අනතුරුව ජාතික පරිසර සමුළුව ආරම්භ කෙරුණු අතර, පාසල් ළමුන් අතර පැළ බෙදාදීමේ වැඩසටහන සංකේතවත් කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

පරිසර දිනය වෙනුවෙන් පාසල් මට්ටමින් පැවති තරගවල ජයග‍්‍රාහක සිසු සිසුවියන්ට තිළිණ ප‍්‍රදානය සිදු කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අමාත්‍යවරුන් වන මහින්ද සමරසිංහ, මහින්ද අමරවීර, රිෂාඩ් බදුර්දීන්, රාජ්‍ය ඇමතිනි ශ‍්‍රියානි විජේවික‍්‍රම, වීරකුමාර දිසානායක, නියෝජ්‍ය අමාත්‍ය අංගජන් රාමනාදන්, කාදර් මස්තාන්, පාර්ලිමේන්තු මන්තී‍්‍ර චාර්ල්ස් නිර්මලනාදන් යන මහත්වරුන් ඇතුළු ප‍්‍රදේශයේ මැති ඇමතිවරු පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශයේ ලේකම් අනුර දිසානායක, මන්නාරම දිස්ති‍්‍රක් ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ නියෝජිතයන් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර 2018 ජාතික රුක් රෝපණ වැඩසටහනේ සමාරම්භය ද අද (05) පෙරවරුවේ ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් මන්නාරම, මඩුපාර, තම්පනකුලම් ප‍්‍රදේශයේ දී සිදු කෙරිණි.

රාජ්‍ය අනුග‍්‍රහය සහිතව දීප ව්‍යාප්ත මට්ටමින් පුළුල් පරිසර සංරක්ෂණ වැඩසටහනක් දියත් කිරීමේ කාලීන අවශ්‍යතාව පෙරදැරි කර ගනිමින් ජනාධිපතිතුමාගේ මඟපෙන්වීමට අනුව මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය විසින් කි‍්‍රයාවට නංවන ලද පුනරුදය ජාතික පරිසර සංරක්ෂණ වැඩසටහන යටතේ වනරෝපා ජාතික වැඩසටහන කි‍්‍රයාත්මක කෙරේ.

ශ‍්‍රී ලංකාවේ වන ආවරණය 32‍% ක් දක්වා ඉහළ නංවා ගැනීම හා දේශගුණික විපර්යාසවල බලපෑම් අවම කිරීම සහ නීල හරිත යුගයක් කරා රට ගෙන යාම මෙහි අරමුණයි.

ජන සහභාගිත්වය හා ආයතනික දායකත්වය මගින් මෙම වැඩසටහන අපේක්ෂිත ඉලක්ක කරා ළඟාවීම දිරි ගන්වමින් ඔක්තෝබර් මාසය ජාතික රුක් රෝපණ මාසය ලෙස නම් කොට ඇත.

වන සංරක්ෂණ දෙපාර්තමේන්තුව 2018 වනරෝපා ජාතික වැඩසටහනට සමගාමීව දිවයින පුරා විවිධ ස්ථානවල පැළ මිලියන 2 කට ආසන්න ප‍්‍රමාණයක් බෙදාදීමට ද කටයුතු යොදා තිබේ.

කොහොඹ පැළයක් රෝපණය කරමින් 2018 වනරෝපා ජාතික වැඩසටහනේ සමාරම්භය සනිටුහන් කිරීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

මීට සමගාමිව පාසල් සිසුන්ගේ සහභාගිත්වයෙන් පැළ රෝපණය කිරීමේ වැඩසටහනක් ද පැවැත්වුණු අතර එම දරුවන් අතරට ගිය ජනාධිපතිතුමා ඔවුන් සමඟ සුහද කතා බහක ද නිරත විය.

මන්නාරම් දිස්ත‍්‍රික් පරිසර සමුළුව අමතා ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – (2018-10-05)

අද අපි සියලු දෙනා එක්වී සිටින්නේ මන්නාරම දිස්ත‍්‍රික්කයේ පවත්වනු ලබන පරිසර සමුළුව සඳහායි. මෙම පරිසර සමුළුව සඳහා ප‍්‍රදේශයේ සාමාන්‍ය ජනතාව 1600 ක් සහභාගි වී සිටිනවා. පාසල් ළමුන් 800 ක් සහභාගි වී සිටිනවා. දිස්ත‍්‍රික්කයේ රාජ්‍ය නිලධාරින් 500 ක් සහභාගි වී සිටිනවා. අනෙකුත් ආරාධිතයන් ඇතුළු 3000 ට වැඩි පිරිසක් සහභාගි වී සිටිනවා. අපි මේ විදියට පරිසර සමුළු රටේ සෑම දිස්ත‍්‍රික්කයකම පවත්වාගෙන යනවා. මෙය අපි ලංකාවේ පවත්වන පළවැනි පරිසර සමුළුව නොවෙයි. මෙවැනි සමුළු ගණනාවක් රට පුරා පවත්වා තිබෙනවා. මත්ද්‍රව්‍ය මර්දනය සඳහා මේ ආකාරයේම සමුළු ගණනාවක් විවිධ දිස්ත‍්‍රික්කවල පවත්වා තිබෙනවා. එමෙන්ම දරුවන් රැකීම සඳහා සමුළු ගණනාවක් විවිධ දිස්ත‍්‍රික්කවල පවත්වා තිබෙනවා. මේ සියලුම ව්‍යාපෘති ක‍්‍රියාත්මක වන්නේ ජනාධිපති කාර්යාලයෙන්.

මීට පෙර කතා කළ මහත්වරු වගේම නිවේදක මහත්වරුත් කළ ඉදිරිපත් කිරීම්වල බොහෝ තැන්වල සඳහන් වුණා ජනාධිපතිවරයා වශයෙන් මම පරිසර අමාත්‍යාංශය තෝරාගත්තා කියා. මට පෙර සිටි සියලුම ජනාධිපතිවරු, ජනාධිපති ධුරයට දිවුරුම් දෙන විට තෝරාගත්තේත් මුදල් අමාත්‍යාංශය. මම මුදල් අමාත්‍යාංශය තෝරාගත්තේ නැහැ. භාරගත්තේ නැහැ. මම ජනාධිපති වෙන්න පෙර මේ රටේ ජනාධිපති ධුරයට තිබුණේ රජ කෙනෙකුට වඩා මහා අසීමිත බලතල. මම එක්සත් ජාතීන්ගේ සංවිධානයටත් ගොස් කිව්වා, මම අත්හැරියේ රජ කෙනෙකුගේ බලතල නොවේ. අධිරාජ්‍යයෙකුගේ බලතල කියා. මෙහි සිටින මැති ඇමතිවරු පාර්ලිමේන්තුවේ සිටින මැති ඇමතිවරු 225 ක් ළඟටම මම ගියා. ගෙවල්වලටත් ගියා. ළඟට ගිහින් කිව්වා මගේ බලතල පාර්ලිමේන්තුවට ගන්න කියා. ඒ නිසා මම ජනතාවගේ සේවකයෙක් විදියට බලය සහ ධනය දෙකම අත්හැරිය කෙනෙක් මම මුදල් අමාත්‍යාංශය භාරගත්තේ නැත්තේ ධනය මට අවශ්‍ය නොවන නිසා. ව්‍යවස්ථාවේ තිබූ ජනාධිපතිවරයාගේ අසීමිත බලය ඉවත් කළේ මට බලය අවශ්‍ය නැති නිසා. තව අවුරුද්දකට පසුව පත්වන මීළඟ ජනාධිපතිවරයා මට අද තිබෙන බලතළත් නැති කෙනෙක්. ඒ සියල්ලටම නායකත්වය ගත්තේ මමයි.

අප ඇයි මේ පරිසරය ගැන කතා කරන්නේ? පරිසරය අද ලෝකයේම විශාල ප‍්‍රශ්නයක්. පරිසරය පිළිබඳ අභියෝගය තිබෙන්නේ අපේ රටේ පමණක් නොවේ. අද ලෝකයේ සෑම මිනිසෙක් වගේම සෑම සත්වයෙක්ම, ගහකොළ සියල්ලම පරිසරයේ අභියෝගයට මුහුණ දී තිබෙනවා. ඒ නිසා අද ලෝකයේ නායකයින් පරිසරය ගැන කතා කරන්න පටන් ගෙන තිබෙනවා. අවුරුදු පහළොවකට, විස්සකට පෙර ලෝකයේ විද්‍යාඥයෝ ලෝකයේ මහා සංවර්ධනයක් බලාපොරොත්තු වූ අය පරිසරයේ ස්වාභාවික සම්පත් ගැන සිතුවේම නැහැ. ඒ සෑම කෙනෙක්ම නොවේ. ඒ පිළිබඳව සිතන විද්‍යාඥයෝ ද සිටියා. පරිසරය පිළිබඳව ප‍්‍රධාන වශයෙන් ලෝකයට දේශනා කළේ බුදුන් වහන්සේ. ස්වාභාවික සම්පත් ආරක්ෂා කිරීම පිළිබඳව උන්වහන්සේ දේශනා කළා. එමෙන්ම ක‍්‍රිස්තු ධර්මයේත් පරිසරය ගැන සඳහන් කර තිබෙනවා. හින්දු ධර්මය තුළ ද තිබෙනවා. ඉස්ලාම් ධර්මයේත් ඒ ගැන පැහැදිලි කරනවා. ඒ සෑම ආධ්‍යාත්මික දේශනයක, දර්ශනයක පරිසරයේ වැදගත්කම සඳහන් වෙනවා.

මේ දරුවන් දන්නවා, ඇල්බට් අයින්ස්ටයින් කියන විද්‍යාඥයාව. ඇල්බට් අයින්ස්ටයින් නම් විද්‍යාඥයා කියා තිබෙනවා, මම හැරෙන්න අනෙක් සියලුම දේ පරිසරය කියා. ඔහු කියපු දේ අද මමත් කියනවා. මම හැරෙන්න අනෙක් සියලුම දේ පරිසරය කියලා. අපි මෙහි සිටින්නෙත් බොහෝ අමාරුවෙන් නේද? හැම කෙනෙක්ම අතෙහි තිබෙන පත‍්‍රිකාවලින් පවන් ගසා ගන්නවා මට පේනවා. එයයි ප‍්‍රශ්නය. පරිසරය පිළිබඳව අභියෝගයක් නැත්නම් මේ පත‍්‍රිකාවලින් පවන් ගහන්න ඕන නැහැ. ඔය තත්ත්වය ඇති කරගත්තේ අපිමයි. මිනිස්සුන්ට ජීවත් වෙන්න බැරි පරිසරයක් හදාගත්තේ මිනිස්සුමයි. මිනිසා, සතාසිව්පාවාට සහ සියලු ගහකොළවලට ජීවත්වීම අහිමි කරන්නේ මිනිසුන් විසින්මයි. මුළු ලෝකයම මේ අභියෝගයට මුහුණ දී තිබෙනවා.

අද අපේ රටේ වන ඝනත්වය 29% යි. මම කියන්නම් ඔබට මෙන්ම රටටම දැනගන්න ලංකාවේ දිස්ත‍්‍රික්කවල අඩුවෙන්ම වනාන්තර තිබෙන්නේ කොහේද කියා. ඒ ඒ දිස්ත‍්‍රික්කවල භූමිය අනුව වන ඝනත්වයේ ප‍්‍රතිශතය මම කියන්නම්. මම දිස්ත‍්‍රික්ක 25 කියන්නේ නැහැ. වෙලාව යනවා. ලංකාවේ වන ඝනත්වය අඩුම දිස්ත‍්‍රික්කය ගම්පහ දිස්ත‍්‍රික්කයයි. භූමියෙන් 2% යි වනය තිබෙන්නේ. ඊළඟට ලංකාවේ වන ඝනත්වය අඩුම දිස්ත‍්‍රික්කය කොළඹ දිස්ත‍්‍රික්කය. එය 3% යි. ඊළඟට ලංකාවේ වන ඝනත්වය අඩු තුන්වන දිස්ත‍්‍රික්කය යාපනය දිස්ත‍්‍රික්කය. එය 5% කි. ඔබේ දිස්ත‍්‍රික්කයට මා ඇවිත් ඔබට සතුටු විය හැකි කාරණයක් සඳහන් කරන්නම්. ලංකාවේ වන ඝනත්වය වැඩිම දිස්ත‍්‍රික්කය කුමක්ද කියා. ලංකාවේ වන ඝනත්වය වැඩිම දිස්ත‍්‍රික්කය වව්නියාව දිස්ත‍්‍රික්කය. එය 65% යි. ලංකාවේ වන ඝනත්වය දෙවැනියට වැඩි දිස්ත‍්‍රික්කය කුමක්ද? ඒ මුලතිව් දිස්ත‍්‍රික්කය 64% යි. ලංකාවේ වන ඝනත්වයෙන් තුන්වන තැනට වැඩි මන්නාරම දිස්ත‍්‍රික්කය යි. වන ඝනත්වය 63% යි. ඔබ නියෝජනය කරන ප‍්‍රදේශවල තමයි වන ඝනත්වය වැඩිම. ඒ වුණත් අපිට සිදුවෙලා තිබෙනවා මෙහි ඉන්න ගමන් කඩදාසිවලින් පවන් ගසන්න. ඔබ දන්නවා මිනිසුන්ට වගේම සතුන්ට ජීවත් වීමට අවශ්‍ය දේ. ඔක්සිජන් වාතය අවශ්‍යයි. ඊළඟට ජලය අවශ්‍යයි. ඊළඟට ආහාර අවශ්‍යයි. මේ තුනම හදාගන්න නම් පළවැනි දේ කුමක්ද?

ඉතිං මේ අවශ්‍යතා තුනම හදාගන්න නම් හොඳම දේ මොකක්ද? වනාන්තරය තිබෙන්න ඕන. ඉන්දියාවේ දිල්ලි නගරයේ, චීනයේ බීජිං නගරයේ, ඕස්ටේ‍්‍රලියාවේ සිඩ්නි නගරයේ, විද්‍යාඥයෝ දුන්න ඔක්සිජන් බෝතල් නහයට දාගෙන යනවා. අපේ මේ රටේ ගස් වවන්න වනරෝපා ජාතික වැඩසටහන පටන්ගත්තා. ඒ රුක්රෝපණ ජාතික වැඩසටහන සෑම වසරකම ඔක්තෝබර් මාසය නම් කරලා තිබෙනවා. මේ වැඩේ අද පටන් ගත්තේ. අපි ජනවාරි මාසය වනවිට බලාපොරොත්තු වෙනවා අඩුම වශයෙන් ලක්ෂ දහයකින් ඉදිරියට යන්න. අපි ලක්ෂ 50 ක වැඩසටහනක් ඉලක්ක කරලා තිබෙනවා බොහෝ විට ඔබ වගේ අනෙක් සියලු දෙනාත් මේකට එකතු වුණොත් ජනවාරි මාසයේ් අපිට ලක්ෂ 50ක සීමාව ඉක්මවන්න පුළුවන්. මේ සෑම කෙනෙක්ම දන්නවා දරුවෙකුගේ වටිනාකම. පරිසරයේ වටිනාකම වගේ මිනිසුන්ගේ ප‍්‍රශ්න ගත්තාම ඒ වටිනාකම් ගැන හිතන්න ඕනෑ කොහොමද කියලා.

මේ අභියෝගය ඉතා බරපතළයි. එක් අතකට දරුවෙක් ගමු. අනෙක් අතට පැළයක් ගමු. ඒ දෙකේම වටිනාකම එකයි. ගසක් කැපුවොත් මිනිසුන් 100 පමණ විනාශ වෙනවා. පැළයක් විනාශ කළොත් දරුවෝ සියයකගේ ජීවිත නැතිව යන්න පුළුවන්. ඒක එකපාරටම වෙන දෙයක් නෙමේ. කාලයත් එක්ක වෙන දෙයක්. ඒ නිසා මේ දරුවෙක් වගේම පැළයක වටිනාකම එක සමානයි. 2016 වසරේ පැරිස්වල තිබුණා එක්සත් ජාතීන්ගේ විශේෂ සමුළුවක්. ඒ දේශගුණය හා කාලගුණය පිළිබඳ එන අභියෝගය ජයගන්න. ලෝකයේ සියලුම රාජ්‍ය නායකයින් ඒ සමුළුවට සහභාගී වුණා. අපි එකඟත්වයකට පැමිණියා. අපි ප‍්‍රකාශනයක් අත්සන් කළා. ඒ ප‍්‍රකාශනයේ තිබෙන කරුණු අපි සෑම කෙනෙක්ම ක‍්‍රියාත්මක කරනවා. ඒ නිසා අපි සෑම කෙනෙක්ම කතාකරන තිරසර සංවර්ධනයේ ප‍්‍රමුඛ දේ පරිසර සංරක්ෂණයයි. අපි සෑම කෙනෙක්ම පරිසරය, ස්වාභාවික සම්පත් ආරක්ෂා කරන්න ඕන.

ඒ පැරිස්වල අත්සන් තැබූ ලෝකයේ රාජ්‍ය නායකයින්ගේ වැඩසටහනෙහි ශ‍්‍රී ලංකාව ඉදිරියෙන්ම ඉන්න රටක්. ලෝකයේ මහා කයිවාරු ගහන බලවතුන් මේ පැරිස් සම්මුතියෙන් අයින් වෙලා තිබෙනවා. පැරිස් සම්මුතියෙන් අයින් වෙලා තිබෙන රටවල් ස්වභාවධර්මයාට ආදරේ කරන්නේ නැති අය. ඒ අයින් වෙලා ඉන්න රටවල්වල මිනිසුන්ට ජීවත් වෙන්න ගස් වවන්නේ අපි වගේ පුංචි රටවල්වල මිනිසුන්. ඒ නිසා දරුවන්ගෙන් වගේම දෙමාපියන්ගෙන් මා ඉල්ලීමක් කරනවා. උපන්දිනයට කේක් කපන්න එපා. කේක් ගෙඩියක් ගන්න සල්ලිවලට පැළයක් ගන්න. හැම උපන්දිනයකටම පැළයක් සිටුවන්න. ඒ පැළයට තමන්ගේ නම දාන්න. මේ පුංචි දරුවන්ගෙන් මම ඒ ඉල්ලීම කරනවා. ඒ පැළයට නම දාලා බලන්න ඒක හොඳින් වැඩෙන හැටි. ඔබත් ඒ වගේ හැදෙනවා, වැඩෙනවා. ඒක දැක්කාම ලොකු මානසික තෘප්තියක් ඇතිවෙනවා. ඒ නිසා මේ හැමදේම හිතන්න ඕන.

ඔබේ දිසාපතිතුමා මෙතැන ඉදිරිපත්කිරීමක් කළා දිස්ත‍්‍රික්කයේ පරිසරය පිළිබඳව. පරිසරය කොයිතරම් විනාශ වෙලා තිබෙනවා ද කියලා දැක්කා නේද? මුහුදුබඩ කඩොලාන ශාක විනාශ වෙලා තිබෙන ආකාරය දැක්කා නේද? හැමතැනම කැළි කසළ පිරිලා තිබෙනවා දැක්කා නේද? ඒ වගේම ප්ලාස්ටික්, පොලිතීන් කොයිතරම් පිරිලා තිබෙනවා දැක්කා නේද? පස් කපලා, වැලි ගොඩදාලා මේ දිස්ත‍්‍රික්කය විනාශ වන හැටි දැක්කා නේද? ඒ සියලු දේට කවුද වගකියන්න ඕන. මෙතැන දිසාපතිතුමා ඇතුළු මේ රාජ්‍ය නිලධාරීන් සියලු දෙනා ඒ වගකීම බාරගන්න ඕන. ඒ සිදුවෙලා තිබෙන විනාශය පිළිබඳ රාජ්‍ය නිලධාරීන් වගේම පොලිස් නිලධාරීනුත් වගකීම බාරගන්න ඕන. මම ඒ අයට දොස් කියන්නේ නැහැ. හැබැයි මේ වැරදි කරන අයට විරුද්ධව ඔබ නීතිය ක‍්‍රියාත්මක කරන්න. කාගෙන් හරි දේශපාලන බලපෑම් තිබෙනවා නම් මට කියන්න. නමුත් මට ලැබුණ ආරංචිවලට අනුව දේශපාලනඥයින් නෙමේ මේකට සම්බන්ධ. ජාවාරම්කාර ව්‍යාපාරිකයින්. දේශපාලනඥයින්ගෙන් සිදුවුණත්, රාජ්‍ය නිලධාරීන්ගෙන් සිදුවුණත්, ජාවාරම්කාරයින්ගෙන් සිදුවුණත් කාගෙන් සිදුවුණත් වැරදි දේ වැරදිමයි.

මේ පරිසර සමුළුවේ වැදගත්කම කුමක්ද? මේ තිබෙන ප‍්‍රශ්නවලට විසඳුම් ලබාගැනීමයි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම ඒ වගකීම තේරුම්ගන්න ඕනෑ. ලෝකයේ අධිතාක්ෂණය සමග තමයි පරිසරය විනාශ වුණේ. කර්මාන්ත ප‍්‍රමුඛ කාර්මිකකරණය සමගයි පරිසරය විනාශ වුණේ. ඒ නිසා අපි සැම කෙනෙක්ම වගකීම් ඉටුකරමු. ඒ වගකීම ඔබට බාරයි. ඒ වගකීම මමත් බාරගෙන තිබෙනවා. බලය අත්හැරලා, මුදල් අමාත්‍යාංශය අත්හැරලා පරිසරය බාරගත්තේ ඒ නිසයි. මිනිසුන් ප‍්‍රමුඛ සියලු සත්වයාගේ ජීවත්වීම තහවුරු කරන්න ඕනෑ නිසයි. ඒ නිසා මේ පරිසර සමුළුවේ අරමුණු අපි ඉටුකරගන්න ඕන. අපි ලස්සන රටක් හදමු. අපේ රටේ නියඟය අදත් ඉතා බරපතළයි. ඒ තත්ත්වය ඔබ දන්නවා. මේ මන්නාරම, වව්නියා, මුලතිව්වල ජීවත් වන පිරිස ඉන්නවා, වතුර නැති නිසා දවස් තුන හතරකට සැරයක් තමයි නාන්නේ, බොන්න වතුර ගන්නේ සල්ලි වලට. මෙය ඉතාම නරක තත්ත්වයක්. නමුත් එය නියඟයේ බලපෑමත් එක්ක ඇතිවෙච්ච අභියෝගයක්. රටේ තවත් පැත්තක ගංවතුර. ඒ නිසා මේවාට අපි විසඳුම් දෙන්න ඕනෑ.

විසඳුම් වර්ග 3 ක් තිබෙනවා. සමහර ඒවා කෙටිකාලීනයි. සමහර ඒවා මධ්‍යකාලීනයි. සමහර ඒවා දීර්ඝ කාලීනයි. දීර්ගකාලීන විසඳුම්වල අංක එක තමා පැළ හිටුවන එක සහ ගස් ආරක්ෂා කරන එක. ඒ වගේම කෙටි කාලීන, මධ්‍යකාලීන ඒවායේ එක අංගයක් තමයි වැලි, පස් කපන්නේ නැතිව මහ පොළොව ආරක්ෂා කරන එක. මෙහිදී අපි රජයක් විදියට වැඩසටහන් රාශියක් ක‍්‍රියාත්මක කරනවා. ඒ සඳහා ඔබ සියලු දෙනාගේ සහයෝගය මා බලාපොරොත්තු වෙනවා. පරිසරය රැකුණොත්, ගහ කොළ රැකුණොත් ඔබේ ජීවිතය රැකෙයි. එය විනාශ කළොත් ඔබේ ජීවිතත් විනාශ වෙයි. මෙය මුළු ලෝකයම මුහුණ දී සිටින අභියෝගයක්. මේ ගැන හිතන්න ඕනෑ. එක සැරයක් නෙවෙයි නිතර නිතර හිතන්න ඕනෑ. උදේට නැගිට්ටාම හිතන්න ඕනෑ. රෑට නින්දට යන විටත් හිතන්න ඕනෑ. වැඩක් කරනකොටත් හිතන්න. කනකොටත් හිතන්න. ඒ තරම් මෙය බරපතළයි.

Share This Post

NEW