ශ්‍රී ලංකා පොලීසිය ජාතික මෙන් ම අන්තර්ජාතික වශයෙන් ද පිළිගැනීමක් සහිත පොලිස් සේවාවක් බවට පත් කිරීම අරමුණ බව ජනපති පවසයි.

ශ්‍රී ලංකා පොලීසිය ජාතික මෙන් ම අන්තර්ජාතික වශයෙන් ද පිළිගැනීමක් සහිත පොලිස් සේවාවක් බවට පත් කිරීම අරමුණ බව ජනපති පවසයි.

ශ්‍රී ලංකා පොලිස් සේවාව ජාතික වශයෙන් පමණක් නොව අන්තර්ජාතික වශයෙන් ද ඉහළ පිළිගැනීමක් ඇති සේවාවක් බවට පත් කිරීමට පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතේ පවතින කාලසීමාව තුළ අවශ්‍ය වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන බව ජනාධිපතිතුමා පවසයි.

කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ කාන්තා පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළිය ජනාධිපති ගරු මෙත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (08) පස්වරුවේ පැවැත්වුණු අතර, එම අවස්ථාව අමතමින් ජනාධිපතිතුමා මේ බව ප්‍රකාශ කළේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ලොව දියුණු රටවල පොලිස් සේවාවන් හා සැසඳීමේ දී ශ්‍රී ලංකා පොලිස් සේවාව වෙනස්කම් රැසකට භාජනය විය යුතු ව තිබෙන බවයි.

එම ජයග්‍රහණය කරා ශ්‍රී ලංකා පොලිස් දෙපාර්තමේන්තුව සමීප කරවීමට පොලිස් දෙපාර්තමේන්තුවේ අභ්‍යන්තර වශයෙන් සිදුකළ යුතු පරිවර්තනීය වැඩපිළිවෙළ පොලිස් දෙපාර්තමේන්තුව තමා යටතට පවරාගත් ඉකුත් මාස කිහිපය තුළ ආරම්භ කළ බව ජනාධිපතිතුමා පැවසීය.

රටේ නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ කාර්යයට පමණක් සීමා නොවූ ශ්‍රී ලංකා පොලිසිය අද මහජන සුබසාධන සේවාවන්වල දී ඉටුකරන මානුෂීය හා විශිෂ්ට මෙහෙවර ද මෙහිදී ජනාධිපතිතුමාගේ ඇගැයීමට ලක් කෙරිණි.

අද පස්වරුවේ කලුතර පොලිස් අභ්‍යාස ආයතනය වෙත ගිය ජනාධිපතිතුමා පොලිස් උත්තමාචාර මධ්‍යයේ අභිමානවත් අයුරින් පිළිගැනිණි.

ශ්‍රී ලංකා පොලිස් අභ්‍යාස ආයතනයේ ඉතිහාසය තුළ පොලිස් කාන්තා බලඇණියක් විසිර ගිය ප්‍රථම අවස්ථාව මෙයවීම විශේෂත්වයක් වන අතර පොලිස් අභ්‍යාස ආයතනයේ පුහුණුව සාර්ථක ලෙස අවසන් කළ කාන්තා කොස්තාපල්වරියන් 586 දෙනෙකු සහ උප පොලිස් පරීක්ෂකවරියන් 27 දෙනෙකු ඇතුළු 613 දෙනෙකු අද දින විසිර ගියහ.

විශිෂ්ටතා දැක්වූ පොලිස් නිලධාරිනියන්ට සම්මාන සහ සහතික පිළිගැන්වීම ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

පොලිස්පති පූජිත ජයසුන්දර මහතා විසින් ජනාධිපතිතුමා වෙත ද සිහිවටන තිළිණයක් පිළිගැන්වීය.

රාජ්‍ය අමාත්‍ය රුවන් විජේවර්ධන, නියෝජ්‍ය අමාත්‍ය පාලිත තෙවරප්පෙරුම, පාර්ලිමේන්තු මන්ත්‍රී රෝහිත අබේගුණවර්ධන යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයන් ද, පොලිස්පති පූජත ජයසුන්දර, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති එස්.එම්. වික්‍රමසිංහ, නියෝජ්‍ය පොලිස්පති සංජීව ධර්මරත්න යන මහත්වරුන් ඇතුළු පොලිස් දෙපාර්තමේන්තුවේ ජ්‍යෙෂ්ඨ නිලධාරිහු රැසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

කළුතර පොලිස් අභ්‍යාස ආයතනයේ පොලිස් නිලධාරිනියන්ගේ විසිරයාමේ පෙළපාළිය පැවැත්වුණු අවස්ථාවේ දී ජනාධිපතිතුමා කළ කතාව (2019-04-08 දින කළුතර පොලිස් අභ්‍යාස ආයතනය)

පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වතාවට කාන්තා පොලිස් බල ඇණියක් විසිර යාමේ අවස්ථාවට එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. අපේ රටේ පොලීසිය සහ පොලිස් දෙපාර්තමේන්තුවේ සේවාවන් වගකීම් යුතුකම් පිළිබඳව ඔබ මේ වනවිට ඉතාමත් පැහැදිලි අවබෝධයක් තිබෙනවා. පොලිස්පතිතුමාගේ කතාවේ දී මා අහගෙන හිටියා මේ පුහුණුව ලැබූ සියලු නිලධාරිනියන් දෙමළ, සිංහල, ඉංග්‍රීසි භාෂා තුනත් පරිගණක පුහුණුවත් ලැබූ බව. ඔබේ පුහුණු කාල සීමාව තුළ කාලයට ඉතාමත් අත්‍යවශ්‍ය දේ තමයි ඔබ ලබාගෙන තියෙන්නේ.

අද නව තාක්ෂණය තුළ සියලු අංශයයන් හි තිබෙන තරගකාරීත්වය ජයග්‍රහණය කරන්න පරිගණක දැනුම මෙන් ම මේ රටේ ජීවත්වන සිංහල, දමිල, මුස්ලිම් ජන කොටස්වලට ඔබේ සේවාව නිසි ලෙස ලබාදීමට නම් ඒ භාෂා දැනුම ඔබට ඉතාමත් ප්‍රයෝජනවත් වෙනවා. උතුරු නැගෙනහිර ප්‍රදේශවල සේවය කරන නිලධාරීන්, නිලධාරිනියන්ට දෙමළ භාෂාව පිළිබඳ පුළුල් අවබෝධයකුත් ලංකාවේ අනෙක් ප්‍රදේශවල සේවය කරන අයට සිංහල භාෂාව පිළිබඳ දැනුම සහ පුහුණුවත් අත්‍යවශ්‍යයි. අපේ රටේ තිස් වසරක ත්‍රස්තවාදී යුද්ධයට හේතු වූ කරුණු ගණනාවක් තිබෙනවා. එක් කාරණයක් තමයි භාෂාවේ තිබෙන වෙනස්කම් නිසා එකිනෙකා පිළිබඳ අවබෝධයක් ලබා ගැනීමට නොහැකිවීමෙන් ඇතිවන සැකය සහ අවිශ්වාසය. භාෂාවන් කතාකිරීමට තමාට අවබෝධයක් දැනුමක් තිබෙනවා නම් සැකයෙන් අවිශ්වාසයෙන් සහ බියෙන් තොරව කටයුතු කරන්න. ඒ නිසා තමයි අද පාසල් දරුවන්ට දමිළ භාෂාව හා ඉංග්‍රීසි භාෂාව ඉගෙනගැනීම අනිවාර්ය කරල තියෙන්නේ. ඒ තුළින් සමාජ දේශපාලන ප්‍රශ්න පිළිබඳව අවබෝධයක් ලබා ගනිමින් ඔබේ සේවාව වඩාත් හොඳින් ඉටු කිරීමට ඔබට පුළුවන්කම ලැබෙනවා.

ශ්‍රී ලංකා පොලිස් ගීතය මා අසා සිටියා. ඒ ගීතයෙන් කියවෙන අර්ථයත් මම කල්පනා කළා. මම පොලීසිය භාරගෙන මාස 04 යි. ඒ මාස හතරට පෙර මම දැක්කේ පොලීසිය පිටතින් විතරයි. පොලීසියේ අභ්‍යන්තරය මම දැක්කේ මේ මාස හතර තුළයි. මගේ ජීවිත කාලයෙන් වැඩි කොටසක් පොලීසියේ බාහිර පැත්ත දුටු මම මාස හතරකට පෙර පොලීසිය භාර ගැනීමෙන් පසු පොලීසියේ අභ්‍යන්තර තත්ත්වය දැකගැනීමෙන් හා දැනගැනීමෙන් මා ලැබූ අවබෝධය ගැන මට ම පුදුමයි පොලීසිය මේ වගේ සේවාවක් කරනවාද කියලා. ඔබේ සේවාවේ ඔබට තිබෙන අපහසුකම් බාධවන් ගත් විට නීතිමය බාධවන්, සම්පත්වල බාධාවන්. පෞද්ගලික ජීවිතයට තිබෙන බාධාවන් ආදි සියල්ල ගත් විට මේ රටේ ලක්ෂ 16 කට ආසන්න රාජ්‍ය සේවකයින් අතරින් 85000 කට ආසන්න පොලිස් දෙපාර්තමේන්තුවේ ඔබ සහ අනෙකුත් රාජ්‍ය සේවකයින්ට නොදැනෙන දුක් ගැහැට රාශියකට මුහුණ දෙනවා. රාජ්‍ය සේවාව තුළ පමණක් නෙවෙයි පෞද්ගලික අංශය වේවා රාජ්‍ය නොවන සේවාවක් වේවා ඒ කුමන සේවාවක වුවත් සේවයේ නිරත යම් පුද්ගලයෙකුට සිය සේවාව වඩාත් උසස් ප්‍රමිතියකින් ගුණාත්මක භාවයකින් ඉටු කිරීම සඳහා යහපත් තෘප්තිමත් මානසිකත්වයක් තියෙන්නට ඕනෑ. ඒ නිදහස් තෘප්තිමත් මානසිකත්වය නොමැති නම් කෙනෙකුට වැඩ කිරීම ඉතාමත් අපහසුයි.
රජයේ නිලධාරියෙක් උදේ නිවසින් පිටවී සවසට නිවසට යන විට කාර්යාලයේ පැය 8ක රාජකාරි සිදුකරන්න නම් නිවසේ දී ඔහුගේ මානසිකත්වය යහපත් වෙන්නට ඕනෑ. එහි වගකීම දරන්නේ බිරිඳ සහ දරුවනුයි. ඒ වගේම ඥාතීන්. රාජ්‍ය සේවය වෙන්න පුළුවන් වෙනත් ආයතනයක වෙන්න පුළුවන් යම් නිලයක යම් තනතුරක යම් සේවාවක ඉන්න කෙනෙක්ට වෙන්න පුළුවන් තෘප්තිමත් මානසිකත්වයකින් වැඩ කරන්න නම් එහි පරිසරය පසුබිම ඒ සඳහා සකස්විය යුතු වෙනවා. එහිදී අපි පොලිස් දෙපාර්තමේන්තුව ගත්තොත් එහි ඉහළ නිලධාරීන්ට තිබෙන ප්‍රශ්නත් පහළ නිලධාරීන්ට තිබෙන ප්‍රශ්නත් මා දකින්නේ දෙආකාරවයි. පොදු තත්ත්වයක් නෙවෙයි. ඉහල නිලධාරීන්ට තිබෙන ප්‍රශ්නත් පහළ නිලධාරීන්ට තිබෙන ප්‍රශ්නත් දෙපාර්ශ්වය හඳුනාගැනීම ඉතාම අවශ්‍ය වෙනවා.

අපි සැම කෙනෙක්ටම පෞද්ගලික ජීවිතවල ප්‍රශ්න තිබෙනවා. ආර්ථික ප්‍රශ්න තිබෙනවා. සමාජමය ප්‍රශ්න තිබෙනවා. ඒ වා්ම තමන් ඇසුරුකරන සමාජයෙන් යම් යම් අභියෝග තිබෙනවා. ඒවා පදවි, නිලයන්, තානාන්තර විදියට නොව ඒවා මනුෂ්‍යයින් විදියට මුහුණ දෙන්නා වූ ප්‍රශ්නයි. ඒක නිසා යම් නිලයක කටයුතු කරන කෙනෙක් මනුෂ්‍ය ස්වභාවයෙන් පිට බලන්න පුළුවන්කමක් නැහැ. ඕනෑම නිලයක් ඉහළ ද පහළ ද යන්න වෙනුවට ඒ සෑම කෙනෙක්ටම වඩා ඉහළින් මනුස්සකම පිළිබඳ ප්‍රශ්නය තිබෙනවා. බෞද්ධ දර්ශනය වේවා, ක්‍රිස්තු දර්ශනය වේවා, ඉස්ලාම් දර්ශනය වේවා ඒ ඕනෑම දර්ශනයක පළමුවෙන්ම කියන්නේ මිනිසුන්ට ආදරය කරන්න, සියලු සත්ත්වයාට ආදරය කරන්න, කරුණාවෙන් දයාවෙන් සෙනෙහසින් සලකන්න කියලයි. පොලිස් ගීතයෙත් කියවුණා මම අහගෙන හිටියා සෙනෙහෙස කියන වචනයත් කියවුණා.

මා පාසල් යන කාලේ පටන් අද දක්වාම අසා තිබෙනවා මිත්‍රශීලී, මහජනතාවට වඩාත් සමීප මහජන හිතකාමී පොලිස් සේවාවක් පිළිබඳව. ඒ කාරණාව කොතෙක් දුරට ඉටුවී තිබෙනවාද කියා අපේ හෘද සාක්ෂියෙන් ඇසිය යුතු වෙනවා. මේ රටේ 85000කට ආසන්න පිරිසක් සිටින ඔබ මේ තනතුරුවලට පත්වන්නේ නීතිය හා සාමය ආරක්ෂා කරන්නයි. රට ගොඩනගන්නයි. නීතිය හා සාමය ආරක්ෂා කිරීමේ ඔබේ වගකීම්වල ප්‍රමුඛත්වය ඔබ දැරුවත් ඉන් එහා බාහිර කොතෙකුත් දේ ඔබ විසින් ඉටු කරනවාද. සමාජ සේවාව තුළ ඔබ කොතෙක් දේ කරනවාද. මහජන සම්බන්ධතාවය තුළ ඔබ කොතෙක් දේ කරනවාද. ගංවතුර. සුළි සුළං, නියඟය, නායයෑම් ආදී ස්වාභාවික විපත් පැමිණිවිටත් එයට මුහුණ දේන්නේ ඔබයි. ඉන් පසුවයි අනෙක් අය එතනට එන්නේ. ඒ නිසා ඔබේ සේවාව නීතිය හා සාමයට කිසිවිටෙකත් සීමා වන්නේ නැහැ. ඒ මිනිසුන්ට දක්වන ආදරය, දයාව හා කරුණාව පිළිබිඹු කරන සේවාවන් රාශියක ඔබ නිරත වෙනවා. ඔබ ඒ වෙනුවෙන් කිසිවිටෙකත් ඔබ ලබන වැටුපට සීමා වෙන්නේ නැහැ. එවැනි සිදුවීම් අපිට අනන්ත අප්‍රමාණව කියන්න පුළුවන්. ඔබෙන් වෙන විශිෂ්ට සේවා පිළිබඳව පොත් සිය ගණනක් ලියන්න පුළුවන්. ඔබ ඔබේ මාතෘ භූමියට ඔබේ ජනතාවට ඉතාමත් විශිෂ්ට සේවයක් ඔබ කරනවා. අපරාධ මර්දනය කරන්න, යහපත් සමාජයක් හදන්න, මත්ද්‍රව්‍ය ජාවාරම් මැඩලන්න වගේම සමාජය තුළ විවිධ අභියෝගවලට මුහුණ දෙන්න කුඩා දරුවාගේ සිට වැඩිහිටියා දක්වා වගකීම ඔබටයි. ඔබේ මෑණියන්, පියාණන්, සහෝදර සහෝදරියන්, ඔබේ දරුවන් දෙස ඔබ බලන්නේ කෙසේද. ඒ ආකාරයෙන්ම ඔබ අනෙක් ජනතාව දෙස බැලීම අත්‍යවශ්‍යයි.

අදට අනුව පොලිස් සේවාවේ විය යුතු වෙනස්කම් රාශියක් තිබෙනවා. ලෝකයේ සංවර්ධනය වූ ඉහළ ආර්ථිකයක් තිබෙන රටවල්වල පොලිස් සේවාවේ මුහුණුවර හා සම්ප්‍රදායන් සහ බොහෝ නීති රීතිවල වෙනස්කම් තිබෙනවා. අප ඒ තත්ත්වයට පත්විය යුතුයි. මම උත්සාහ කරන්නේ පොලිස් දෙපාර්තමේන්තුව මාගේ භාරයේ තිබෙන කාලය තුළ උපරිම ලෙස ඒ ජයග්‍රහණ කරා ඔබව ගෙන යාමටයි. ලෝකයේ අනෙක් රටවල්වල තිබෙන පොලිස් සේවාව ජාතික හා ජාත්‍යන්තර වශයෙන් ඉහළ පිළිගැනීමක් ඇති පොලිස් සේවාවක් බවට පත් කිරීමයි ඔබේ විෂයභාර ඇමතිවරයා විදියට මගේ අරමුණ වන්නේ.

මා මුලින් සඳහන් කළ ආකාරයට පොලිස් දෙපාර්තමේන්තු ඉතිහාසයේ පළමු වතාවට කාන්තා පොලිස් බල ඇණියක් විසිර යාමේ අවස්ථාවටයි අපි මේ එක්වී සිටින්නේ. කාන්තා බල ඇනියක් පිළිබඳව කතා කරන විට තව බොහෝ දේ කතා කරන්න පුළුවන්. අපේ රටේ ජනගහනයෙන් සියයට 52කට ආසන්න පිරිසක් කාන්තාවන්. ලක්ෂ 16කට ආසන්න රජයේ සේවකයින් අතුරින් සියයට 70කට වැඩියෙන් කාන්තාවන් සිටිනවා. ඒ වගේම අපේ රfටි විභාගවලට පෙනී සිටින පිරිසගෙන් සියයට 60ක් 70ක් සමත්වන්නේ කාන්තාවන්. ඒ නිසා මා විශ්වාස කරනවා තව වසර 10ක් 15ක් යනවිට රපේ රට පාලනය කිරීමේ වගකීම කාන්තා ඔබේ අතට පත්වේයැයි කියලා. මම එයට සුබ පතනවා. අපි කැනඩාව වගේ රටක් ගත්විට ඇමති මණ්ඩලයේ අඩු වශයෙන් තුනෙන් දෙකක් කාන්තාවන් ඉන්නවා. බොහෝ වෙලාවට දෙකෙන් එකක්වත් කාන්තාවන්. කාන්තාවන් වැඩිපුර රාජ්‍ය සේවයට දේශපාලනයට එක්වීම රටකට සුබ පෙර නිමිත්තක් වෙනවා. රටක් යහපත් වෙන්න, කාන්තාවන් තුළ තිබෙන මාතෘත්වය, සෙනෙහස, දයාව, ආදරය, සිය සේවාව හේතුවෙනවා.

සාර්ථක පුහුණුවීමක් අවසානයේ විසිර යන ඔබ සියලුදෙනාට මා සුබ පතනවා. ඔබට මහජන හිතකාමී යහපත් සේවාවක් ඉටුකරන්නට ධෛර්යය ශක්තිය වාසනාව ලැබේවා කියා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම මා පෙර කී පරිදි ඉහළ සිට පහළටත් පහළ සිට ඉහළටත් නිලධාරීන්ට තිබෙන ප්‍රශ්නත් අන් අයට තිබෙන ප්‍රශ්නත් හඳුනාගෙන ඉතාම ආකර්ෂණීය සේවාවක් සැපයීමට ඔබට ශක්තිය ලැබේවා කියා ද පතමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

Share This Post

NEW