සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත්වූ සියලු ශ‍්‍රී ලාංකික ධීවරයන්ට නිදහස – ජනපති කියයි

සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත්වූ සියලු ශ‍්‍රී ලාංකික ධීවරයන්ට නිදහස – ජනපති කියයි

සීෂෙල්ස් රාජ්‍යයට අයත් මුහුදු සීමාවේ මසුන් ඇල්ලීමට ගොස් අත්අඩංගුවට පත් වූ ශ‍්‍රී ලාංකික ධීවරයන් සියලු දෙනා නිදහස් කර ගැනීමට සීෂේල්ස් ජනාධිපතිවරයා සහ තමා අතර පැවති සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් ලෙස හැකියාව ලැබුණු බව ජනාධිපතිතුමා පවසයි.

එම සාකච්ඡාවල දී පැමිණි එකඟතාව අනුව එම සියලු ධීවරයන් අද දහවල් නිදහස ලැබූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ අද (10) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ පැවති “මිරිදිය වරුණ 2018” සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමිනි.

ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාව මේ රටේ ශක්තිමත් බලවේගයක් බව මෙහි දී පෙන්වා දුන් ජනාධිපතිතුමා ඔවුන් දුර්වල කිරීමට රජය කිසිදු අවස්ථාවක සූදානම් නොමැති බවත්, ධීවර කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් ඉටු කළ යුතු සෑම වගකීමක් ම නොපිරිහෙළා ඉටු කරන බවත් අවධාරණය කළේ ය.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ ධීවර කර්මාන්තය සහ ධීවර ප‍්‍රජාවගේ සුබසාධනය වෙනුවෙන් පසුගිය සියලු රජයන්ට වඩා වැඩි මුදලක් වෙන් කිරීමට වත්මන් රජය කටයුතු කර තිබෙන බව යි.

ධීවර ප‍්‍රජාව වෙනුවෙන් කි‍්‍රයාත්මක නිවාස යෝජනා ක‍්‍රමය ඉදිරියේ දී තව තවත් ශක්තිමත් කරන බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

ග‍්‍රාමීය ධීවර සංවිධාන විසින් මෙහි දී ජනාධිපතිතුමා වෙත විශේෂ සංදේශයක් ද භාර දුන් අතර ජලාශවලට අවශ්‍ය මත්ස්‍ය පැටව් බහාලීම වැඩි කිරීම, ධීවර ආම්පන්න ලබා ගැනීම, ජල ජීවි වගාවන් සඳහා රජයේ ඉඩම් ලබා ගැනීම, ජලාශවල විධිමත් කළමනාකරණය සඳහා නිලධාරින් යෙදවීම, ධීවර කර්මාන්තය සඳහා අවශ්‍ය යටිතල පහසුකම් සහ මූල්‍ය ප‍්‍රතිපාදන ලබාදීම ඇතුළු එම සියලු ඉල්ලීම් කඩිනමින් ඉටු කිරීමට පියවර ගන්නා බව ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා එම ඉල්ලීම් ඉටු කිරීම ඇතුළු කර්මාන්තයේ උන්නතිය වෙනුවෙන් වැඩි මුදලක් මෙවර අය වැය තුළින් වෙන් කිරීමට කටයුතු කරන බව සඳහන් කළේ ය.

සමස්ත මිරිදිය ජීවි හා ජලජීවි වගා ප‍්‍රජාව ඇගැයීම වෙනුවෙන් ශ‍්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය මගින් මෙම සම්මාන ප‍්‍රදානෝත්සවය සංවිධානය කරනු ලබයි.

ඒ අනුව මෙහි විවිධ අංශයන් යටතේ දක්ෂතා හා කැපී පෙනෙන සංවර්ධනයක් පෙන්වූ ධීවරයන් හා ජලජීවි වගාකරුවන් වෙනුවෙන් සම්මාන පිරිනැමීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

ධීවර ප‍්‍රජාව වෙත ධීවර යාත‍්‍රා සහ දැල් ආම්පන්න ප‍්‍රදානය කිරීමට අදාළ හිම්කම් පත‍්‍ර ප‍්‍රදානය කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

ධීවර ප‍්‍රජාව විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ උපහාර තිළිණයක් පිළිගන්වන ලදී.

ධීවර හා ජල සම්පත් සංවර්ධන අමාත්‍ය විජිත් විජයමුණි ද සොයිසා, රාජ්‍ය අමාත්‍ය දිලීප් වෙදආරච්චි, නියෝජ්‍ය අමාත්‍ය අමීර් අලී යන මහත්වරුන් ද, ශ‍්‍රී ලංකා ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරියේ සභාපති නුවන් ප‍්‍රසන්න මදවන්ආරච්චි මහතා ඇතුළු නිලධාරින් සහ දිවයිනේ නන් දෙසින් පැමිණි ධීවර ජනතාව විශාල පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

“මිරිදිය වරුණ 2018” සම්මාන ප‍්‍රදානෝත්සවය අමතමින් ජනාධිපතිතුමා කළ කතාව (2018-10-10 දින BMICH)

මේ රටේ ජාතික ආර්ථිකයට විශාල ශක්තියක් දෙන ධීවර කර්මාන්තයේ ප‍්‍රමුඛ කාර්ය භාරයක් ඔබ විසින් ඉටුකරනු ලබනවා. ධීවර ක්ෂේත‍්‍රය කරදිය හා මිරිදිය ලෙස අංශ දෙකකින් හඳුන්වනවා. නමුත් කරදිය හා මිරිදිය ලෙස ධීවර කර්මාන්තය බෙදුනත් ඒ දෙපාර්ශ්වයට බොහෝ විට තිබෙන්නේ සමාන ප‍්‍රශ්නයි. ඔබ දැනටමත් දන්නවා මම අද උදේ දිවයිනට ආවේ සීෂෙල්ස් රාජ්‍යයේ සංචාරය නිමවා කියා. අපේ මුහුදු යන ධීවරයින් රාශියක් සීෂෙල්ස් මුහුදු සීමාවේ මත්ස්‍යයින් අල්ලන්න ගිහින් ඒ රටේ අත්අඩංගුවේ සිටියා. සීෂෙල්ස් ජනාධිපතිතුමා සමග මම ඊයේ පැවැත්වු ද්වි පාර්ශ්වික සාකච්ඡාවල ප‍්‍රතිඵලයක් විදියට අත්අඩංගුවේ පසු වූ ශ‍්‍රී ලාංකික ධීවරයින් සියලුදෙනාම නිදහස් කළ බව මා සතුටින් කියන්නට ඕනෑ.

අපේ රටේ මිරිදිය ධීවර කර්මාන්තයේ යෙදෙන්නේ මේ රටේ ආර්ථිකයට විශාල ශක්තියක් දෙන පිරිසක්. ඔබ පිළිබඳව මේ අමාත්‍යාංශයේ ප‍්‍රධාන ලෙසම වගකීම දරන්නේ ජලජීවී වගා සංවර්ධන අධිකාරියයි. රටේ ජාතික ආර්ථිකයට ශක්තියක් දෙන ධීවර ක්ෂේත‍්‍රය හා කෘෂිකර්ම ක්ෂේත‍්‍රය කියන්නේ විද්‍යාත්මක පදනමින් එකම වෘත්තීය ක්ෂේත‍්‍රයක්. ධීවර ක්ෂේත‍්‍රයත් විද්‍යාත්මකව අයත් වන්නේ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයටයි. අපේ රටේ වසර දහස් ගණනකට පෙර තිබූ ශක්තිමත් ආර්ථිකය පිළිබඳව ඔබ අප දන්නවා. අද වගේම හෙට දවසේ ත් මේ රටේ අනාගතය රඳා පවතින්නේ කෘෂිකාර්මික සංවර්ධනයේ ප‍්‍රගතිය මතයි. ජාතික ආර්ථිකයට විශාල දායකත්වයක් සපයන ධීවර ක්ෂේත‍්‍රයේ ඔබ කරන සේවය අපි ඉතාමත් ගරු කරනවා.

ඔබ සෑම කෙනෙක්ම ජීවිතයේ සැප විඳින අය නෙවෙයි. ධීවරයාගේ ජීවිතය සැබෑ ලෙසම දුෂ්කර ජීවිතයක්. ඇතැම් මිනිසුන් විඳින සැප සම්පත් බැලුවිට ධීවරයා එලෙස සැප සම්පත් දැකලත් නැහැ, විඳලත් නැහැ කියලයි මා විශ්වාස කරන්නේ. මිරිදිය ධීවරයින් සේම විශේෂයෙන් කරදිය ධීවරයින් ද මේ අභියෝගයට මුහුණ දෙනවා. අපේ රටේ ජනගහනයෙන් ඒක පුද්ගල මත්ස්‍ය පරිභෝජනය වර්ෂයකට කිලෝග‍්‍රෑම් 15 ක් පමණ වෙනවා. තවත් සරලව කියනවා නම් මේ රටේ කෙනෙක් වසරකට මාළු කිලෝග‍්‍රෑම් 15 ක් විතර කනවා. ඒ කිලෝග‍්‍රෑම් 15 න් සියයට හතරක් විතර මිරිදිය මත්ස්‍යයින්. අපේ රටේ නිෂ්පාදනය කරන මත්ස්‍ය නිෂ්පාදනවලින් සියයට දාහතක් විතර මිරිදිය මත්ස්‍යයින්. පාරිභෝජනයට වගේම විසිතුරු මත්ස්‍ය කර්මාන්තයත් අපේ රටේ ඉතාමත් දියුණුයි. විසිතුරු මත්ස්‍ය කර්මාන්තය ඉතාමත් දියුණු ප‍්‍රදේශයක් තමයි මගේ ගම් ප‍්‍රදේශය වන පොළොන්නරුව දිඹුලාගල ප‍්‍රදේශය. ඒ වගේම මුහුදු පැළෑටි වර්ධනයත් ඉතාමත් අවශ්‍යයි. වෙළෙඳපොළේ මත්ස්‍යයන්ට වගේම මුහුදු පැළෑටිවලටත් වාණිජ්‍ය වටිනාකමක් සහ විශාල ඉල්ලුමක් තිබෙනවා.

අපේ රටේ සංවර්ධන ඉලක්ක පිිළිබඳ අවධානය යොමු කළොත් මිරිදිය සහ ජලජීවි මත්ස්‍ය නිෂ්පාදනය 2020 වනවිට මෙටි‍්‍රක් ටොන් එක් ලක්ෂ පනස් හත් දහසක් පමණ ඉලක්ක කරනවා. ඒ වගේම 2025 වනවිට ජාතික ධීවර සංවර්ධන සැලැස්ම තුළ මෙටි‍්‍රක්ටොන් තුන් ලක්ෂ පනස් දෙදහසකට වැඩි ප‍්‍රමාණයක් ඉලක්ක කරනවා. මෙයින් 2020 වනවිට මිරිදිය මත්ස්‍යයින් මෙටි‍්‍රක් ටොන් 95 ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා. අපේ සංවර්ධන ඉලක්කය තුළ 2025 වනවිට මිරිදිය මත්ස්‍යයින් මෙටි‍්‍රක් ටොන් 200 ක් පමණ අපි බලාපොරොත්තු වෙනවා.

මේ සංවර්ධනය සඳහා අපි සලකලා තියෙන්නේ කොහොමද කියලා මම සරලව උදාහරණයක් පෙන්වන්නම්. තමුන්නාන්සේලාට සේවය කරන ජාතික ජලජීවි වගා සංවර්ධන අධිකාරිය ඔබ දන්නවා. තමුන්නාන්සේලාගේ සංවර්ධන කටයුතු සඳහා 2014 වසරේ ජලජීවි අධිකාරියට වෙන් කර තිබුණේ මිලියන 358 යි. නමුත් 2017 දී වෙන් කළා මිලියන 2435 ක්. එහෙනම් තමුන්නාන්සේලාට පැහැදිලියි නේද වර්තමාන ආණ්ඩුව ධීවර කර්මාන්තය සංවර්ධන කරන්න අති විශාල මුදලක් වෙන් කර තිබෙනවා කියලා. ඒ නිසා තමුන්නාන්සේලාගේ කර්මාන්ත දියුණු කිරීම කියන්නේ මේ රටේ දියුණුවයි. මේ රටේ ආර්ථිකයේ ශක්ත%

Share This Post

NEW