රණවිරු අභිමානය සුරැකීමට රජය සෑම විට ම කැපවන බව ජනපති පවසයි.

රණවිරු අභිමානය සුරැකීමට රජය සෑම විට ම කැපවන බව ජනපති පවසයි.

ත‍්‍රස්තවාදයට එරෙහිව සටන් කළ අවසාන සොල්දාදුවාගේ සිට හමුදාපතිවරුන් දක්වා සියලුදෙනා ශ්‍රේෂ්ඨ රණවිරුවන් බවත්, එම සියලුදෙනාගේ අභිමානය සුරැකීමට රජය නිරන්තරයෙන් කැපවී සිටින අතර, ඔවුන් වෙනුවෙන් ලබාදිය යුතු ඉහළ ම වරප‍්‍රසාද ද නොඅඩුව ලබාදෙන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ඊයේ (26) පස්වරුවේ නිව්යෝර්ක් නුවර දී ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් හමු වූ අවස්ථාවේදී ය.

විද්වතුන්, වෘත්තීයවේදීන්, ව්‍යාපාරිකයින්, විශ්වවිද්‍යාල සිසුන් ඇතුළු පිරිසක් මෙම හමුවට එක්ව සිටී අතර ඔවුන් සියලුදෙනා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෞරවයෙන් පිළිගනු ලැබීය.

යුද්ධය පැවති කාලයේ සේම ඉන් පසුවත් යුද්ධයට කිසිදු සම්බන්ධතාවයක් නොමැති ඇතැම් සිදුවීම්වලට සම්බන්ධ වූ බවට චෝදනා ලැබු පිරිස් වෙනුවෙන් පරීක්ෂණ කටයුතු සිදු වුව ද එය කිසිසේත් රණවිරු දඩයමක් නොවන බව මෙහිදී ප‍්‍රකාශ කළ ජනාධිපතිතුමා 2015 වසරේ දී රටේ ජනතාව තමන් ජනාධිපති ධුරයට පත්කර ගනිමින් තැබූ අපේක්ෂාවන් අතර එවන් වැරදිකරුවන්ට දඩුවම් ලබාදීම ද ප‍්‍රමුඛ අපේක්ෂාවක් වූ බව අමතක නොකළ යුතු බව සඳහන් කළේය.

යුද්ධයෙන් භාහිරව සිදු වූ එවන් සිදුවීම්වලට වැරදිකරුවන් බව තහවුරු වුවහොත් එම සියලුදෙනාට නීතිය කි‍්‍රයාත්මක කිරීම සැබෑ රණවිරුවන්ට සිදුකරන ගෞරවයක් බව ද පැවසූ ජනාධිපතිතුමා ජාත්‍යන්තර වශයෙන් අපේ රණවිරුවන් ඉහළ පිළිගැනීමකට ලක්වන්නේ එම නිවැරදි කර ගැනීම් තුළින් බව ද වැඩිදුරටත් කියා සිටියේය.

අද ශ‍්‍රී ලංකා මාතෘ භූමිය තුළ නිදහසත්, ප‍්‍රජාතන්ත‍්‍රවාදයත් සැබෑ ලෙසම තහවුරු කර තිබෙන අතර පුවත්පත් කර්තෘවරුන් සහ මාධ්‍යවේදීන් කිසිවෙකුට ඉකුත් වසර තුන හමාර තුළ පහර කෑමකට ලක්ව රට හැර දමා යාමට සිදු නොවූ බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

ඇසට පෙනෙන සේම නොපෙනෙන ජයග‍්‍රහණ රැසක් පසුගිය වසර තුන හමාර තුළ ශ‍්‍රී ලංකා රජය ලබාගත් අතර අහිමි වූ ජාත්‍යන්තර සහය නැවත මාතෘ භූමියට දිනා ගැනීම සුවිශේෂී ජයග‍්‍රහණයක් බව ද කියා සිටියේය. එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩලයේ 73 වන සැසිවාරය සඳහා සහභාගීවීමට සිදුකරන ලද තම ඇමරිකා සංචාරය මාතෘ භූමියේ මෙන්ම විරෝධාර රණවිරුවන්ගේ ද ගෞරවය දිනා දුන් සංචාරයක් බව ජනාධිපතිතුමා සඳහන් කළේය.

අද ලෝකයේ තිබෙන ආර්ථික අසමානතා සමග ජීවන වියදම ඉහළ යාම හේතුවෙන් ගැටලු මතු වුව ද ජනතාවට ලබාදිය හැකි උපරිම සහන ලබාදෙමින් රටේ ජනතාවගේ ජීවන තත්ත්වය ඉහළ නැංවීමට රජය සුවිශේෂී වැඩකොටසක් ඉටුකරමින් සිටින බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

මාතෘභූමියේ ගෞරවය රැකගනිමින් ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස තහවුරු කිරීමට ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා ගෙන යන වැඩපිළිවෙළ මෙහිදී ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින්ගේ දැඩි පැසසුමට ලක්විය.

මෙම හමුවෙන් අනතුරුව ජනාධිපතිතුමා ඔවුන් සමග සුහද කථාබහකට ද එක් විය.

ඇමරිකාවේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් අමතා 2018.09.27 දින ගරු ජනාධිපතිතුමා කළ කතාව

එක්සත් ජාතීන්ගේ සමුළුවට සහභාගි වීමට පැමිණි මෙම ගමන මා දකින්නේ අපේ මාතෘභූමියේ ගෞරවය දිනාගත් සාර්ථක ගමනක් වශයෙන්.

අපි බලයට පත් වෙලා වසර හතරක් සම්පූර්ණ වෙන්න තව තිබෙන්නේ මාස තුනකට අඩු කාලයක්. මේ කෙටි කාලය මම දකින්නේ ජයග‍්‍රහණ රාශියක් ලබාගත් කාලයක් විදියට යි.

2015 අපි බලයට පත් වන විට එක්සත් ජාතීන්ගේ සංවිධානය සහ ශ‍්‍රී ලංකාව තිබුණේ සම්පූර්ණයෙන් ඈත් වෙලා. මා මිත‍්‍ර හිටපු ජනාධිපතිතුමා වසර දෙකක් බලයේ ඉන්න තිබිය දි මැතිවරණයකට ගිය ප‍්‍රධානම කාරණයක් තමයි එක්සත් ජාතීන්ගේ සංවිධානය ප‍්‍රමුඛ ජාත්‍යන්තරයෙන් එල්ල වුණු බලපෑම්. ඒවගේම ඇති වුණු යම් යම් මතභේද. ඒ ආණ්ඩුවේ හිටපු ඇමතිවරයෙක් විදියට මැතිවරණයකට යන්න දැඩි ලෙස විරුද්ධ වුණු කෙනෙක් මම. මම ඒ පිළිබඳව ලිපියකින් පවා විරෝධය පළ කළා. මගේ අත්දැකීම්වල හැටියට මම දැනගෙන හිටියා මැතිවරණයකට ගියොත් අමාරු තත්ත්වයකට පත් වෙනවා කියලා. නමුත් මම එම ජනාධිපතිවරණයේ අපේක්ෂකයෙක් වෙයි කියලා ඒ ලිපිය ලියන අවස්ථාව වන විටවත් මම දැනගෙන සිටියේ නැහැ.

පශ්චාත් යුද සමයක කළ යුතු මූලික කාර්යයන් ඉෂ්ට නොකිරීම නිසා එවක රජය අසීරු තත්ත්වයකට පත් වුණා. මෙතන ආර්ථික විද්‍යාඥයින් ඇති. විද්වතුන් ඇති. එක්සත් ජාතීන්ගේ සංවිධානය පමණක් නොවෙයි ආසියානු සංවර්ධන බැංකුව, ලෝක බැංකුව, ජයිකා, කොයිකා, ක්වෙට් සවුදි වැනි මූල්‍ය ආයතන අපෙන් ඈත් වෙලා සිටියා. ඇතැම් ජාත්‍යන්තර බැංකු සෘජු ලෙසම අපිට දෙන මුදල් ආධාර, ණය ප‍්‍රදානයන් නවත්වලා තිබුණා. එයට හේතු රාශියක් තිබුණා. ඒ නිසා ජනාධිපති ධුරයට පත් වෙලා මට තිබුණු මූලිකම කාර්යය තමයි රට වෙනුවෙන් ජාත්‍යන්තරය දිනා ගැනීම.

2017 වසරේ ආසියානු සංවර්ධන බැංකුවේ අධ්‍යක්‍ෂක මණ්ඩලය ලංකාවට ගියේ වසර 36 කට පස්සේ. ඒ විදියට විවිධ සිදුවීම්වල පසුබිම් මට කියන්න පුළුවන්. ජනාධිපති ධුරයට පත් වෙලා පළවෙනි අවුරුදු දෙකහමාර මම වෙන් කළේ ලෝක නායකයින් හමුවෙන්න. අලුත් ආණ්ඩුවක් විදියට වැඩ කරගෙන යන්න අපට ඉඩ දෙන්න. පසුගිය ආණ්ඩුවත් සමඟ තිබුණු මතභේද ඉවත් කර ගන්න කියලා මම ඔවුන්ට කරුණු පැහැදිලි කර දුන්නා. එක්සත් ජාතීන්ගේ සංවිධානය අමනාප කරගෙන අපි වගේ පුංචි රටවල් අද පවතින්නේ ඉතාමත් අසීරු තත්ත්වයක. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ශ‍්‍රී ලංකා නියෝජිත කාර්යාලය ඉදිරියේ එදා ආණ්ඩුවේ ඇමතිවරයෙක් උපවාස කෙරුවා. ආණ්ඩුවේ නායකයා ගිහිල්ලා ඇමතිවරයට තැඹිලි පෙව්වා. එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස්වරිය ලංකාවට ගිය වෙලාවේ ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙක් කිව්වා මට ඇයව විවාහ කර ගන්න තිබෙනවා නම් හොඳයි කියලා. යුද්ධය පැවැති කාලයේ ඇති වුණු ප‍්‍රශ්න පිළිබඳව පැහැදිලි උත්තරයක් දීමට අපොහොසත් වීම නිසා තමයි ඒ සංවිධාන සියල්ලම ඈත් වෙලා සිටියේ. ඒ තත්ත්වය අපි වෙනස් කළා. අද එක්සත් ජාතීන්ගේ සංවිධානය අපේ හොඳම මිත‍්‍රයෙක්. අද ඔවුන් අපිත් සමඟ ඉතාම සුහදශීලී ලෙස වැඩ කරනවා. මම දන්න විදියට ලෝකයේ කිසිම රටක් අද අප සමඟ අමනාපයෙන් නෑ. ඒ සෑම කෙනෙක්ම අපි මිත‍්‍ර කර ගත්තා. සුහදතාවය වර්ධනය කර ගත්තා. මම ඉහත සඳහන් කළ ජාත්‍යන්තර මුල්‍ය ආයතන සියල්ලම අපේ රටේ සංවර්ධනයට එකතු කර ගත්තා.

දැන් මාස කිහිපයකට කලින් විවෘත කළ මොරගහකන්ද ජලාශය සමඟ ඉදිවන කළු ගඟ ජලාශය වගේ ඇළවල් තුනක් ඉදිවෙනවා. ඒ ජලාශත් එක්ක අලුතින් වැව් 2400 ක් ප‍්‍රතිසංස්කරණය වෙනවා. ඒ ව්‍යාපෘතිය සඳහා පමණක් රුපියල් කෝටි 23,000 ක් වැය වෙනවා. මේ වන විට ඒ මුදල ලැබිලා තිබෙන නිසා වැඩකටයුතු සාර්ථක ව කරගෙන යන්න පුළුවන්කම ලැබී තිබෙනවා. ඒවගේම අනිකුත් සංවර්ධන ව්‍යාපෘති සඳහාත් ජාත්‍යන්තර සහයෝගය ඉහළින් ම ලැබෙනවා.

යුද්ධයේ අවසාන සති දෙක පිළිබඳ සියලු දෙනාට වඩා කරුණු දන්න කෙනා මම යි. අවසාන සති දෙකේ මමයි වැඩ බලපු ආරක්ෂක ඇමතිවරයා. හිටපු ජනාධිපතිතුමා ලංකාවේ හිටියේ නැහැ. හිටපු අගමැතිතුමා නැහැ. හමුදාපතිවරයා නැහැ. හිටපු ආරක්ෂක ලේකම්වරයා ඒ අවසාන සති දෙකේ හිටියේ නැහැ. මේ ගැන හුඟ දෙනෙකුට අමතකයි. ඒ අය රටින් ගියේ ඇයි කියලත් බොහෝ අය දන්නේ නැහැ. එල්.ටී.ටී.ය ඇවිල්ලා කොළඹ නගරයට ගුවනින් බෝම්බ දාන කොට තව කොහෙන් බෝම්බ වැටෙයිද කියන භීතිය සමග ජනතාවට ජීවත්වෙන්න සිදු වුණා. මම එල්.ටී.ටී.ඊ ත‍්‍රස්ත ප‍්‍රහාර පහකට ලක් වුණු කෙනෙක් බව ඔබ දන්නවා. එම ප‍්‍රහාර වලට ආ එල්.ටී.ටී.ඊ සාමාජිකයන් ප‍්‍රහාරවලින් මිය ගියා. ඇමතිවරු විදියට ඒ කාලේ අපි උදේ ගෙදරින් එළියට ගියේ හවස ආපහු ගෙදර එන්න පුළුවන් ද කියන සැකයෙන්. ඒ අත්දැකීම හොඳට තිබෙන කෙනෙත් විදියට මම දන්නවා අපේ ආරක්ෂක හමුදා මොනතරම් කැපවීමක් කළා ද කියන එක. යුද්ධය කළ ආරක්ෂක හමුදා විශාල පරිත්‍යාගයක් කළ බව ඔබ හොඳින් දන්නවා. කොච්චර මැරුණ ද? කොච්චර ආබාධිත වුණා ද? ඔවුන්ගේ පවුල් ජිවිතවලට මොනතරම් ප‍්‍රශ්න ඇති වුණා ද? පැහැදිලිව කියනවා නම් රටේ සිවිල් වැසියන් එක්කම පනස් දාහකට හැටදහකට වැඩිය මිය ගියා. ඒ ගණන් මිනුම් කාටවත් හරිහැටි දෙන්න පුළුවන්කමක් නැහැ.

කොළඹ නගරයේ වගේම ගම්මානවල මැරුණු සිවිල් ජනතාවගේ අත්දැකීම් එක්ක ජනාධිපතිවරයා වුණු මට තිබුණු ප‍්‍රමුඛ කාර්යය වුණේ ජාත්‍යන්තරය දිනාගැනීම යි. බොහෝ බාධාවන් මධ්‍යයේ වුවත් ඒ වගකීම ඉෂ්ට කර තිබෙනවා. රණවිරු දඩයම කියන්නේ කුමක්ද? එල්.ටී.ටී.ඊ.යට විරුද්ධව සටන් කළ සෑම සොල්දාදුවෙකුගේම ඉඳලා හමුදාපතිවරයෙක් දක්වා ශ්‍රේෂ්ඨ රණවිරුවෝ. අපේ රජය යටතේ එල්.ටී.ටී.ඊ.යට විරුද්ධව කටයුතු කළ කිසිම කෙනෙකුට එල්.ටී.ටී.ඊ.යට විරුද්ධව සටන් කෙරුවයි කියලා කිසිම තැනක චෝදනා පත‍්‍රයක් නැහැ. ඒවගේම ඔවුන්ගේ සේවාවන්ට කිසිදු අවහිරයක් නැහැ. උසස්වීම්, විදේශ සංචාර, පුහුණුවීම් යුද්ධය පැවැති කාලයේ වගේම යුද්ධයෙන් පසුවත් ලබා දෙනවා.

එවකට ඒ යුද්ධයට කිසිදු සම්බන්ධයක් නැතිව ඝාතන කීයක් සිදු වුණාද? ඒ ඝාතන කරන්න කවුද කටයුතු කළේ. ඒවාට කවුද යොදා ගත්තේ. ඒවා තමයි ප‍්‍රශ්න. 2015 ජනාධිපතිවරණයේ දී මතුවූ ප‍්‍රධානතම චෝදනාවක් මේ චෝදනාව. ලසන්ත වික‍්‍රමතුංග කවුද ඝාතනය කළේ. කීත් නොයාර්ට කවුද පහර දුන්නේ. තාජුඞීන් කවුද ඝාතනය කළේ. සිරස වාගේ මාධ්‍ය ආයතන ගිනි තිබ්බේ කවුද? මාධ්‍යවේදියෝ රට හැර දාලා ගියේ ඇයි? මේ වගේ කරුණු වැලක් කියන්න පුළුවන්. ඒ දඬුවම් ලැබූ අය දඬුවම් ලැබුවේ කාගෙන්ද? ත‍්‍රිවිධ හමුදාවත් එක්ක තිබුණු පෞද්ගලික සම්බන්ධතාවයන් උඩ කවුරුන් හෝ හමුදාවල නිලධාරීන් පාවිච්චි කළා නම් ඒක බරපතළ වැරැුද්දක්.

ඒක හමුදාවේ කීර්තිනාමයට බරපතළ අගෞරවයක්. හමුදාවල යුද්ධය කළ රණවිරුවෝ අද සේවාවන්වල ඉන්න අය ඒ සෑම කෙනෙක්ම දරන මතයක් තමයි යුද්ධයෙන් බාහිරව යුද්ධයට කිසි සම්බන්ධයක් නැතිව ඝාතන, පහරදීම්, බියවැද්දීම්, පළවා හැරීම්වලට හමුදාවේ අය කවුරුන් හෝ සම්බන්ධ නම් රටේ සාමාන්‍ය නීතියට අනුව ඒ අයට දඬුවම් දිය යුතුයි කියන එක. ඒ අයගේ පවුල්වලින් මතු වුණු සමාජ මතය 2015 වන විට ප‍්‍රබල මතයන් බවට පත් වෙලා තිබෙනවා. ඒ නිසා එවැනි සිදුවීම් පිළිබඳව පරීක්ෂණ කරගෙන යන කොට සමහර තැන්වල දේශපාලනඥයෝ වගඋත්තරකාරයෝ වෙලා තිබෙනවා. සමහර තැන්වල සාමාන්‍ය පුරවැසියෝ අතරේ ඉන්න අය වග උත්තරකාරයෝ වෙලා තිබෙනවා. ඇතැම් පරීක්ෂණවල දී ත‍්‍රිවිධ හමුදාවේ සේවය කළ අය වගඋත්තරකාරයෝ වෙලා තිබෙනවා. රටේ සාමාන්‍ය නීතිය ක‍්‍රියාත්මක කිරීමේදී ඒ සෑම කෙනෙක්ම නීතියට යටත් වන නිසා යුද්ධයෙන් බාහිරව එවැනි ක‍්‍රියාවලට සම්බන්ධ වුණා නම් ඒ කාටත් නීතිය ක‍්‍රියාත්මක කිරීම වීරෝධාර රණවිරුවන්ට කරන විශිෂ්ට ගෞරවයක්. ඒ ගෞරවය ලබා දෙන්න ඕනෑ. ඒවා නිවැරදි කර ගැනීම තමයි ජාත්‍යන්තර වශයෙන් අපේ හමුදා පිළිගැනීමට ප‍්‍රධාන වශයෙන්ම හේතු වෙන්නේ. එක්සත් ජාතීන්ගේ සාම සාධක හමුදාවලට අපේ හමුදාවල පිරිස් ගන්නේ ඒ පරීක්ෂණ අපි කරගෙන යන නිසා. එක්සත් ජනපදය ශ‍්‍රී ලංකා යුද හමුදාවට දෙන පුහුණුවීම් නවත්වලා තිබුණේ. නමුත් මම ජනාධිපති වෙලා අවුරුද්දකට විතර පස්සේ නැවත ඒ පුහුණුවීම් ආරම්භ කළා. දැන් සති තුනකට කලින් රටේ ආරක්ෂක කටයුතු සඳහා එක්සත් ජනපදය අපිට නැවක් පරිත්‍යාග කළා. ඒවගේම එක්සත් ජනපදයේ නාවික කටයුතු සම්බන්ධයෙන් අපේ නාවික හමුදාවත් එක්ක විශාල සම්බන්ධතාවයන් ඇති කර ගෙන ඒ පුහුණුවීම් වැඩි කරලා තිබෙනවා. ඒ විදියේ ලැයිස්තුවක් කියන්න පුළුවන්.

මේ කරුණු නිවැරදි කරගෙන වැඩ කරගෙන යන කොට අපිට ලැබෙන ආර්ථික ආධාර වගේම ජාත්‍යන්තර සහයෝගිතාවය ශක්තිමත් වුණා. ඔබ දන්නවා යුද්ධයේ කාලේ වගේම අදත් රටේ උතුරේ සහ දකුණේ අන්තවාදීන් ඉන්නවා. ඒ ගැන ඔබට අවශ්‍ය සාක්ෂි සාධක ඕනෑතරම් තිබෙනවා. අපි මෙහෙට එන්න කලින් දවසේ එල්.ටී.ටී.ඊ.යේ රුද්‍ර කුමාර් එක්සත් ජාතීන්ගේ සංවිධානයට මෙවරත් ප‍්‍රකාශයක් කරලා තිබුණා. එයා තමයි ලංකාවේ අගමැති. ඒ නිසා යූඑන් එකේ ඇවිල්ලා එයාට වාඩි වෙන්න ඕනෑයි කියලා. එහෙම උන්මාද තිබෙන අන්තවාදියෝ ඉන්නවා.

මම දැන් මාස හතර පහකට කලින් ලන්ඩන්වල තිබුණු පොදුරාජ්‍ය මණ්ඩලීය සමුළුවට සහභාගි වෙලා ශ‍්‍රී ලාංකිකයන් හමු වුණු වෙලාවේ ශ‍්‍රී ලාංකික මුස්ලිම් සංවිධාන දෙකක් මාව මුණගැහෙන්න ඉල්ලලා තිබුණා. ඒ අවස්ථාවේ මම තානාපති කාර්යාලයේ නිලධාරි මහත්වරුන්ට කිව්වා ඒ අය ඇයි සංවිධාන දෙකක් විදියට එන්නේ එකක් විදියට එන්න කියලා. අපිට එහෙම එකට එන්න බැහැ අපි වෙනම එන්නේ කියලා ඒ අය කියලා තිබුණා. ඒ දෙපිරිසගෙන්ම මම පළමුවෙන්ම අහපු ප‍්‍රශ්නේ තමයි ඔයාලා ලාංකිකයින් විදියට මෙහි ඉන්න මුස්ලිම් ජනතාව විදියට ඔය අයට මාව හම්බ වෙන්න එකට එන්න බැරි වුණා. ඔය අය මෙහේ බෙදිලා නම් ඔය අයට පුළුවන් ද ලංකාවේ තිබෙන බෙදීම් ගැන කතා කරන්න කියලා. එතන හිටියා මුස්ලිම් කාන්තාවක්. ඇය මට චෝදනා පත‍්‍රයක් ඉදිරිපත් කළා ජනාධිපතිතුමා මේ ආණ්ඩුව අපේ මුස්ලිම් ජනතාව ගැන බලන්නේ නැහැනේ. නුවර අපේ මුස්ලිම් ජනතාවට කොච්චර කරදර වුණාද. ඔබතුමා ජපානෙට ගියානේ. ජපානෙට යන කොට අර ඥානසාර හාමුදුරුවොත් අරගෙන ගියානේ. ඔබතුමානේ අරගෙන ගියේ කියලා කිව්වා. මම ඇයගෙන් ඇහුවා ඥානසාර හාමදුරුවෝ මම අරගෙන ගියයි කියලා ඔබ කොහොමද කියන්නෙ කියලා. නැහැ මේ සෝෂල් මීඩියාවල තියෙන්නේ. මේ පත්තරවල තියෙන්නේ. මම කිව්වා ඔතන තමයි වරද්ද ගන්න තැන. ඥානසාර හාමදුරුවෝ ගිහින් තිබුණේ සතියකට කලින්. ජපානයේ ටෝකියෝ කිට්ටුව විහාරස්ථාන කීපයක් තිබෙනවා. ඒ ගිහින් ශ‍්‍රී ලාංකිකයන් හමුවුණ වෙලාවේ ඒ හැම විහාරස්ථානයකටම යන්න වෙලාවක් නැති නිසා එම විහාරස්ථානවල වැඩවසන ස්වාමීන් වහන්සේලාටත් මම ආරාධනා කළා. ඒ අවස්ථාවේ තමයි මම දැක්කේ ඥානසාර හාමදුරුවොත් වැඩලා ඉන්නවා. මම ඇහුවා හාමුදුරුවනේ ඔබ වහන්සේ මෙහේ. රුවන්වැලි සෑයේ පින්කමක් තියෙනවා. ඒකට සිවුරු 60,000 ක් ඕනෑ. ඒක එකතු කර ගන්න මම රටවල්වල යනවා. ඒ වැඬේට ආවා කියලා උන්වහන්සේ කිව්වා. ඒ සාකච්ඡාව අවසන් වුණාට පස්සේ උන්වහන්සේ සමඟ බොහෝම සුහදව කතා බහ කරන කොට එතන හිටපු අය පින්තූර අරගෙන සෝෂල් මීඩියාවලට දැම්මා. ඒක දැකපු ලංකාවේ අයත් කියනවා අන්න ජනාධිපති ඥානසාර හාමුදුරුවෝ ජපානේ අරන් ගිහින්නේ කියලා. හුඟක් දේවල් සිදු වෙන්නේ මේ වගේ තමයි. අසත්‍ය කියන එක බොහෝම වේගයෙන් ගලා ගෙන යනවා. සත්‍ය බොහෝම නිහඬයි. සත්‍ය බොහෝම සෙමින් තමයි ගමන් කරන්නේ. ඒ නිසා අපි හැමවෙලේම රණවිරුවන්ගේ ගෞරවය වගේම ආරක්ෂක හමුදාවල ගෞරවය රැකලා තිබෙනවා. ඒවගේම ජාත්‍යන්තර සහයෝගිතාවය අපි වර්ධනය කරගෙන තිබෙනවා. අපි රටේ තහවුරු කරලා තිබෙනවා.

ලංකාවේ ප‍්‍රජාතන්ත‍්‍රවාදය සහ නිදහස කියන එක දෝරා ගලා යනවා. ඒ තරම් අසීමිතව ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් වෙලා තිබෙනවා. ලංකාවේ ජනාධිපතිවරයා තරම් සෝෂල් මීඩියාවල නින්දා අපහාසවලට ලක් වන කෙනෙක් නෑ. නමුත් සෝෂල් මීඩියාවලින් ඔය වගේ කලින් හිටපු අයට මඩ ගැහුවා නම් ලෝකයේ කොහේ හරි ඉන්න තැනට හොයා ගෙන යනවා කට්ටියක්. ඒක තමයි එදා තත්ත්වය. රටේ මාධ්‍ය තුළ තිබුණු විවේචනයත් එක්ක තමයි පුවත්පත් කර්තෘවරු, ලසන්ත වික‍්‍රමතුංගලා වගේ අයට ඒ ඛේදවාචකයන් වුණේ. කීත් නොයාර්ලට ඒ දේ සිද්ධ වුණේ ඒ නිසා. තෙන්නකෝන්ලාට පහර කාලා රට හැරදාලා යන්න සිදුවුණේ ඒ නිසා. මෙතන නෑ මම හිතන්නේ පෝද්දල ජයන්ත මහත්තයා. ඔහු මෙහෙ ඉන්නේ. හැබැයි මේ අවුරුදු තුනහමාර තුළ එවැනි හේතු නිසා කිසිකෙනෙක් රටින් පිටවෙලා නැහැ. රටට ආපසු පැමිණ තිබෙනවා මිසක්. කිසිම මාධ්‍ය ආයතනයක් ගිනි අරගෙන නැහැ. කිසිම පුවත්පත් කර්තෘවරයෙක් මහ පාරේ මැරිලා නැහැ. මරලා නැහැ. පෙනෙන ජයග‍්‍රහණ සහ නොපෙනෙන ජයග‍්‍රහණ තිබෙනවා. බොහෝ වෙලාවට රට තුළ ප‍්‍රජාතන්ත‍්‍රවාදය ශක්තිමත් කරලා, තිබෙන මාධ්‍ය නිදහස ශක්තිමත් කරලා තිබෙනවා.

අද ලෝකයේ ආර්ථික අසමානතාවයන් බොහෝ වර්ධනය වෙලා තිබෙනවා. ඩොලර් එකේ වටිනාකම් ඉහළ යාම සහ ඒ උදා වෙලා තිබෙන තත්ත්වයත් එක්ක අපේ රටේ රුපියලේ අගය අවප‍්‍රමාණ වෙනවා. එය ජීවන වියදමට බලපාලා තිබෙනවා. තෙල් මිල ඉහළ යනවා.

ඔබ කරන සේවය අපි ඉතාමත් අගය කරනවා. ඔබේ සේවය මඟින් අපේ මාතෘභූමියට ලබාදෙන ගෞරවය පිළිබඳව අපි ඔබට ගෞරව කරනවා. ශ‍්‍රී ලාංකියෙක් ලෝකයේ කොහේ හෝ රටක ගෞරවනීය ලෙස වැදගත් ලෙස සිය දැනුම, පරිණතභාවය, බුද්ධිය, උගත්කම, අත්දැකීම් සමඟ යම් කිසි සේවයක් කරනවා කම් ඒක අපේ රටට විශාල ගෞරවයක්. අපි රජයක් විදයට ගෙනියන වැඩපිළිවෙළේදී ලෝකයේ අනික් රටවල්වල ආණ්ඩුවලට වගේම බාධාවල් අභියෝග රාශියක් තිබෙනවා. ඒ සියල්ලත් එක්කයි අපි වැඩ කරන්නේ.

අද ඔබේ පැමිණීම ගැන මා ස්තූතිවන්ත වෙනවා.

 

Share This Post

NEW