රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පිටරටින් ගෙන්වීම වහාම නතර කළයුතු බව ජනපති පවසයි.

රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පිටරටින් ගෙන්වීම වහාම නතර කළයුතු බව ජනපති පවසයි.

රට තුළ වගා කළ හැකි ආහාර භෝග විවිධ ජාවාරම්කරුවන්ට අවශ්‍ය ලෙස පාරිභෝගික වාර්තා ඉදිරියට දමමින් පිටරටින් ගෙන්වීම වහාම නතර කිරීමේ විධිමත් වැඩපිළිවෙළක් පිළිබඳ බලධාරින්ගේ අවධානය යොමු විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ අද (10) පෙරවරුවේ හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී හම්බන්තොට ගොවි ජනතාව සමග පැවති හමුවකදී ය.

ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමට දීපව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහන මෙලෙස ජනාධිපතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් හම්බන්තොට දිස්ත‍්‍රික්කයෙන් ආරම්භ කෙරිණි.

ගිං – නිල්වලා ව්‍යාපෘතිය පිළිබඳව ද මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා සඳහන් කළේ එම ව්‍යාපෘතියේ සිදුවූවා යැයි පැවසෙන මූල්‍ය අක‍්‍රමිකතාවයන් පිළිබඳ වත්මන් රජය යටතේ ද නැවත පරීක්ෂණයක් ආරම්භ කිරීමට සිදුවනු ඇති බවයි.

ගිං – නිල්වලා වාරිමාර්ග ව්‍යාපෘතියේ සිදුවූ අක‍්‍රමිකතා පිළිබඳ, මේ වන විට සිදුවන පරීක්ෂණවල පවතින දැඩි ප‍්‍රමාදය සහ මන්දගාමි තත්ත්වය සැලකිල්ලට ගනිමින් එම තීරණයට එළැඹීමට සිදුවනු ඇතැයි සඳහන් කළ ජනාධිපතිතුමා කෙසේ නමුත් ව්‍යාපෘතිය කි‍්‍රයාවට නැංවීමේ වගකීම පැවරී ඇති ආණ්ඩුවේ සියලුදෙනා ද සිය දේශපාලන වටිනාකම් ආරක්ෂා කරගෙන කටයුතු කළයුතු බවට තමා ප‍්‍රසිද්ධියේ ප‍්‍රකාශ කරන බව ද කියා සිටියේය.

හම්බන්තොට සහ මාතර දිස්ති‍්‍රක්කයන්හි සංවර්ධනයේ නව පරිවර්තනයක් සිදුකෙරෙන සහ එම දිස්ති‍්‍රක්කයන්හි ගොවි ජනතාවගේ අපේක්ෂාවක් වූ ගිං නිල්වලා ව්‍යාපෘතිය ඉතා අවශ්‍ය බවට වූ ප‍්‍රතිපත්තිය තුළ රජය කටයුතු කරන බව ද ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේය.

කෘෂිකාර්මික ක්ෂේත‍්‍රයේ පිබිදීමක් ඇති කරමින් ගොවි ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් රජය ගෙන යන පුළුල් වැඩසටහන පිළිබඳව ද ජනාධිපතිතුමා මෙහිදී අදහස් දැක්වීය.

ගොවි ජනතාවගේ ගැටලු ඇතුළත් සංදේශයක් ද ජනාධිපතිතුමා වෙත භාර කෙරිණි.

අමාත්‍ය මහින්ද අමරවීර, නියෝජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න, දකුණු පළාත් කෘෂිකර්ම අමාත්‍ය යූ. ජී. බී. ආරියතිලක යන මහත්වරුන් ඇතුළු මහජන නියෝජිතයින් රැසක් ද, කෘෂිකර්ම අමාත්‍යාංශයේ ලේකම් ඇතුළු රාජ්‍ය නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර අම්බලන්තොට ප‍්‍රාදේශීය ලේකම් කාර්යාලයේ ඉදිකෙරුණු නව තෙමහල් ගොඩනැඟිල්ල අද (10) පෙරවරුවේ ජනතා අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි. ප‍්‍රදේශයේ පරිපාලන කටයුතු වඩා විධිමත් සහ කාර්යක්ෂම කිරීමේ අරමුණින් ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ මූල්‍ය ප‍්‍රතිපාදන මත රුපියල් ලක්ෂ 990 ක වියදමින් මෙම නව ගොඩනැගිල්ල ඉදිකර තිබේ.

සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැගිල්ල ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරීක්ෂණ චාරිකාවක ද නිරත විය.

ප‍්‍රදේශයේ ජනතාවට ඉඩම් හිමිකම් පත් ප‍්‍රදානය, ආබාධිතවූවන්ට උපකරණ ප‍්‍රදානය, පාසල් සිසුන්ට ශිෂ්‍යත්ව ප‍්‍රදානය, හම්බන්තොට දිස්ති‍්‍රක්කයේ කෘෂිකර්ම නිලධාරින්ගේ සේවය අගයා තිළිණ ප‍්‍රදානය ඇතුළු වැඩසටහන් රැසක් ද මෙහිදී කි‍්‍රයාත්මක කෙරිණි.

අමාත්‍ය වජිර අබේවර්ධන මහතා ඇතුළු ප‍්‍රදේශයේ පක්ෂ, විපක්ෂ මහජන නියෝජිතයින් ද ස්වදේශ කටයුතු අමාත්‍යාංශයේ ලේකම් එස්.ටී.කොඩිකාර, හම්බන්තොට දිස්ති‍්‍රක් ලේකම් එම්. කේ. හරිස්චන්ද්‍ර යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ජාතික සංවර්ධන ඉලක්ක සපුරා ගැනීම සඳහා අවශ්‍ය වූ පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳ ගොවි ජනතාව දැනුවත් කිරීමට දීපව්‍යාප්තව කි‍්‍රයාවට නංවා ඇති දැනුවත් කිරීමේ වැඩසටහන් මාලාවේ සමාරම්භක වැඩසටහනට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව (2018-09-10 දින හම්බන්තොට මාගම්පුර රුහුණු ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී)

අප රට පුරා ආරම්භ කර ඇති පුරන් කුඹුරු අස්වැද්දීමේ ජාතික වැඩසටහන පිළිබඳව හම්බන්තොට දිස්ත‍්‍රික්කයේ ගොවි ජනතාව දැනුවත් කිරීමට එක්වීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වනවා. පුරන් කුඹුරු පිළිබඳව අපේ රටේ ගොවි ජනතාවට තිබෙන්නේ දීර්ඝ කාලීන අත්දැකීමක්. ඒ වගේමයි කෘෂිකර්ම හා ගොවි ජනසේවා දෙපාර්තමේන්තුවටත් විශාල අත්දැකීම් තිබෙනවා.

අප කතා කරන මහා පැරකුම් යුගයේ ආර්ථික සමෘද්ධිය අධි තාක්ෂණික ලෝකයේ අනාගත සංවර්ධන ඉලක්ක සපුරා ගැනීමට යාමේ දී අපට බාධාවන් තිබෙනවා. රටේ විවිධ ක්ෂේත‍්‍රවල වාර්ෂික සංවර්ධන ඉලක්ක, සංවර්ධන සැලසුම් ගත්විට සම්පූර්ණ කිරීමට අපහසුවන කරුණු කිහිපයක් තිබෙනවා.

ඒ කරුණු අපට පමණක් නෙවෙයි, ලෝකයේ සියලුම රටවල්වලට අදාළයි. ජාතික සැලසුම්වලට අපි වාර්ෂිකව මුදල් වෙන් කරනවා. ඒ වගේම විවිධ ක්ෂේත‍්‍රවලට ජාතික සැලසුම් හදනවා. සෞඛ්‍ය, අධ්‍යාපන සහ කෘෂිකර්ම ක්ෂේත‍්‍රයේ සැලසුම් බොහෝ විට අපේක්ෂිත ඉලක්ක කරා යන්නේ නැහැ. එම සැලසුම් ඉදිරියට නොයන්න සෑම රටකටම අපේක්ෂා නොකළ සිදුවීම් වෙනවා. ඒ තමයි ස්වභාව ධර්මයාගෙන් ඇතිවන අභියෝග.

අපේ රටේ නිදහස් සෞඛ්‍ය සේවාවට 2019 වසරට රුපියල් කෝටි 5000 ක් වෙන් කළා. බෙහෙත්වලට මෙච්චරයි, යන්ත‍්‍ර සූත‍්‍රවලට මෙච්චරයි, ගොඩනැගිලිවලට මෙච්චරයි, පරිපාලන වියදම්වලට මෙච්චරයි කියලා වෙන් කරනවා. නමුත් අපේක්ෂා නොකළ ලෙසට ලෙඩ රෝග මතුවෙනවා. ඩෙංගු, වසංගත, ගංවතුර හානි තුළ ඇතිවන ලෙඩ වෙන්න පුළුවන්, නියඟය නිසා ඇතිවන තත්ත්වයන් වෙන්න පුළුවන්. එතනදී වාර්ෂික සෞඛ්‍ය සැලසුම් වෙනස් වෙනවා. කෘෂිකර්මාන්තයත් එහෙමයි. කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, ගොවිජන සේවා දෙපාර්තමේන්තුව සැලසුම් හදනවා. මුදල් අමාත්‍යාංශයෙන් මුදල් දෙනවා. නමුත් මුදල් මෙච්චරයි මේ වසරට, මෙන්න සැලසුම්, මෙන්න නිෂ්පාදන ඉලක්ක කියලා බලාපොරොත්තු වෙනවා අපේක්ෂිත ඉලක්ක ළඟාකරගන්න පුළුවන් කියලා. නමුත් බලාපොරොත්තු නොවන විදියට නියඟයක් එනවා. එවිට ඔක්කොම ඉවරයි. බලාපොරොත්තු නොවන විදියට ගංවතුරක් එනවා. එවිටත් ඔක්කොම ඉවරයි.

ඒ නිසා සෞඛ්‍ය හා කෘෂිකර්මාන්තය කියන්නේ ලෝකයේ ඕනෑම රටක ස්වභාව ධර්මයාගේ හැසිරීමත් එක්ක වෙනස්වන දෙයක්. ස්වභාව ධර්මයාගේ පිබිදීම් සහ කඩා වැටීම් සිදුවෙනවා. ස්වභාව ධර්මයාත් සමග සටන් කරන ක්ෂේත‍්‍රයන් තමයි සෞඛ්‍ය සහ කෘෂිකර්මය කියන්නේ.

පුරන් කුඹුරු ඇතිවෙන්නේ කුමන කාරණයක් නිසාද කියා සිතා බැලුවොත් ඒවා ඇතිවන කරුණු කිහිපයක් තිබෙනවා. එකක් තමයි අති විශාල වශයෙන් ඉඩම් තිබෙන අය වෙනත් ආර්ථික ශක්තීන් ඇතිවිට කුඹුරු අත්හැර දැමීම සිදුකරනවා. ඔවුන් සිතනවා තමන්ගේ අනෙක් ව්‍යාපාර දියුණු කර ගන්න එක හොඳයි මේ සඳහා කාලය ගත කරන්න ඕන නැහැ කියලා. මෙයින් පොඩි ආදායමක් තිබෙන්නේ කියා සිතනවා. ඒ එක කාරණයක්. අඩු ආදායම්ලාභී සාමාන්‍ය ගොවි ජනතාවට තිබෙන ඉඩම්වලින් කාලගුණික සහ දේශගුණික බලපෑම් නිසා කුඹුරු වැඩ කරගන්න බැරිව අත්හරිනවා. ඒවා පුරන් කුඹුරු වෙනවා.

ජාතික සංවර්ධන ව්‍යාපෘති සෑදීමේ දී නිසි පරිදි ශක්‍යතා අධ්‍යයනයන් නොමැතිව කිරීම නිසා ඇතැම් වෙලාවට කුඹුරු ගොඩවෙනවා. ජල මාර්ග හරස් වී කුඹුරු වැඩ කිරීමට අවශ්‍ය ජල ප‍්‍රමාණය නොමැති වීමෙන් කුඹුරු පුරන් වෙනවා. මෙවැනි කරුණු ගණනාවක් කුඹුරු පුරන් වීමට හේතු වෙනාව. හම්බන්තොට දිස්ත‍්‍රික්කයේත් පුරන් කුඹුරු තිබෙනවා නම් ඔය කරුණු තුනටම ඇතුළත් කුඹුරු ඇති. ලංකාවේ පුරන් කුඹුරු වැඩිම පළාත බස්නාහිර පළාත. මම කෘෂිකර්ම ඇමතිවරයා විදියට අවුරුදු හයක් සිටි නිසා මම දන්නවා. මේ පිළිබඳව මට අත්දැකීම් තිබෙනවා. පසුගිය අවුරුදු කිහිපයේ දී පිටරටින් සහල් ගෙන්වන්න සිදු වුණා නියඟය නිසා. පසුගිය මාස හත, අටේ ගෙන්නුවේ නැහැ. මේ අවුරුද්දේ වර්ෂාව ඇතිවීම නිසා නියඟය පැවැති ප‍්‍රදේශවල එම තත්ත්වය අඩු වුණා. හම්බන්තොට ඇතැම් ප‍්‍රදේශවල නියඟය තිබෙනවා. අනුරාධපුර දිස්ත‍්‍රික්කයේ විශාල වශයෙන් නියඟය තවමත් තිබෙනවා. මෙහි තිබෙන තත්ත්වයන් අපි හඳුනාගෙන මේ ප‍්‍රශ්නයට මුහුණ දිය යුතුයි. ඇමතිතුමා පිටරටින් ගෙන්වන ආහාර ලැයිස්තුවක් සඳහන් කළා. දොඩම්, බඩ ඉරිඟු, මිරිස්, කජු වැනි දේවල් සඳහා යන වියදමත් සඳහන් කළා. මේවා ගේන්න අවසර දෙන්නේ කවුද? අවසර දෙන අයත් මෙතන ඉන්නවානේ. කජු ගේන්න කවුද අවසර දෙන්නේ? බඩ ඉරිඟු ගෙන්වීමට කවුද අවසර දෙන්නේ? දොඩම් ගේන්න කවුද අවසර දෙන්නේ? ඒ සඳහා අත්සන් කරන මහත්වරු මෙහි සිටිනවා. අපි ලැයිස්තුවක් කියනවා මේවා ගේනවා කියලා. එක එක ජාවාරම්කාර මුදලාලිලාට ඕන විදියට ජාවාරම්කරුවන් එක්ක හවුල් වී සිටින දේශපාලනඥයින්ට ඕන විදියට, මේවා ගේන්න දෙන්න එපා. ඇමතිතුමා සඳහන් කළා අවුරුද්දකට රු. කෝටි 96 ක වැඩිය වටිනාකමක දොඩම් ගේනවා කියාල. තමුන්නාන්සේලා අත්සන් නොකර හිටියානම් හරි පිටරටින් ගෙන්වන දේවල්වලට.

මම ගිය සතියේ නේපාලයේ සිට ඉන්දියාව හරහා ලංකාවට පැමිණියේ ශ‍්‍රී ලංකන් ගුවන් සේවයේ. එහිදී දුන්නා කජු වගයක් කන්න. මිනිහෙකුට තියා බල්ලෙකුටවත් කන්න බැහැ ඒ කජු. ශ‍්‍රී ලංකන් ගුවන් සේවයට ගේන මේ කජුවලට අත්සන් කරලා අනුමත කරන්නේ කවුද? බඩ ඉරිඟු මේ රටට ගෙන්වීම පිළිබඳව ප‍්‍රතිපත්තියක් ලෙස මම හැමදාම විරුද්ධයි. මම මහවැලි ඇමතිවරයා විදියට අවුරුදු 16 ක් වැඩ කරලා තිබෙනවා. ලංකාවේ මහවැලි ඇමතිවරයා විදියට වැඩිම කාලයක් වැඩ කර තිබෙන්නේ මම.

කෘෂිකර්ම ඇමතිවරයා විදියට අවුරුදු 6 ක් සිටියා. මේ ක්ෂේත‍්‍ර පිළිබඳව දන්න නිසායි මම කියන්නේ. මේ රටේ වගා කිරීමට හැකි දේවල් එක එක ජාවාරම්කාරයින්ට ඕන විදියට පාරිභෝගිකයාගේ තත්ත්වය පිළිබඳ වාර්තාව ඉස්සරහට දාලා ගෙන්වන එක නතර කළ යුතුයි. මේ පුරන් කුඹුරු අස්වැද්දවීමේ වැඩසටහන සාර්ථක කරන්න තමුන්නාන්සේලාගේ සහයෝගය ලබා දෙන්න. ගිං – නිල්වලා ව්‍යාපාරය ගැන ගොවි මහත්වරු මට සංදේශයකුත් භාරදුන්නා. ගිං – නිල්වලා ව්‍යාපාරය ගැන පසුගිය ආණ්ඩුවේ දී සිදු වූ සිද්ධීන් ඔබ සියලු දෙනා දන්නවා. ඒ පිළිබඳව වෙනම පරීක්ෂණත් පවත්වනවා. මේ ආණ්ඩුවෙනුත් ගිං-නිල්වලා ගැන නැවත පරීක්ෂණයක් කරන්න වෙයි කියා මට හිතෙනවා, ඇයි මේ ප‍්‍රමාදය. මම ඒ කාරණයත් දන්නවා. ඒ නිසා ගිං – නිල්වලා ව්‍යාපෘතියේ වගකීම තිබෙන අය කවුරුන් හෝ වේවා තමන්ගේ දේශපාලන වටිනාකම් පරිස්සම් කරගෙන කටයුතු කරන්න. මෙහි කැබිනට් පත‍්‍රය මාස තුනක් ප‍්‍රමාද වුණා. ඒ ඇයි කියාත් මම දන්නවා. ඉතිරි ටික මගෙන් රටට ප‍්‍රකාශ කරගන්නේ නැතුව එම කටයුත්ත කරන්න කියා මම ඔවුන්ට ප‍්‍රසිද්ධියේම කියනවා.

විශේෂයෙන්ම හම්බන්තොට දිස්ත‍්‍රික්කයට සේවයක් වන එමෙන්ම මාතර දිස්ත‍්‍රික්කයේ පරිවර්තනයකට ලක්වන ගිං – නිල්වලා ව්‍යාපාරය සාර්ථක කරගැනීම ඉතාමත් අවශ්‍යයි. ඒ ගැනත් මතක් කරමින් පුරන් කුඹුරු අස්වැද්දවීමේ පුළුල් ජාතික වැඩසටහන සියලු ආකාරයෙන්ම සාර්ථක වේවායි කියා ආශිර්වාද කරනවා. මහින්ද අමරවීර මැතිතුමාට, හම්බන්තොට දිස්ත‍්‍රික්කයට මම කෘෂිකර්ම ඇමතිකම දුන්නේ රටට වගේම හම්බන්තොට දිස්ත‍්‍රික්කයටත් හොඳ වැඩ කොටසක් කරන්න. එතුමා ඉතාමත් දක්ෂව, කාර්යක්ෂමව එම වැඩපිළිවෙළ සිදු කරනවා. සියලු දෙනා සහයෝගය ලබා දී මේ කාර්යය සාර්ථක කරන්න කියා සියලු දෙනාගෙන් ඉල්ලා සිටිනවා.

ස්තූතියි.

තෙරුවන් සරණයි

Share This Post

NEW