ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින අඩුපාඩු යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරනවා – ජනපති පවසයි

ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින අඩුපාඩු යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරනවා – ජනපති පවසයි

මෙරට පවතින නීති රාමුවත් ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ සහ මැතිවරණ නීතියේ පවතින ඇතැම් අඩුපාඩුත් හේතුවෙන් යහපත් සමාජයක් ගොඩනැගීමට බාධා මතුකරන බව ජනාධිපතිතුමා පැවසීය.

සුපිළිපන් නව දේශපාලන සංස්කෘතියක් සඳහා යෝජිත නිර්දේශ ශ‍්‍රී ලංකාවේ සියලු දේශපාලන පක්ෂ නායකයන් වෙත පිළිගැන්වීමේ ජාතික උලෙළ අද (06) පස්වරුවේ කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ දී පැවති අතර උත්සව සභාව අමතමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේය.

ශ‍්‍රී ලංකාව තුළ සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම සඳහා නිර්දේශ ඇතුළත් යෝජනාවලියක් දේශපාලන පක්ෂ හා මහජනතාව වෙත ඉදිරිපත් කිරීම අරමුණ කර ගනිමින් මෙම උත්සවය සංවිධානය කර තිබිණි.

එකී යෝජනාවලිය සකස් කර ඇත්තේ ත්‍රෛනිකායික අතිපූජ්‍ය මහානායක ස්වාමීන් වහන්සේ ප‍්‍රමුඛ සියලු ආගමික නායකයින් හා පූජා ප‍්‍රසාදීන් වහන්සේලාගේ එකඟත්වයෙනි.

මෙහිදී වැඩිදුරටත් අදහස් දක්වමින් ජනාධිපතිතුමා සඳහන් කළේ, පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකුට ඇති වරප‍්‍රසාදවලට අමතරව තවත් වරප‍්‍රසාද සඳහා අනුමැතිය ලබාදීමට තමා එකඟ නොවන්නේ, ජනතා මුදල් ඉසිලිය නොහැකි ආකාරයෙන් වියදම් කිරීම තමන් අනුමත නොකරන නිසාවෙන් බවය.

එමෙන්ම ගෞරවණීය මහා සංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික නායකයින්ගේ එකඟත්වයෙන් සකස්කර ඇති එම නිර්දේශ පිළිබඳව තමන් ද පූර්ණ එකඟත්වය ප‍්‍රකාශ කරන බව සඳහන් කළ ජනාධිපතිතුමා, පාර්ලිමේන්තුව නියෝජනය කරන සියලු දේශපාලන පක්ෂ ඒ සඳහා එකඟත්වය ලබාදෙන්නේ නම් අදාළ නිර්දේශ ක‍්‍රියාවට නැංවීමට තම උපරිම සහය දක්වන බව ද කියා සිටියේය.

අතිපූජ්‍ය දිවියාගහ යසස්සි නාහිමියන් විසින් සභාපතිත්වය දරන බුද්ධ ශාසන කාර්ය සාධක මණ්ඩලය මගින් මෙම නිර්දේශ මාලාව සකස්කර තිබේ.

මේ අවස්ථාවට ශ‍්‍රී ලංකා අමරපුර මහා නිකායේ අමරපුර පාර්ශ්වයේ උත්තරීතර මහානායක අතිපූජ්‍ය කොටුගොඩ ධම්මාවාස හිමි, අමරපුර ධර්ම රක්ෂිත මහා නිකායේ අනුනායක ත‍්‍රිකුණාමලේ ආනන්ද හිමියන් ප‍්‍රමුඛ මහා සංඝරත්නය ද අන්‍යාගමික පූජකවරු ද අග‍්‍රාමාත්‍ය රනිල් වික‍්‍රමසිංහ, විපක්ෂ නායක මහින්ද රාජපක්ෂ යන මහත්වරුන් ප‍්‍රමුඛ දේශපාලන පක්ෂ නායකයින් රැසක් ද එක්ව සිටියහ.

මැතිවරණ අපේක්ෂකයන් තෝරා පත්කර ගැනීමේ නිර්දේශාවලිය, දේශපාලන නායකයන් වෙත පිළිගැන්වීමේ ජාතික උළලේ දී ජනාධිපතිතුමා කළ කතාව. ( BMICH)  – 2019-08-06

බුද්ධ ශාසන කාර්යසාධන මණ්ඩලය, ඒ වගේම සමස්ත ලංකා බෞද්ධ මහා සම්මේලනය, එක්ව ශ‍්‍රී ලංකාවට සුපිරිපන් දේශපාලන සංස්කෘතියක් උදාකර ගැනීම උදෙසා වූ මේ ප‍්‍රකාශනය එළි දක්වන අවස්ථාවේ කෙටියෙන් හෝ වචන ස්වල්පයක් කතා කරන්නට ලැබීම පිළිබඳව. මා ඉතාමත් සතුටු වෙනවා.

මේ කටයුත්ත සඳහා මූලිකත්වය සහ රටේ අභිවෘද්ධිය සඳහා මේ කටයුතු නායකත්වය දී කටයුතු කළ වන්දනීය පූජනීය මහා සංඝරත්නයත් මීට අනුග‍්‍රහය දැක්වූ, සහ සහය වූ අනෙකුත් විද්වතුන් ඇතුළු ඒ සියලු දෙනාටම රට සහ රටේ මහජනතාව වෙනුවෙනුත්, රජය වෙනුවෙනුත්, මගේ ගෞරවනීය ස්තූතිය පුද කරනවා. අපිට බොහෝ වෙලාවට දේශපාලනඥයා කියන වචනයත් සමඟම, දේශපාලන සංස්කෘතිය ඊට ඉතාම කිට්ටුවෙන් බැඳී වචන බවට පත්වී තිබෙනවා. අද මේ ඉදිරිපත් කරන ලද ප‍්‍රකාශනයෙහි දහවෙනි පිටුවෙහි තිබෙන දෙවන යෝජනාව පිළිබඳව අවධානය යොමු කිරීම තිබෙන ප‍්‍රධානම කාර්යයක් බව මා මෙහි දී මතක් කරනවා, මානව සාරධර්ම සහ ගුණධර්ම, දේශීය සංස්කෘතිය සහ සභ්‍යත්වයට ගරු කරන මනා චරිතයකින් හෙබි, විනය ගරුක නීති ගරුක, ආදර්ශවත් පුද්ගලයින් සිය අපේක්ෂකයින් ලෙස නම් කිරීම සිදු කිරීම වැදගත් කියලා මෙහි සඳහන් කරලා තිබෙනවා.

මම හිතනවා අපි කතා කරන මෙහි බොහෝ ක්ෂේත‍්‍ර යහපත් දේශපාලන සංස්කෘතියක් සඳහා මෙන්ම ප‍්‍රධාන වශයෙන්ම ක‍්‍රියාශීලි සමාජයක් ගොඩනැගීමට මේ කාරණාව මුල් වෙනවා කියලයි මම අදහස් කරන්නේ. ඔබ වහන්සේලා අනුශාසනා කළ පරිදි පසුගිය අවුරුද්දේ අල්ලස් සහ දූෂණ කොමිෂන් සභාව එළි දැක්වූවා සුපිළිපන් රාජ්‍ය සේවයක් සඳහා වූ ප‍්‍රකාශනය. අද ඔබ වහන්සේලා දේශපාලනඥයින්ට, දේශපාලන ක්ෂේත‍්‍රයට සුපිළිපන් දේශපාලන සංස්කෘතියක් සඳහා වූ ප‍්‍රකාශනයක එළි දක්වනු ලබනවා.

ඇත්තෙන්ම අපේ රටේ පවතින නීති රාමුව, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ තිබෙන ඇතැම් අඩුපාඩු ඒ වගේම මැතිවරණ නීතියේ තිබෙන අඩුපාඩුත් බොහෝ වෙලාවට යහපත් දේශපාලන සංස්කෘතියක් ගොඩ නැගීමට බාධාවක් වී තිබෙනවා. මනාප ඡන්ද ක‍්‍රමය දේශපාලන සංස්කෘතියේ පරිහානිය ඇති කළ ප‍්‍රධාන කරුණ විදියට මා දකින දෙයක්. මිල මුදල් වියදම් කළහොත් විශේෂයෙන්ම චරිතවත් බව හෝ මේ කියන ආදර්ශයන් එහෙම නැත්නම් අධ්‍යාපනය ඒ කරුණු කිසිවක් අවශ්‍ය වන්නේ නැහැ, ඇතැම් වෙලාවට අති විශාල මුදලක් වියදම් කරපුවම පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙක් වෙන්න පුළුවන්කම තිබෙනවා. ඒ වගේම මේ සුපිළිපන් දේශපාලන සංස්කෘතිය පිළිබඳව කතා කරන විට වගේම සුපිළිපන් රාජ්‍ය සේවය පිළිබඳව කතා කරන විට ඔබ වහන්සේලා සඳහන් කළ බොහෝ කරුණු වැදගත්. ඇතැම් වෙලාවට අපි දකින කාරණයක් තමයි හොද දැනුමක් තිබෙන හොඳ අධ්‍යාපනයක් තියෙන අයත් මේ වැරදි කරනවා. ඒක අපි දැකලා තිබෙනවා. රාජ්‍ය සේවය ගත්විට ඉහළම අධ්‍යාපනය තිබෙන ඉහළම දැනුම තිබෙන අය, ඒ දැනුම සහ අධ්‍යාපනය, විශේෂයෙන්ම තමන් ලබාගෙන තිබෙන අත්දැකීම පාවිච්චි කරනවා වැරදි කරන්න.

එතකොට දේශපාලන සංස්කෘතියේදී ප‍්‍රධාන වශයෙන් අපට ඉතාමත් වැදගත් වන්නේ අනෙක් සියලු දෙනාට ආදර්ශවත් චරිතයි. ඒ නිසා ඔබ වහන්සේලා මේ ප‍්‍රකාශනය ඉදිරිපත් කිරීම දේශපාලන පක්ෂ සහ දේශපාලන නායකයින්ටත්, දේශපාලනයේ යෙදී සිටින සියලු දෙනාටත් ඉතාමත් වැදගත් මඟ පෙන්විමක්, උපදේශන මාර්ගයක් විදියටයි මම දකින්නේ. මේ කරුණු ක‍්‍රියාවට නංවනවනම් බොහෝ වෙලාවට අපේ රටේ දේශපාලන ක්ෂේත‍්‍රයේ තිබෙන, දේශපාලන සංස්කෘතියේ තිබෙන පිරිහීම් , ඇද වැටීම්. ගරා වැටීම් සකස් කර ගන්න පුළුවන් බවයි අපෙත් හැගීම. ඒ නිසා ඔබ වහන්සේලාට අපි රට වෙනුවෙන්, රජය වෙනුවෙන් ගෞරව පූර්වක ප‍්‍රණාමය, ස්තුතිය, ගෞරවය පුද කරනවා, යහපත් රාජ්‍ය පාලනයකට, යහපත් දේශපාලනයකට, යහපත් දේශපාලන සංස්කෘතියකට අවශ්‍යය මඟ පෙන්වීම ඔබ වහන්සේලා විසින් ඉටු කිරීම පිළිබඳව. පෙර රජ දවස සිටම රාජ්‍ය පාලනයේ දි උපදේශකත්වය, අනුශාසකත්වය අපි දන්නවා විශේෂයෙන්ම ගෞරවනීය, පූජනීය මහා සංඝරත්නය අනුශාසනා උපදෙස් මඟ පෙන්වීම් තුළ තමයි රාජ්‍ය පාලනය සිදු වී තිබෙන්නේ. ඒ නිසා එදා වගේම අදත් රාජ්‍ය පාලනය සඳහා ඔබ වහන්සේලා වගේම අනෙකුත් ආගමික නායකයින්ගෙත් පූජකතුමන්ලගේත් ඒ ආධ්‍යාත්මික දර්ශනයන් ඉතාමත් වැදගත් වෙනවා.

ඒ නිසා යහපත් දේශපාලන සංස්කෘතියකට මඟපෙන්වන මේ ප‍්‍රකාශනය එළිදැක්වීම පිළිබඳව අපි ඔබ වහන්සේලාට ඉතාම ගරු කරනවා වගේම මෙහි තිබෙන ඇතැම් කරුණු නීතිරීතිවලට, ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවට, ඇතැම් කරුණු මැතිවරණ නීතියට එක්වීම ඉතාමත් අවශ්‍යයි කියලයි මම අදහස් කරන්නේ.

අද අපේ ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාවේ මම දකින ප‍්‍රධානම කාරණයක් තමයි අමාත්‍ය මණ්ඩලයක් පත්කිරීමේදී තිබෙන සීමාවන් පිළිබඳ අඩුපාඩු. බොහෝ රටවල්වල තිබෙන ජන අනුපාතයත් එක්ක ඇමති මණ්ඩලය ඉතා අඩු සංඛ්‍යාවක් තමයි ඉන්නේ. අපි ඉන්දියාව වගේ රටක් ගත්තොත් එහි ජනගහනය කොච්චරද කියලා එහි සංඛ්‍යාලේඛන කියන්න අවශ්‍ය නැහැ. නමුත් විශේෂයෙන්ම කැබිනට් මණ්ඩලය ගත්තහම අද මහා ඉන්දියාවේත් 20ක් 21 විතරමයි ඉන්නේ. නමුත් අපේ රටේ සමහර වේලාවට කැබිනට් මණ්ඩලය 50ට 50 න් එහා නගින වේලාවලුත් තියෙනවා. ඉතින් මේ වගේ දේවල් නීතියේ නැහැ. දැන් පළාත් සභා ගත්තොත් පළාත් සභා නීතියේම තිබෙනවා ඇමතිවරු ඉන්න පුළුවන් මහඇමතිවරුත් එක්ක පස්දෙනයි කියලා. ඒ වගේම අපි රජය ගත්තොත් රජය තුළත් එවැනි නීතියක් තිබුණානම් ඉතාමත්ම හොඳයි. මේ අමාත්‍යංශ අඩුකිරීම කියන කරුණු මුල්වන විට. අනිත් එක තමා පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයාගේ ඉඳලා මන්ත‍්‍රී ධූරයට පත්වීමෙන් පසුව ඉල්ලන අයිතිවාසිකම් සහ වරප‍්‍රසාද ඒවා අසීමිත යි. ඇත්තටම කියනවනම් දැන් අද උදෙත් මාත් එක්ක ටිකක් මේ ගැන පොඩි වාද විවාද වුණා. මොකද රජය පැත්තෙන් ඉදිරිපත් කරන යෝජනාවක් මන්ත‍්‍රීවරුන්ට දෙන අතිරේක දීමනාවක් පිළිබඳව. මම කිව්වා මට ඒකට කොහෙත්ම කැමති වෙන්න පුළුවන්කමක් නැහැයි කියලා. පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරුන්ට දැන් දෙන වැටුප්වලට දීමනාවලට අමතරව තව රුපියල් ලක්ෂ දෙකක් දෙන්න යෝජනාවක් ගෙනල්ලා මට අද ලොකු බලපෑමක් කළා. මං කිව්වා මටනම් කැමති වෙන්න බැහැ. දැන් ලක්ෂ හතරකට වැඩි හම්බවෙනවා පාර්ලිමේන්තු මන්ත‍්‍ර‍්‍රීවරයෙකුට තව ලක්ෂ දෙකක් අතිරේක දීමනාවක් දෙන්න මට අත්සන් කරන්න බැහැ කියලා මං අත්සන් කළේ නැහැ.

ඉතින් ඒ වගේ දේවල්වලදී තමා ඔය යම් යම් ප‍්‍රශ්න මතුවෙන්නේ ඔය අපි කියන දේශපාලන සංස්කෘතිය තුළ ප‍්‍රධාන වශයෙන්ම දැන් අනිත් එක පාර්ලිමේන්තුවට වුණත් මැතිවරණයකින් පිරිස පත්වුණාම දවස් තුනක වැඩමුළුවක් තිබුණා. ඒ වැඩමුළුවට අනිවාර්යයෙන් එන්න කියලා තිබුණා. මන්ත‍්‍රීවරු සියලුදෙනා එන්න ඕන. පාර්ලිමේන්තුවේ වැඩ කරන්නේ කොහොමද? උපදේශක සභා අනික් කමිටුවල වැඩකරන්නේ කොහොමද නීතිරීති කොහොමද ස්ථාවර නියෝග කොහොමද ඒ තියෙන නීතිමය තත්ත්වයන් පිළිබඳව ප‍්‍රධාන වශයෙන්ම උපදෙස් දීම කියලා තියෙන එක දැනුවත් කිරීම එහිදී සිදුවුණා. එතකොට අද පාර්ලිමේන්තුවේවත් පළාත් සභාවේවත් පළාත් පාලන ආයතනවලටවත් එවැනි වැඩපිළිවෙළක් නැහැ.

ඒ නිසා බොහෝ වේලාවට මේ තියෙන සියලු අඩුපාඩු සකස් කරගන්න ඔබ වහන්සේලාගේ මේ මඟපෙන්වීම ඉතාමත් වැදගත් වෙනවා. මේ තිබෙන යෝජනා ක‍්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මම හිතන්නේ අපි සියලු දේශපාලන පක්ෂ යම් එකඟතාවයකට එනවානම් මේ ප‍්‍රකාශනයේ කරුණු ක‍්‍රියාත්මක කිරීමට නොහැකි වන්නේ නැහැ. ඒ නිසා මෙතැන අපේ ගරු විපක්ෂ නායකතුමාත් ඉන්නවා. අගමැතිතුමාත් දැන් මෙතැන ඉඳලා ගියා. මම හිතනවා අපි සියලූ දේශපාලන පක්ෂ එකතුවෙලා යම් තීන්දුවක් ගත්තොත් මේ කියන කාරණා ක‍්‍රියාත්මක කරන්න කිසිම බැරිකමක් නැහැ. මම නම් 100% කැමතියි මේ කියන කාරණා ක‍්‍රියාත්මක කරන්න. ඒ පිළිබඳ නැවත වතාවක් ඔබ වහන්සේලාටත් අනිකුත් සියලුදෙනාටත් ස්තූතිවන්ත වෙමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

ස්තූතියි.

තෙරුවන් සරණයි.

Share This Post

NEW