ජනාධිපතිවරයා ලෙස තමා ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ජනතාවගේ දුගී භාවය නැති කිරීමටත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් බව ජනාධිපතිතුමා පවසයි

ජනාධිපතිවරයා ලෙස තමා ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ජනතාවගේ දුගී භාවය නැති කිරීමටත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් බව ජනාධිපතිතුමා පවසයි

ජනාධිපතිවරයා ලෙස තමා ප්‍රමුඛතාවය දී තිබෙන්නේ ජනතාවගේ දුගී භාවය නැති කිරීමටත් දරුවන්ට හොඳ අධ්‍යාපනයක් ලබාදීමටත් බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ පොළොන්නරුව දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක සිදු කෙරුණු සංවර්ධන කටයුතු අද (05) පෙරවරුවේ සිසු අයිතියට පවරා දෙමිනි.

“මෛත්‍රී පාලනයක් – තිරසර යුගයක්” පිබිදෙමු පොළොන්නරුව 2016-2020 ජනපති වැඩසටහන යටතේ පාසල් දරුවන්ට ගුණාත්මක අධ්‍යාපනයක් ලබාදීම වෙනුවෙන් දිස්ත්‍රික්කයේ පාසල් කිහිපයක නව ගොඩනැගිලි ඉදිකිරීම් ඇතුළු සංවර්ධන පහසුකම් සිසු අයිතියට පවරාදීම ජනාධිපතිතුමා අතින් සිදු විය.

මෙහිදී දරුවන් ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ රටේ ජනතාව උගතුන් වූ විට අනෙකුත් ගැටලුවලට ද විසඳුම් ලැබෙන බවයි. නවීන තාක්ෂණය සමඟ ඉදිරියට යන විට දරුවන් රටට ආදරය කරන යහපත් පුරවැසියන් ලෙස ගොඩනැඟීමේ වැදගත්කම ද ජනාධිපතිතුමා පෙන්වා දුන්නේ ය.

පොළොන්නරුව කවුඩුල්ල මහා විද්‍යාලයේ ඉදිකෙරුණු දෙමහල් පංතිකාමර ගොඩනැඟිල්ල අද (05) පෙරවරුවේ පළමු ව ජනාධිපතිතුමා අතින් සිසු අයිතියට පැවරිණි.

විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් පිළිගත් අතර සමරු ඵලකය නිරාවරණය කර ගොඩනැඟිල්ල විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරතවෙමින් සිසු දරුවන්ගේ ක්‍රියාකාරකම් ද දැක බලා ගත්තේය.

මේ අතර පොළොන්නරුව ගල්අමුණ මහා විද්‍යාලයේ ඉදිකළ පන්ති කාමර 06කින් යුත් දෙමහල් ගොඩනැඟිල්ල අද පෙරවරුවේ විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

අනතුරුව මීගස්වැව කනිෂ්ඨ විද්‍යාලයේ ඉදිකෙරුණු තනි මහල් නව පන්ති කාමර ගොඩනැඟිල්ල සිසු අයිතියට පවරාදීමේ අවස්ථාවට ජනාධිපතිතුමා එක් විය.

විද්‍යාලයේ අඩු පාඩු කිහිපයක් ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරුණු අතර ඒවා සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමට ජනාධිපතිතුමා එකඟතාවය පළ කළේ ය.

මේ අතර පොළොන්නරුව අඹගස්වැව මහා විද්‍යාලයේ ඉදිකෙරුණු ශ්‍රවණාගාරයක් සහිත නව තෙමහල් පන්තිකාමර ගොඩනැඟිල්ල ද අද සිසු අයිතියට පැවරුණේ ජනාධිපතිතුමා අතිනි.

සිසු දරුවන්ගේ ඉල්ලීම පරිදි එම විද්‍යාලයේ සෙසු අඩු පාඩු සපුරා ගැනීම වෙනුවෙන් රුපියල් ලක්ෂ 50ක මුදලක් ලබාදීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

එමෙන්ම විද්‍යාලය වෙත නව පරිගණක ඒකකයක් ලබාදීමට කටයුතු කරන බව ද පැවසීය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ගමේ දරුවන්ට ඉහළට යාමට තිබෙන මාවත අධ්‍යාපනය වන අතර, ග්‍රාමිය පාසල් වෙත සියලු සම්පත් ලබාදෙන්නේ සියලු දරුවන්ට අධ්‍යාපනයේ නිවැරදි මාවත සකස් කර දීමට බවයි.

උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක මහතා සහ ප්‍රදේශයේ මහජන නියෝජිතයන් ද, පොළොන්නරුව දිස්ත්‍රික් ලේකම් පණ්ඩුක අබේවර්ධන මහතා ඇතුළු රාජ්‍ය නිලධාරින් සහ විදුහල්පතිවරුන්, ගුරුවරුන්, දෙමාපියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවන්ට එක්ව සිටියහ.

පොළොන්නරුව, ගල්අමුණ මහා විද්‍යාලයේ පංති කාමර 06කින් යුත් දෙමහල් ගොඩනැගිල්ල විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව (2019-07-05 දින ගල්අමුණ මහා විද්‍යාලය)

ගල්අමුණ මහා විද්‍යාලයට කලකට පැමිණීමට ලැබීම පිළිබඳව මා සතුටු වෙනවා. රජය විසින් අද ඔබේ පාසලට නව ගොඩනැගිලි දෙකක් ලබාදෙනවා. පොළොන්නරුව දිස්ත්‍රික්කයේ අධ්‍යාපනය, පාසල්, රෝහල්, මංමාවත්වල සංවර්ධන කටයුතු සඳහා පසුගිය වසර කිහිපය තුළ පුළුල් සංවර්ධන වැඩසටහන් ක්‍රියාත්මක කළ බව ඔබ දන්නවා. සංවර්ධනයේ මුල් තැන අපි දෙන්නේ අධ්‍යාපනයටයි. රටක අනාගතය සඳහා කළ යුත්තේ රටේ ජනතාව උගතුන් බවට පත් කිරීමයි. දැනුම ලබාදීමයි. කෙනෙකුගේ ජීවිතයේ නැතිබැරිකම්, අඩුපාඩුකම් සියල්ල ඉවත් වෙන්නේ අධ්‍යාපනයත් සමගයි. අධ්‍යාපනයෙන් පරිපූර්ණ වනවිට ජීවිතයේ ජයග්‍රහණ කරා යන්න පුළුවන්. ජීවිතය ගොඩනගා ගන්න ඔබට දැනුම අවශ්‍ය වෙනවා. අධ්‍යාපනයේ තිබෙන ශක්තිය, බලය සීමා රහිතයි. එහි සීමාව කොච්චරද කියා කියන්න බැහැ.

ලෝකයේ දැනුම පැයෙන් පැය, දවසින් දවස වැඩි වෙනවා. වෙනස් වෙනවා. අපි මීට වසර දහස් ගණනකට පෙර ලෝකයේ විශිෂ්ටතම ජාතියක්. ශ්‍රේෂ්ඨ ජාතියක්. වසර ලක්ෂ 15කට එහා ලංකාවේ මානවයා සිටි බව ඉතිහාසඥයින් විසින් සොයා ගෙන තිබෙනවා. වසර 5000කට එහා ලංකාවේ යකඩ, ඛණිජ සම්පත්වලින් කර්මාන්ත කර ඇති බව සොයා ගෙන තිබෙනවා.

අපේ රට ප්‍රෞඪ ජාතියක් ලෙස ගොඩනැගී තිබුණු කාලයේ අද ලෝකයේ ඉහළම තාක්ෂණය තිබෙන රටවල් මහා වනාන්තර විදියට තිබිලා තිබුණේ. සමහරවිට ඒවායේ මිනිසුන් ජීවත්වෙලා හිටියෙත් නැහැ. අපේ විශිෂ්ටත්වය, ශ්‍රේෂ්ඨත්වය අපෙන් නැතිව ගියේ ඇයි. එය අපි හිතන්නට ඕනෑ. ඒ සඳහා සැමවිටම විසඳුම තිබෙන්නේ අධ්‍යාපනය තුළයි. ඒ නිසා තමයි වර්තමාන රජය යටතේ මීට පෙර කිසිම රජයකින් ලබා නොදුන් ආකාරයේ අධ්‍යාපනයට විශාල මුදලක් වෙන් කළේ. පසුගිය වසර තුන හතර තුළ විශ්වවිද්‍යාලවලටත් කිසිම ආණ්ඩුවකින් නොකළ වැඩ කොටසක් කර තිබෙනවා. ලංකාවේ සියලුම විශ්වවිද්‍යාලවල විශාල නේවාසිකාගාර 85ක් හදලා තිබෙනවා. අධ්‍යාපනයට භෞතික වගේම මානව සම්පත් දීලා තිබෙනවා. මානව සම්පත කියන්නේ ඔබේ ගුරුවරුන්. ඒ වගේම තාක්ෂණික ක්ෂේත්‍රවලට අවශ්‍ය උපදේශකවරුන්, ක්‍රීඩා සහ බාහිර විෂයන්වලට අදාළ උපදේශකවරුන්, පුහුණුකරුවන් වශයෙන් පුළුවන් උපරිමයෙන් අපි ලබාදී තිබෙනවා.

එහෙත් පාසල් ගුරුවරුන් 500කට වැඩි හිඟයක් තිබෙනවා. ඊට හේතුව වෙනත් දිස්ත්‍රික්කවලින් පැමිණෙන ගුරු මහත්ම මහත්මීන් වසර 5ක් 6ක් සිටි විට ඔවුන්ව නිදහස් කරනවා ඔවුන්ගේ ගම් පළාත්වලට. ඒ නිසා ගුරු හිඟය කියන එක සැමදාම තිබෙන ප්‍රශ්නයක්. අපි උත්සාහ කරන්න ඕනෑ පොළොන්නරුව, අනුරාධපුර වැනි දිස්ත්‍රික්ක සඳහා මේ පළාත්වලින් ගුරුවරුන් පුළුවන්තරම් ලබා ගන්න. මේ පාසලේ මහා විද්‍යාලයත් ප්‍රාථමික විද්‍යාලයත් තිබෙනවා. කලින් එකම පාසලක් විදියට තිබුණේ. මහා විද්‍යාලයේ හාරසිය ගණනක් දරුවෝ සිටින්නේ. ප්‍රාථමික විද්‍යාලයේත් හාරසිය ගණනක් සිටිනවා. නමුත් නව අධ්‍යාපන ප්‍රතිපත්තීන් තුළ තමයි පාසල් පද්ධතියේ වෙනස්කම් කර තිබෙන්නේ. ඒ නිසා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ ගල්අමුණ ප්‍රදේශය ආර්ථික වශයෙන් සංවර්ධනය වූ ප්‍රදේශයක්. අපේ පැරණි ගොවි ජනපද ව්‍යාපාරය තුළ ඩී.එස්. සේනානායක මැතිතුමා, එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක මැතිතුමා, සී.පී. ද සිල්වා මැතිතුමා නිදහසින් පසු වගේම ඩී.එස්. සේනානායක මැතිතුමා බ්‍රිතාන්‍ය පාලන කාලෙත් රාජ්‍ය මන්ත්‍රණ සභාවේ කෘෂිකර්ම ඇමතිවරයා විදියට අති විශාල වැඩකොටසක් කෘෂිකර්මය වෙනුවෙන් කළා.

අදට අවශ්‍ය සම්පත් මොනවාද, පහසුකම් මොනවාද කියලා හොයලා ඒවා ඉටු කර දෙන්නයි රජයක් විදියට අපි ප්‍රමුඛත්වය දෙන්නේ. පාසලක් එකතැන පිළුණු වෙන්න දෙන්න පුළුවන්කමක් නැහැ. හැමවෙලේම අලුත් වෙන්න ඕන. ඒ අලුත් වෙන්නේ හැම වෙලේම තාක්ෂණයෙන්. මම පසුගියදා ගියා පොළොන්නරුවේ ඉදි කළ පුරාණ තාක්ෂණ කෞතුකාගාරය බලන්න. ඒක ඉදිරියට ඕන කෙනෙක්ට ගිහින් බලන්න පුළුවන්. ප්‍රධාන වශයෙන්ම පොළොන්නරුවේ වගේම ලංකාවේ ඉතිහාසය, තාක්ෂණය පිළිබඳව තමයි ඔබව දැනුවත් කරන්න තිබෙන්නේ. හැමවිටම අද තිබෙන තාක්ෂණය ගැන තමයි දරුවෝ දැනුවත් වෙන්නේ. නමුත් අපි මීට වසර දහස් ගණනකට පෙර ශ්‍රේෂ්ඨ ජාතියක් ලෙස සිටින විට කෘෂි, වාරි, පුරාවිද්‍යා, ගොඩනැගිලි තාක්ෂණය ගැන දැන සිටිය යුතුයි. මට මතකයි එදා මහාචාර්යවරයෙක් දේශනයක් කළා. ඒ වෙලාවේ දී අනුරාධපුර යුගයේ තිබුණ ඔරලෝසුවක් පෙන්නුවා. අද ඒක තිබෙන්නේ අභයගිරිය කෞතුකාගාරයේ. මීට අවුරුදු 1500 ක ට එහා අනුරාධපුර යුගයේ ඔරලෝසු හදන කොට ස්විට්සර්ලන්තයේ ඔරලෝසු හදන්න පටන් අරන් නැහැ. අපි මොනතරම් තාක්ෂණයෙන් ජාතියක් විදියට දියුණු වෙලා හිටියද? ලෝකයේ තිබෙන නව දැනුම අපේ පැරණි තාක්ෂණය අභිබවා ගිහින් නැහැ තවම. ඒ තරම් මහා විශිෂ්ට ජාතියක් අපි. ඒ වගේම ශ්‍රී ලාංකික සංස්කෘතිය, බෞද්ධ සංස්කෘතිය, ඒ සියල්ලත් එක්ක ගුණ යහපත්කම්, මනුස්සකම් අතින් ලෝකයේ ඉතාමත්ම වැඩුණු ප්‍රබුද්ධ ජනතාවක් අපිට ඉන්නේ.

ලෝකයේ ධනවත් රටවල්, මිසයිල් යවන රටවල්, අභ්‍යවකාශය තරණය කරන රටවල්වල ජීවත් වන මිනිස්සුයි අපේ මිනිස්සුයි අතර තිබෙනවා වෙනසක්. අපේ මිනිසුන්ගේ තිබෙන ගුණ යහපත්කම, මනුස්සකම, හැදිච්චකම ගොඩනැගිලා තිබෙන්නේ අපේ බෞද්ධ සංස්කෘතියෙන්. එවන් සමාජයක අපි මහා ප්‍රබුද්ධ ජාතියක් බවට පත්කරලා තිබෙනවා. ඒ නිසා අද දවසේත් ඒ පැරණි තාක්ෂණය පිළිබඳව දැනුවත් වීම අවශ්‍යයි. අද තිබෙන තාක්ෂණය තවමත් පුරාණ තාක්ෂණයට පහළින් තිබෙන්නේ. අපේ පැරැන්නන් මොනතරම් තාක්ෂණයෙන් වැඩ කරලා තිබෙනවාද? ඒවා දැන් තිබෙන තාක්ෂණයෙන් හොයාගෙනවත් නැහැ. ඒ නිසා අපි දැනුමෙන් සන්නද්ධ ශ්‍රේෂ්ඨ ජාතියක්. ඒ නිසා ඔබ පින්වන්තයි, වාසනාවන්තයි, ඔබ භාග්‍යවන්ත වූ පිරිසක්. අපි පොළොන්නරුව දිස්ත්‍රික්කය විදියටත්, රට විදියටත් මේ රටේ ජනතාව, දරුවන් තරගකාරී සමාජයෙන් ඉදිරියට ගෙනියන්න රජයක් විදියට සිදුකරන විවිධ වැඩසටහන් රාශියක හොඳ ප්‍රතිඵල තිබෙනවා.

අද ලංකාවේ නිදහස් අධ්‍යාපන දැනුමෙන් හොඳ පිරිසක් සිටින්නේ. අපි ඕනෑම පාසලකට ගියොත් විභාග ප්‍රතිඵල හොඳයි. විශ්වවිද්‍යාලයට යනවා, හොඳ රැකියා කරනවා. හොඳ වෘත්තිකයින් වෙනවා. බොහෝ වෙලාවට උගත්කම් කොතරම් තිබුණත් මනුස්සකම්වලින් පිරිහිලා. අපි මිනිසුන් විදියට ජීවත්වන්න ඕන ක්‍රමය අපි කොතෙක්දුරට සකසා ගතයුතුද? දැනුමෙන්, උගත්කමෙන් සන්නද්ධ ජනතාවක් අද විවිධ විදේශ සංස්කෘතික බලවේගයන්, ජාවාරම්වලට අසුවෙලා තිබෙනවා. එයින් ප්‍රධානම දෙයක් තමයි මත්ද්‍රව්‍ය. ඒ නිසා තමයි අපි මත්ද්‍රව්‍යවලට විරුද්ධව ලොකු සටනක් කරන්නේ. අද මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් විශ්වවිද්‍යාල දරුවන්ට නොමිලේ මත්ද්‍රව්‍ය බෙදන නිසා විශ්වවිද්‍යාල විනාශයි. මේ රටේ පාසල් දරුවන්ටත් ජාවාරම්කරුවන් මත්ද්‍රව්‍ය බෙදාහරිනවා. මුලින්ම දෙන්නේ රස බලන්න කියලා. අත්හදා බලන්න.

පසුගිය දිනක පොළොන්නරුවේ මහා විද්‍යාලයක දරුවෝ පොලිසිය අත්අඩංගුවට ගත්තා. නීතිවිරෝධි මත්ද්‍රව්‍ය එයාලාගේ කලිසම් සාක්කුවල දාගෙන ගිහින් හොරෙන් බෙදාහරිනවා. ඒ විදියට මේ පාසල් දරුවොත් නරක දේවල්වලට හසුකරගන්න බොහෝ වැරදි කරන ජාවාරම්කරුවන්ගේ විවිධ උපක්‍රම තිබෙනවා. ඒ නිසා ඔබ වගේ පිංවන්ත දරු පිරිසක් බෞද්ධ පරිසරයක ජීවත්වෙමින් ඔබේ ආදරණීය දෙමාපියන්ගේ බලාපොරොත්තු, දෙමාපියන්ගේ ආදරය, කරුණාව, දයාව, සෙනෙහස සියල්ලත් එක්ක ඔබේ දෙමාපියන්ට, ගුරුවරුන්ට, අපිට කළයුතු ගරුකිරීම තමයි හොඳින් ඉගෙන ගැනීම. ඒ වගේම ජීවිතයත් සමත්වන්න ඕන. ආදර්ශමත් ජීවිතයක් ගතකළයුතුයි.

 

Share This Post

NEW