ගමට ඇවිත් ජන හඬට සවන් දෙන ජනපතිට ජනතා ප්‍රසාදය

ගමට ඇවිත් ජන හඬට සවන් දෙන ජනපතිට ජනතා ප්‍රසාදය

ගමින් ගමට ගොස් ජනතාව හමුවී ජනතා ගැටළුවලට සවන් යොමු කර ඊට විසඳුම් දීමේ නව සංකල්පය හඳුන්වාදුන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාට ජනතාව ප්‍රණාමය පුද කරති.

ජන රැළි වෙනුවට ආදේශ කළ  නව සංකල්පය  මුදල් නාස්තිය මෙන්ම බැනර්, කටවුට් සහ පෝස්ටර් ආදියෙන් පරිසරයට වන  හානිය ද පිටු දකී. ජනාධිපතිතුමා සැබෑ තතු අවබෝධකර ගැනීමත්, බොහෝ ප්‍රශ්නවලට එසැණ විසඳුම් ලැබීමත් මහත් අස්වැසිල්ලක් බව ජනතාව පවසති.

පොදුජන පෙරමුණෙන් මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අද (30) දෙවන වරටත් ගම්පහ දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත ජනාධිපතිතුමා සමග ජනතාව මේ බව පැවසූහ.

මීගමුව කලපුව සහ කඩොලාන විනාශය නවතා කලපුව සංවර්ධනය කර දෙන්නැයි හිටපු රාජ්‍ය අමාත්‍ය නිමල් ලන්සා මහතා මීගමුව, වැල්ලපිටිය ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ.

අපේක්ෂක ආනන්ද හරිස්චන්ද්‍ර මහතා කටාන, වලිසිංහ හරිස්චන්ද්‍ර ක්‍රීඩාංගණය අසළ සංවිධාන කර තිබූ ජනහමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි පිරිස සමග සුහද කතා බහක නිරත විය.

පාස්කු ප්‍රාහාරය සහ කොවිඩ් 19 නිසා ගුවන්තොටුපොළ වැසී යාමෙන් කුලී රථ රියැදුරන් පත්ව ඇති දුෂ්කරතා සොයා බලන්නැයි ජනාධිපතිතුමා අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතාට නියම කළේය.

කසල බැහැර කිරීමට නිසි ක්‍රමවේදයක් සකස් කර මුතුරාජවෙල තෙත්බිම ආරක්ෂා කර දෙන්නැයි ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ. උතුරු මැද පළාතේ වකුගඩු රෝගි දීමනාව සියලු පළාත්වලට ව්‍යාප්ත කරන්නැයි  ජනාධිපතිතුමා වෙත යෝජනා කෙරිණි.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා උඩුගම්පොළ සතිපොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

ප්‍රදේශවාසියෙකු වන විකුම් සම්පත් දිඹුල්ගස්හේන මහතා නිර්මාණය කළ කසළ ප්‍රතිචක්‍රීකරණ යන්ත්‍රය ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.  පැයකට කසළ ටොන් 15ක් යකඩ, ප්ලාස්ටික් සහ කාබන් ලෙස වෙන් කොට ප්‍රතිචක්‍රීකරණය කළ හැකි වීම යන්ත්‍රයේ විශේෂත්වයකි.  රසායනිකයක් භාවිත කර දුගද පැතිරීම වැළැක්වීමට හැකි අතර සමස්ත ක්‍රියාවලිය කැමරා මගින් අධීක්ෂණය කෙරේ.

බණ්ඩාරවත්ත, පරාක්‍රම විද්‍යාලයේ 05 වන ශ්‍රේණියේ ඉගෙනුම ලබන සෙනුර ප්‍රභාශ්වර පුතු කොවිඩ් අරමුදල සඳහා මුදල් කැටයක් ජනාධිපතිතුමා වෙත පරිත්‍යාග කළේය.

අපේක්ෂක ලක්ෂ්මන් ගුණවර්ධන මහතා ගම්පහ නගර සභා රථ ගාලේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටී ජනතාව සමග සුහද කථා බහක නිරත විය.

සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශයේ පොරාන්දු ඉටු කරමින් නීරෝගිමත් ජාතියක් බිහි කිරීම උදෙසා වික්‍රමාරච්චි විද්‍යායතනය විශ්වවිද්‍යාලයක් ලෙස උසස් කිරීමට ගත් පියවර අගයා වාණිජ්‍ය කර්මාන්ත හා සේවා ප්‍රගතිශීලි සේවක සංගමය ජනාධිපතිතුමා වෙත ප්‍රණාම සහතිකයක් පිරිනැමීය.

ළමා අපචාර දුරු කිරීමට දැඩි නීති රීති පනවන්නැයි අපේක්ෂක නාලක ගොඩහේවා මහතා ගම්පහ නගරයේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමාගෙන් ජනතාව ඉල්ලා සිටියහ. උගතුන් සහ බුද්ධිමතුන් පාර්ලිමේන්තුවට යැවීමට ජනතාවට අවස්ථාව උදාකරදීම ගැන රැස්ව සිටී ජනතාව ජනාධිපතිතුමාට ප්‍රසාදය පළ කළහ.

වේයන්ගොඩ පරණ බස්නැවතුම්පොළ භූමියේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමා වෙත අපේක්ෂක ප්‍රියන්ත පුෂ්පකුමාර මහතා විසින් වේයන්ගොඩ නගර සංවර්ධන සැලැස්ම පිළිගනුවනු ලැබීය.

සමූපකාර පනත සංශෝධනය සහ සමුපකාර කොමිෂන් සභාවට දක්ෂ නිලධාරීන් පිරිසක් පත් කිරීමේ අවශ්‍යතාව ගැන අත්තනගල්ල සමුපකාර සමිතියේ සභාපතිවරයා ජනාධිපතිතුමා සමග අදහස් දැක්වීය.

අපේක්ෂක උපුල් මහේන්ද්‍ර මහතා අත්තනගල්ල, වාරණ රජමහා විහාරය අසළ රථගාලේ සංවිධාන කර තිබූ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමාට ජනතාව මහත් හරසර පුද කළහ.

ඉන්දියානු ශ්‍රමිකයින් ගෙන්වීම සීමා කර, පාරම්පරික රන්, රිදී, කර්මාන්තකරුවන්ට ස්වර්ණාභරණ නිෂ්පාදනයට සහ කම්හල්කරුවන්ට තාක්ෂණික දැනුම සහ මෙවලම් සපයා ගැනීමට අවස්ථාව සලසා දෙන ලෙසත් ජනතාව ජනාධිපතිතුමාගෙන් ඉල්ලා සිටියහ.

සිසුන් පිරිසක් කළ ඉල්ලීමකට අනුව කිරිඳිවැල සිට  ආරක්ෂක සේවා විද්‍යාලයට පාසල් බස් රථයක් දෙන බව අපේක්ෂක මිලාන් ජයතිලක මහතා කිරිඳිවැල මහජන රථගාල භූමියේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා පැවසීය.

බස්නාහිර පළාත් මාර්ග සංවර්ධන අධිකාරියේ 25 වසරක් සේවයේ නියුතු පිරිසක් සේවය ස්ථීර කර දෙන්නැයි කළ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය.

අපේක්ෂක වර්නන් ගුණරත්න මහතා දෙකටන සංවිධාන කර තිබූ ජන හමුවට ද සහභාගී වූ ජනාධිපතිතුමා රැස්ව සිටි ජනතාව සමග සුහද පිළිසඳරක නිරත විය. ‍

ගෙවතු ලක්ෂයක් වගා කිරීම අරමුණු කරගත් බීජ බෙදාදීමේ වැඩසටහනේ අවසන් බීජ කට්ටලය සහ “දොම්පේ අභිමානය” ග්‍රන්ථය වර්නන් ගුණරත්න මහතා විසින් ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණ.

අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා මේ අවස්ථාවන්ට එක්ව සිටියේය.

Share This Post