පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපති අවධානය

පුරාවිද්‍යා පනත සංශෝධනයට ජනපති අවධානය
  • පනත අධ්‍යයනයට කමිටුවක්
  • මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමට සහ සේවක හිඟය පිටුදැකීමට පියවර …
  • සාකච්ඡා කළ ගැටළු ක්ෂණිකව විසඳීමට නියෝග …
  • විදේශයන්ට ගෙන ගිය කෞතුක භාණ්ඩ ගෙන්වා ගැනීමට යෝජනාවක් …
  • ඓතිහාසික උරුමය සුරැකෙන යුගයකට මහා සංඝරත්නයේ ආශිර්වාදය …

 

පුරාවස්තු රැක ගනිමින් ජාතික උරුමය තහවුරු කිරීමට පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනය කෙරෙහි ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ අවධානය යොමු වෙයි.

පනත සංශෝධනය කළ යුත්තේ කෙසේදැයි අධ්‍යයනයට මහා සංඝරත්නය, විෂය පිළිබඳ විද්වතුන් ඇතුළත් කමිටුවක් පත්කිරීමට  ජනාධිපතිතුමා තීරණය කරයි. දීර්ඝ කාලයක සිට සිදු වෙමින් පවතින පුරාවස්තු විනාශය නතර කොට රටේ උරුමය අනාගත පරපුරට දායාද කිරීමත් ප්‍රායෝගිකව මතුවන ගැටළු නිරාකරණයත් පනත සංශෝධනයෙන් අපේක්ෂා කෙරේ.

අද (24) පස්වරුවේ ජනාධිපති කාර්යාලයේ  පැවති ජනාධිපති බෞද්ධ උපදේශක සභාවේ සිව්වන සභාවාරයේ දී ජනාධිපතිතුමා විසින් මේ තීරණය ගනු ලැබීය.

පුරාවස්තු සංරක්ෂණය සහ සංවර්ධනය   දීර්ඝ ලෙස සාකච්ඡාවට ලක් විය.  කිසිදු පූජනීය ස්ථානයක ඓතිහාසික උරුමයට හෝ පුරාවිද්‍යාත්මක වටිනාකම්වලට හානි කිරීමට කිසිවෙකුටත් ඉඩ නොතබන අතර, එවැනි සියලු ස්ථාන ජාතික උරුමයක් සේ සලකා ආරක්ෂා කරන බව ජනාධිපතිතුමා පැවසීය. පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් මහා සංඝරත්නය ඉදිරිපත් කළ යෝජනා ජනාධිපති කාර්ය සාධක බලකායට ඉදිරිපත් කරන බව ජනාධිපතිතුමා කීය. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට වාර්ෂිකව වෙන් කෙරෙන මූල්‍ය ප්‍රතිපාදන වැඩි කිරීමටත්, සේවක හිඟය පියවීමටත් පියවර ගන්නා බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

ඓතිහාසික ස්ථාන සහ පුරාවස්තු සුරැකීමේ වැඩපිළිවෙළට සිවිල් ආරක්ෂක බලකායේ සහය ලබාගැනීමට ඇති හැකියාව ද සාකච්ඡාවට ලක් විය. උතුරු සහ නැගෙනහිර පළාත්වල පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන සම්බන්ධයෙන් පවතින නඩු කොළඹ අධිකරණ වෙත  මාරු කරන මෙන් මහා සංඝරත්නය කළ ඉල්ලීම කෙරෙහි ද ජනාධිපතිතුමාගේ අවධානය යොමු විය. පුරාවස්තු සහ ඓතිහාසික ස්ථාන රැක දෙන ලෙස මහා සංඝරත්නය කළ ඉල්ලීම්වලට ක්ෂණික ප්‍රතිචාර දක්වන්නැයි ජනාධිපතිතුමා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවට නියෝග කළේය.

යටත් විජිත යුගයේ දී සහ පසුකාලීව මෙරටින් ගෙන ගිය පුරාවස්තු මහා බ්‍රිතාන්‍යයේ සහ ඩෙන්මාකයේ කෝපන් හේගන් කෞතුකාගාරවල තැන්පත් කර ඇති බව මහා සංඝරත්නය පෙන්වා දුන්හ.  යුනෙස්කෝව සමග සාකච්ඡා කර ඒවා මෙරටට ගෙන්වා ගැනීමට ද උන්වහන්සේ යෝජනා කළහ.

ගත වූ පස් වසර තුළ පුරාවස්තුවලට මෙන්ම ඓතිහාසික ස්ථානවලට විශාල වශයෙන් හානි සිදුවූ බව භික්ෂුන් වහන්සේ කීහ. විහාරස්ථානවලට අයත් පූජා භූමි විවිධ පිරිස් බලහත්කාරයෙන් අත්කරගෙන සිටිති. ඉන් ඓතිහාසික බෞද්ධ උරුමයට හානි සිදුව ඇතැයි උන්වහන්සේ කියා සිටියහ.

කම්කරුවන් දෙදෙනෙකුගේ සේවය අවශ්‍ය තැනට පහළොස් දෙනෙකු බඳවාගෙන තිබේ.  අදාළ සේවාව සම්බන්ධයෙන් ඔවුන්ට කිසිදු දැනුමක් තිබී නොමැත.  අනුමත කාර්ය පටිපාටියෙන් බැහැරව බඳවාගත්  පිරිසේ වැටුප් සඳහා මධ්‍යම සංස්කෘතික අරමුදල වාර්ෂිකව වැය කර ඇති මුදල රුපියල් මිලියන 7000කි.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අනුමත අධ්‍යක්ෂධූර සංඛ්‍යාව 11 කි. එහෙත් පුරප්පාඩු සඳහා කිසිවෙකු බඳවාගෙන නැතැයි  පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් සෙනරත් දිසානායක මහතා පැවසීය. අනුමත සහකාර අධ්‍යක්ෂධූර ගණන  38කි. එහෙත් ඒ සඳහා බඳවාගෙන ඇත්තේ එක් අයෙකු පමණි. මෙවැනි තත්වයක දෙපාර්තමේන්තුවේ කාර්ය භාරය නිසි ලෙස ඉටු කළ නොහැකි බව කොමසාරිස් ජනරාල්වරයා පෙන්වා දුන්නේය.

විශ්ව විද්‍යාලවලින් වසරකට පිටවන පුරාවිද්‍යා විශේෂ උපාධිධාරීන් සංඛ්‍යාව 80ක් පමණ වේ. පුරාවිද්‍යාව පිළිබඳ න්‍යායාත්මක  සහ ප්‍රායෝගික දැනුමක් ඇති පිරිස් වහා බඳවා ගන්නා ලෙස ද ජනාධිපතිතුමා උපදෙස් දුන්නේය.

උපාධිධාරීන් බඳවා ගැනීමේ දී පුරාවිද්‍යාව හදාළ පිරිස සුගතදාස ක්‍රීඩාංගණයේ සේවා සඳහා පත් කරනු ලැබ සිටිති. විෂායනුබද්ධ දැනුම ඇති පිරිස අදාළ ක්ෂේත්‍ර වෙත යොමු කිරීමේ වැදගත්කම ජනාධිපතිතුමා පැහැදිළි කළේය

නිධන් හොරුන්ගෙන් පුරාවස්තුවලට සිදුවන බරපතළ හානිය පිළිබඳව පුරාවිද්‍යා චක්‍රවර්තී පූජ්‍ය එල්ලාවල මේධානන්ද හිමියෝ පෙන්වා දුන්හ.  “පුරාවස්තු තුළ තිබී රන්, රිදී, මැණික් වැනි වටිනා කිසිවක් මගේ හැට පස් වසරක ගවේෂණ කාලයේ දී හමු වී නැහැ. එබැවින් පුරාවස්තු රැක ගැනීමට ජනතාවට නිවැරදි දැනුමක් දීම ඉතා වැදගත්. පුරාවස්තු පිළිබඳ ගවේෂණ වාර්තාවක් සැකසීම සහ සිතියම්ගත කිරීම ප්‍රමුඛ අවශ්‍යතාවක්. නිසි විමර්ශනයකින් තොරව ඉතිහාසය විකෘති කරමින් මත පළ කරන අයට එරෙහිව නීතිමය පියවර ගතයුතුයි” මේධානන්ද හිමියෝ පැවසූහ.

පුරාවිද්‍යා ආඥා පනත සංශෝධනයේ  වැදගත්කම මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය නියංගොඩ විජිතසිරි නා හිමියෝ අවධාරණය කළහ. පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ පුරප්පාඩු පිරවීමේ දී විෂය දැනුම ඇති පිරිස් බඳවා ගැනීමට පියවර ගත යුතු බව ද උන්වහන්සේ කියා සිටියහ.

යටත් විජිත යුගයේ සකස් කළ පුරාවිද්‍යා පනතින් පුරාවස්තු පිළිබඳව පමණක් අවධානය යොමු කර ඇති බව පෙන්වා දුන් මල්වතු පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය දිඹුල්කුඹුරේ විමලධම්ම නා හිමියෝ  ජාතික උරුමය සහ ශාසනික ඉතිහාසය සුරැකෙන පරිදි එය සංශෝධනය විය යුතු බව අවධාරණය කළහ.

පුරාවිද්‍ය පනත සංශෝධනයේ දී මහා සංඝරත්නය ගැඹුරු අධ්‍යයනයක් කිරීමේ අවශ්‍යතාව අස්ගිරි පාර්ශ්වයේ අනුනායක අතිපූජ්‍ය වෙඬරුවේ උපාලි නා හිමියෝ පෙන්වා දුන්හ. සංස්කෘතික අමාත්‍ය ධූරය ජනාධිපතිවරයා හෝ අග්‍රාමාත්‍යවරයා යටතේ තබා ගැනීමේ වැදගත්කම උන්වහන්සේ අවධාරණය කළහ.

පුරාවස්තු විනාශ කරන අන්‍ය ජාතීන්ට එය ආගමික දෙයක් නොව, ජාතික උරුමයක් බව වටහා දිය යුතුයැයි  අමරපුර මහානිකායේ ශ්‍රී ධර්මරක්ෂිත පාර්ශ්වයේ මහානායක අතිපූජ්‍ය තිරිකුණාමලයේ ආනන්ද හිමියෝ පෙන්වා දුන්හ. සෙසු ආගමිකයන් සහ අන්තවාදී පිරිස් අතර ද මෙය අවබෝධකරගත හැකි උගත් පිරිසක් සිටින බැවින් පුරාවස්තුවල වටිනාකම් කියාදීමේ වැදගත්කම උන්වහන්සේ පැහැදිළි කළහ.

පූජ්‍ය දිවියාගහ යසස්සි හිමියෝ පුරාවස්තු සුරැකීමට දස වැදෑරුම් යෝජනාවලියක් ඉදිරිපත් කළහ.

“ජනාධිපතිතුමා පුරාවස්තු සුරැකීම් පිළිබඳ නව සංකල්පයක් සමාජයට ඉදිරිපත් කර තිබේ. එය සංචාරක ක්ෂේත්‍රයේ ප්‍රවර්ධනයට දායක කර ගන්න පිළිවන්”කෝට්ටේ කල්‍යානි ශ්‍රී සාමග්‍රී ධර්ම මහා සංඝ සභාවේ අනුනායක මහාචර්ය පූජ්‍ය කොටපිටියේ රාහුල හිමියෝ කීහ.

කුරුණෑගල බුවනෙකබා රාජ සභා මණ්ඩපය කඩා දමා ඇති බවට  ගෙන යන ප්‍රචාරය දේශපාලන වුවමනාවක් බව වයඹ පළාතේ ප්‍රධාන අධිකරණ සංඝනායක පුජ්‍ය රැකව ජිනරතන හිමියෝ කියා සිටියහ.

දැවයෙන් නිම කළ මණ්ඩපය නගර සභාවට අයත්යැයි කියමින් බුවනෙකබා නමින් හෝටලයක් පවත්වාගෙන ගොස් තිබේ.  ඊට අදාළ සියලු ලියකියවිලි තමා සතු බවත් උන්වහන්සේ  පවසති. එහෙත් බුවනෙක බා රජු මෙය ඉදිකළ බවට ගෙන යන ප්‍රචාරයේ කිසිදු සත්‍යයක් නැතැයි උන්වහන්සේ පෙන්වා දෙති.

ජනාධිපති ප්‍රධාන උපදේශක ලලිත් වීරතුංග මහතා, අමාත්‍යාංශ ලේකම්වරු සහ නිලධාරිහූ සභාවාරයට එක්ව සිටියහ.

Share This Post