නව ජනපති සුබ මොහොතින් රාජකාරි අරඹයි

නව ජනපති සුබ මොහොතින් රාජකාරි අරඹයි

ශ්‍රී ලංකාවේ හත්වැනි විධායක ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අද (19) පෙරවරු 10.51 ට යෙදී තිබූ සුභ මොහොතින් ජනාධිපති කාර්යාලයේදී සිය ධූරයේ රාජකාරි ආරම්භ කළේය.

මෙම අවස්ථාවට පැමිණි නව ජනාධිපති වරයා හිටපු ජනාධිපති ලේකම් උදය ආර් සෙනෙවිරත්න මහතා විසින් ජනාධිපති ලේකම් කාර්යාලයේදී පිළි ගනු ලැබීය.ඉන්පසු නව ජනාධිපතිවරයා වෙනුවෙන් ත්‍රිවිධ හමුදා උත්තමාචාරයක් හා ආචාර වෙඩි මුර පැවැත්වීම සිදු කෙරිණි.

අනතුරුව සිය කාර්යාලය වෙත ගිය ගෝඨාභය රාජපක්ෂ මහතාට මහා සංඝරත්නය සෙත් පිරිත් සජ්ජායනය කොට ආශිර්වාද කළහ.ඉන්පසු සිය අසුන වෙත ගිය නව ජනාධිපතිවරයා පෙරවරු 10.51 ට නව ජනාධිපති ලේකම් වශයෙන් පත්වී සිටින ආචාර්ය පී.බී ජයසුන්දර මහතාගේ පත්වීම් ලිපියට අත්සන් කොට එය ඔහුට බාරදෙීමෙන් රාජකාරී ඇරඹීය.

මහාචාර්ය ජී. එල්. පීරිස්, දිනේෂ් ගුණවර්ධන, මහින්ද අමරවීර, ඩලස් අලහප්පෙරුම,ඩග්ලස් දේවානන්ද, විමල් වීරවන්සා, වාසුදේව නනායකර, මහාචාර්ය තිස්ස විතරණ සහ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන බන්දුල ගුණවර්ධන, දයසිරි ජයසේකර, ගාමිනි ලොකුගේ, මහින්ද යම්පේ එන්.එම් චන්ද්‍රසේන,මහින්දානන්ද අලුත්ගමගේ යන මහත්වරුන් ඇතුළු පිරිසක් සහභාගී වී සිටියහ.

හිටපු ජනාධිපතිවරුන්ගේ ලේකම්වරුන් වන ලලිත් වීරතුංග සහ උදය සෙනෙවිරත්න, නව ලේකම්වරුන් වන ආචාර්ය පී. බී. ජයසුන්දර, මේජර් ජෙනරාල් කමල් ගුණරත්න, එස්. ආර්. ආටිගල සහ හිටපු ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ශාන්ත කොට්ටෙගොඩ යන මහත්වරු මෙම අවස්ථාවට සහභාගී වූහ.

Share This Post

NEW