ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් නොකරන්නැයි ජනපති ඉල්ලයි

ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල මත දරුවන් පීඩාවට පත් නොකරන්නැයි  ජනපති ඉල්ලයි

05 වසර ශිෂ්‍යත්ව විභාගය දරුවාගේ අනාගතය තීරණය කරන එකම කඩඉම බවට දෙමාපියන් විශ්වාස කිරීම නිසා රටේ දරු පරපුරට මහත් පීඩාවකට මුහුණදීමට සිදුව තිබෙන බව පෙන්වා දෙන ජනාධිපතිතුමා ශිෂ්‍යත්වය සමත්වීම හෝ අසමත්වීම මත හිංසනයකින් තොරව දරුවා පිළිගන්නේ කෙසේදැයි සෑම වසරකම ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත්වීමට සතියකට පෙර දෙමාපියන් දැනුවත් කිරීමට වැඩසටහනක් සකස් කරන ලෙස සියලු විදුහල්පතිවරුන්ට උපදෙස් දෙයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මෙම උපදෙස් ලබා දුන්නේ මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට අද (06) පෙරවරුවේ එක්වෙමිනි.

ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල හමුවේ පසුගිය කාලය තුළ රටේ දරුවන්ට මුහුණදීමට සිදු වූ පීඩකාරී සිදුවීම් රැසක් ද මෙහිදී සිහිපත් කළ ජනාධිපතිතුමා කියා සිටියේ මේ පිළිබඳ සියලු අධ්‍යාපන බලධාරීන්ගේ ද අවධානය යොමුවිය යුතු බව යි.

අද දින සමරන ගුරු දිනය නිමිත්තෙන් සමස්ත ගුරුවරුන්ට මෙහිදී සිය ශුභාශිංසන පළ කළ ජනාධිපතිතුමා ගුරු සේවයේ විශිෂ්ට මෙහෙවර ද ඇගැයීමට ලක් කළේය.

නිදහස් අධ්‍යාපනයෙන්, සමාජයට වැඩදායී පුරවැසියන් බිහි කිරීමට ගුරුවරුන් සිදුකරන කැපවීම අගය කළ ජනාධිපතිතුමා ගරු වෘත්තීයේ අයිතිවාසිකම්, වරප‍්‍රසාද දිනාදීමට මෙන්ම ගුරුවරයාට හිමි ඉහළම ගෞරවය ලබාදීමට රජය කටයුතු කරන බව ද කියා සිටියේ ය.

අද පෙරවරුවේ මහනුවර ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එම සිසු දරුවන් විසින් මහත් සෙනෙහසින් යුතුව පිළිගනු ලැබීය.

“ළඟම පාසල හොඳම පාසල”ජාතික වැඩසටහන යටතේ විද්‍යාලයේ ඉදිකළ දෙමහල් විද්‍යාගාර ගොඩනැගිල්ල සහ තෙමහල් පංතිකාමර ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

එමෙන්ම විදුහල්පති නිල නිවස ඇතුළු නවීකරණ කටයුතු විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු කෙරිණි.

විද්‍යාලයේ 2017 වසරේ විශිෂ්ටතා දැක්වූ සිසුන්ට සම්මාන සහ තිළිණ ප‍්‍රදානය කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

විද්‍යාලයේ ආදර්ශ ගොවිපළ ද ජනාධිපතිතුමාගේ නිරික්ෂණයට ලක් විය.

මධ්‍යම පළාත් ප‍්‍රධාන අමාත්‍ය සරත් ඒකනායක මහතා සහ විදුහල්පති ආර්.එම්. දේශපි‍්‍රය රත්නායක මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මේ අතර මහනුවර කැන්ඩි සිටි සෙන්ටර් හි දී පැවැත්වෙන Ayur Ex Kandy 2018 අන්තර්ජාතික ආයුර්වේද අධ්‍යාපන හා වෙළෙඳ ප‍්‍රදර්ශනය නැරඹීමට ද ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා අද (06) පෙරවරුවේ එක් විය.
ප‍්‍රදර්ශනයේ දෙවන දිනය වන අද දින ප‍්‍රදර්ශනය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

පාරම්පරික වෛද්‍ය දැනුම ලොවට ගෙන යාමේ අරමුණින් මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍යාංශය ආයුර්වේද දෙපාර්තමේන්තුව හා මධ්‍යම පළාත් සභාව එක්ව වසර දෙකකට වරක් සංවිධානය කරන ප‍්‍රදර්ශනය මෙවර පැවැත්වුනේ 04 වන වරට ය. ප‍්‍රදර්ශනය තෙදිනක් පුරා පැවැත්වෙයි.

අද දින ප‍්‍රදර්ශනය විවෘත කළ ජනාධිපතිතුමා ප‍්‍රදර්ශන කුටි වෙත යමින් ඒවා නිරික්ෂණය කළ අතර කාර්යමණ්ඩලය සමග ද සුහද කතා බහක නිරත විය.

අමාත්‍ය ලක්ෂ්මන් කිරිඇල්ල, මධ්‍යම පළාත් ආණ්ඩුකාර පී.බී. දිසානායක, මධ්‍යම පළාත් සෞඛ්‍ය හා දේශීය වෛද්‍ය අමාත්‍ය බන්දුල යාලේගම යන මහත්වරුන් ද, ලෝක සෞඛ්‍ය සංවිධානයේ නියෝජිත වෛද්‍ය ගීත කි‍්‍රෂ්ණන් මහතා ඇතුළු දෙස් විදෙස් විද්වත් පිරිසක් ද පළාත් පාලන ආයුර්වේද කොමසාරිස් ධම්මික අබේසුන්දර මහතා ඇතුළු නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහනුවර ආදර්ශ විද්‍යාලයේ වාර්ෂික ත්‍යාග ප‍්‍රදානෝත්සවයට සහභාගි වෙමින් ජනාධිපති ගරු මෛත‍්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව 2018.10.06

අද කතාවක් කරන්න සූදානම්ව නොසිටියත් ලෝක ගුරු දිනය නිසා කතාවක් කරන්න මම තීරණය කළා.

පසුගිය සඳුදා ලෝක ළමා දිනය. ළමා දිනය සහ වැඩිහිටි දිනය යෙදිලා තිබෙන්නේ එකම දවසේ. අද ලෝක ගුරු දිනය. ලෝක ළමා දිනයේ අපේ දරුවන් ගැන කතා කළා. ඒවගේම වැඩිහිටි දිනයේ වැඩිහිටියන් දෙමව්පියන් ගැන කතා කළා. අද ලෝකයේ ගුරු මෑණිවරුන් සහ පියවරුන් ගැන කතා කරන දවස. ඊයේ පහේ ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල නිකුත් වුණා.

නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය තුළ අපේ රටේ පාසල්වල අධ්‍යාපනය ඉතාමත් හොඳයි. ඉතාමත්ම හොඳ විශිෂ්ට ප‍්‍රතිඵල පෙන්වනවා. ජනාධිපතිවරයා විදියට ලෝක ගුරු දිනයේදී ලෝකයේම ගුරු භවතුන්ට ඔවුන් කරන්නා වූ විශිෂ්ට සේවාව අගයමින් ගෞරවය සහ ප‍්‍රණාමය පුද කරනවා. සී.ඩබ්ලිව්.ඩබ්ලිව් කන්නන්ගර මැතිතුමා නිදහස් අධ්‍යාපනය ඇති කරලා දැනට වසර හැත්තෑවකට වැඩියි. එම ප‍්‍රතිපත්තිය නිසා මොනතරම් උගතුන් විද්වතුන් බිහි කරලා තිබෙනවද? එහි ගෞරවය හිමි විය යුත්තේ ගුරුවරුන්ට යි. බොහෝ දුෂ්කරතාවයන් මැද මූලික සම්පත් පවා නොමැතිව අපේ ගුරුවරු කරන්නේ ඉතාමත් විශිෂ්ට සේවාවක්. ලෝකයේ ඕනෑම රටක ගිහින් රාජ්‍ය නායකයෙක් සමග කතා කළොත් අපේ රටේ අධ්‍යාපනය ගැන කතා කරනවා. අපේ රටේ ඉතාමත් හොඳ ගුණාත්මක උසස් ප‍්‍රමිතියෙන් යුත් අධ්‍යාපනයක් තිබෙන බව ඔවුන් පවසනවා. ඒවගේම අපේ නිදහස් සෞඛ්‍ය සේවය ගැන ඔවුන් කතා කරනවා. අපට තිබෙන්නේ ලෝකයම පිළිගත් සෞඛ්‍ය සේවයක්.

මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ඉහළම ප‍්‍රතිඵල හිමිවන්නේ වේයන්ගොඩට සහ පිළියන්දලට ලකුණු 199 යි. දෙවැනි ස්ථානය ද්‍රවිඩ දරුවන් තිදෙනෙක් හිමි කර ගෙන තිබෙනවා. ඒ පාසැල් තුනම මගේ මතකයේ හැටියට උතුරු පළාතේ.

මේ රටේ අම්මලාට හුඟක් තරහා යන දවසක් තමයි පහේ ශිෂ්‍යත්ව ප‍්‍රතිඵල නිකුත් වුණු දවස. විභාග සමත් වුණු දරුවන්ගේ අම්මලා බොහෝ සතුටු වෙනවා ඇති. මොකද දරුවා අරගෙන දුවන්නේ අම්මලානේ. ඇතැම් විට ඔබට මතක ඇති 2016 අවුරුද්දේ ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල නිකුත් වුණු අවස්ථාවේ එක් ගැහැනු දරුවෙක් විභාගය අසමත් වෙලා නිවසට ගිය විට ඒ දරුවාගේ තාත්තා පයින් ගහලා තිබුණා එළියට විසි වෙන්න. 2015 අවුරුද්දේදිත් එක් දරුවෙක් විභාගය අසමත් වුණා කියලා එළිවෙනකන් දොර වහලා ළමයව එළියේ තියලා තිබුණා. ඇතැම් දෙමව්පියන් තම දරුවා ශිෂ්‍යත්වය අසමත් වුණා කියලා අසභ්‍ය වචනවලින් බැණ වදිනවා. අතින් පයින් ගහනවා. ශිෂ්‍යත්වය පාස් වෙලා දවස් කීපයක් යනකන් මෙවැනි විවිධ හිරිහැර සිදුකරනවා. මේ සිදුවීම් නිසා මේ දරුවන්ගේ පුංචි මනස මොනතරම් පීඩාවට පත්වෙනවද?

පහේ ශිෂ්‍යත්වය පාස් වන දරුවන්ගෙන් 15‍% ක් වත් විශ්වවිද්‍යාලයට යන්නේ නැහැ. පසුගිය අවුරුදු ගණනක වාර්තා අරගෙන බලපුවහම පහේ ශිෂ්‍යත්වය පාස් වුණු ළමයින්ගෙන් 12‍% ක් 13‍% ක් තමයි විශ්වවිද්‍යාලයට ගිහින් තිබෙන්නේ. අනික් 85‍% ක් පමණ විශ්වවිද්‍යාලවලට ගිහින් නැහැ. නමුත් අනවබෝධය නොදැනුවත්කම නිසා බොහෝ දෙමව්පියන් පහේ ශිෂ්‍යත්වය කියන්නේ දරුවාගේ මුළු ජීවිතයම කියලා හිතනවා. දරුවා ගොඩගන්න තියෙන්නේ එතනින් තමයි කියලා හිතනවා. මම ඊයෙත් අධ්‍යාපන ඇමතිතුමාට කිව්වා ගිය අවුරුද්දෙත් කිව්වා පහේ ශිෂ්‍යත්ව විභාග ප‍්‍රතිඵල එන්න සතියකට කලින් දරුවන්ගේ අම්මලයි තාත්තලයි ගෙනැල්ලා හොඳ දේශනයක් දෙකක් තියන්න කියලා. විභාගය සමත් වීම සහ අසමත් වීම තුළ දරුවා පිළිගන්නේ කෙසේද කියන එක දෙමව්පියන්ට කියලා දෙන්න. දරුවන්ට වෛර කරන්නේ නැතිව, හිරිහැර කරන්නේ නැතිව, ප‍්‍රචණ්ඩත්වයෙන් හිංසනයෙන් තොරව සමත් වුණා හෝ අසමත් වුණා හෝ දරුවාව ආදරයෙන් තුරුළු කරගෙන පාස් වුණු දරුවට කරන ආදරය වගේම විභාගය අසමත් වුණු දරුවාවත් තුරුළු කරගෙන දුවේ පුතේ ඔයාගේ හෙට දවස මේ විභාගයෙන් තීන්දු වෙන්නේ නැහැ. ඔයාට හොඳ අනාගතයක් තිබෙනවා. අපි මහන්සි වෙලා ඉගෙන ගමු. අපි තවත් මහන්සි වෙලා ඕ ලෙවල් හොඳට ලියමු. ඊට පස්සේ ඒ ලෙවෙල් කරමු. ඊට පස්සේ විශ්වවිද්‍යාලයට යමු. ඒ බලාපොරොත්තු ඇතිව ඒ දරුවාගේ හිත හදන එක ඉතාම අත්‍යවශ්‍ය දෙයක්.

ගිය අවුරුද්දේ පහේ ශිෂ්‍යත්වය විභාගේ ප‍්‍රතිඵල බලලා ගෙදර ගියාට පස්සේ දරුවෙක් සිය දිවි නසා ගෙන තිබුණා. ඒ දරුවාට කරපු හිංසාව විඳින්න බැරිව. පිරිමි දරුවෙක්. එදා ඒ ආරංචිය එන කොට මට මතක විදියට මම හිටියේ ගම්පහ නිට්ටඹුවේ සංඝබෝධියේ උත්සවයකට ගිහින්. එහේ දරුවෝ තුන්දහසකට වැඩිය ඉන්නවා. ඒ උත්සවයේ කතා කරන කොටත් මම ඒ ගැන කිව්වා.

ඒ නිසා දෙමව්පියන් විභාග සමත් වෙන්න වගේම ජීවිතය සමත් වෙන්න තම දරුවන්ට මග පෙන්වන්න ඕනෑ. උනන්දු වෙන්න ඕනෑ. වාර්තාවලට අනුව පාසල දරුවන්ට ආරක්ෂිත ස්ථානයක්. පාසල්වල අනාරක්ෂිත සිදුවීම් වාර්තා වෙන්නේ කලාතුරකින්. නමුත් දරුවාගේ ආරක්ෂිතභාවය සුරක්ෂිතභාවය පෝෂණය පිළිබඳව ප‍්‍රධාන වගකීම තිබෙන්නේ දෙමව්පියන්ට. අද පවතින තරගකාරී වාණිජ සමාජයේ අවිනීත අසීලාචාර අශිෂ්ට දේවල් අද වේගයෙන් ගලා යන බව ඔබ දන්නවා.

ජන අනුපාතයත් සමග ලෝකයේ වැඩිම පිළිකා රෝගීන් ඉන්නේ ඇමරිකාවේ. අධි පෝෂණය සහ ස්ථුලභාවය වැඩිම පිරිස ඉන්නේ ඇමරිකාවේ. අධි තාක්ෂණය තිබෙන බොහෝ රටවල්වල තාක්ෂණික මෙවලම් නිසා මානසික රෝගීන් වැඩියි. මම පසුගිය සතියේ ඇමරිකාවේ ඉන්න වෙලාවේ ශ‍්‍රී ලාංකිකයන් මුණ ගැහුණා. එතන හිටපු වෛද්‍යවරයෙක් කිව්වා ඇමරිකාවේ තිබෙන විසඳගන්න බැරිම ප‍්‍රශ්නයක් තමයි වෛද්‍යවරුන්ගේ හිඟය කියලා. ඇමරිකාවේ සේවය කරන වෛද්‍යවරුන්ගෙන් 30‍% ක් විතර විදේශ රටවල්වලින් පැමිණි වෛද්‍යවරු. ලංකාව ඉන්දියාව වගේ රටවල්වල හොඳම වෛද්‍යවරු ටික ඉන්නේ ඒ රටවල්වල. එහේ ලොකුම ප‍්‍රශ්නය තමයි මානසික වෛද්‍යවරු හිඟය. මානසික වෛද්‍යවරු හොඳටම මදි කිව්වා. මානසික වෛද්‍යවරු වැඩිපුර අවශ්‍ය වන්නේ ඇයි කියලා ඔබට දැන් වැටහෙනවා ඇති. තාක්ෂණික මෙවලම් නිසා. ගෙදර අම්මා තාත්තා ඉන්නවද කියලා හොයලා බලන්නේ නැහැ. මොබයිල් ෆෝන් එක තියනවද කියලා තමයි හොයලා බලන්නේ. ගෙදර කාමරය ඇතුළට වෙලා ෆෝන් එකත් එක්ක මොනවද කරන්නේ කියලා දෙමව්පියෝ දන්නවා.

අපි පාසල් යන කාලේ තාක්ෂණික මෙවලම් නැති බව ඔබ දන්නවා. අපි පාසල් ඇරිලා ගිය ගමන් ගොයම් කපලා තිබෙන කාලෙට යන්නේ වෙල් යායට. පොළොන්නරුවේ නම් පාසැල ඇරිලා ගෙදර යන කොටත් කැලෑව මැද්දෙන් යන්නේ. අද වගේ ලස්සන ක‍්‍රීඩා පිටි එදා තිබුණේ නැහැ. ගමට පාරක්, බස් එකක්, විදුලිය එදා අපිට හරියට තිබුණේ නැහැ. ක‍්‍රීඩාපිටියක් තිබුණේ නැහැ. කුරුල්ලෝ වැනි අලංකාර සතුන් සමඟ ලස්සන පරිසරයක හැදුණේ. මම පොළොන්නරුව රාජකීය විද්‍යාලයට යන කොට මම පළමුවෙන්ම දකින්නේ ඓතිහාසික ගල් විහාරය. රන්කොත් වෙහෙර කිරි වෙහෙර. උදේ හවා යන කොට පරාක‍්‍රම සමුද්‍රයේ එන සුළඟ ගතට වගේම සිතට සිසිලක් ලබාදෙනවා.

නවීන තාක්ෂණයත් සමග අද තිබුණු අභියෝග එදා අපට තිබුණේ නැහැ. අපට එදා තිබුණ අභියෝගය පාසල් යන්න බස් රථයක් නැති එක. අපි පාසලට කොච්චර පයින් ගිහින් තිබෙනවද? ලක්ෂ උයන ගමේ පාසලට යන කාලේ කකුලට සෙරෙප්පු දෙකක් දැම්මේ නැහැ. පොළොන්රුව රාජකීය විද්‍යාලයට ගියාම තමයි සපත්තු දාන්න පටන් ගත්තේ. එදා ඒ සමාජය භෞතික වශයෙන් මොනතරම් දුෂ්කරද? ඔය දරුවෝ කොයිතරම් වාසනාවන්තද? ගැහැනු දරුවෝ සුදු ගවුමක් ඇඳලා පිරිමි දරුවෝ සුදු කලිසමක් අත් කොට කමිසයක් ඇඳලා මේස් සපත්තු දාලා ලස්සනට ඉන්නවා. අඩුපාඩු තිබෙන්න පුළුවන් දරුවනේ. පවුලේ ආර්ථිකය සමාජමය ප‍්‍රශ්නත් එක්ක නොයෙක් දේවල්වලට හිත යනවා වෙන්න පුළුවන්. ඔයාලට හිතෙනවා ඇති අපිට කොච්චර ප‍්‍රශ්න තියනවද කියලා. ඇතැම් පවුල්වල තාත්තලා බීමත්ව ඇවිත් අඬදබර කරනවා. සමහර ගෙවල්වල ඉතාමත් බරපතළ විදියට ආර්ථික ප‍්‍රශ්න. දෙමව්පියෝ ණය වෙලා. ජීවත් වීමේ අමාරුකම්. මේ වගේ නොයෙකුත් ආර්ථික, සමාජ ප‍්‍රශ්න පවුල් සංස්ථාවල තිබෙනවා. බාහිරින් පැමිණෙන මේ සෑම අභියෝගයක්ම ජය අරගෙන ඔබ හොඳින් අධ්‍යාපනය ලබන්න ඕනෑ. විභාග පාස් වෙනවා වගේම ජීවිතය පාස් වෙන්න ඕනෑ. එයට ඔබේ ගුරු මෑණිවරුන් පියවරුන් මග පෙන්නාවි. ඔබේ ආදරණීය දෙමව්පියන් අපේක්ෂා සහගතව ඔබට උදව් කරාවි. රැක බලා ගනීවි.

අද ලෝක ගුරු දිනයේදි මහනුවර ආදර්ශ පාසලට පැමිණිලා මේ පින්වන්ත දරුවන් වගේම විදුහල්පතිතුමා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමව්පියන් අනිකුත් ආරාධිත අමුත්තන් ඔබ සියලුදෙනාම හමුවීමට ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙනවා.

මේ පාසලේ ජාතික වගේම ජාත්‍යන්තර වශයෙන් ජයග‍්‍රහණ අත්කරගත් දරුවෝ කිහිප දෙනෙක්ම ඉන්නවා. ඒ ජයග‍්‍රහණ අනාගතයේදි ඔබට ප‍්‍රයෝජනවත් වේවි. ඉන් එක් දරුවෙක් මහවැලියෙන් මම දුන්නු ඉඩමේ ක‍්‍රීඩා පිට්ටනිය හදලා දෙන්න කියලා ඉල්ලීමක් කළා. ඒ සඳහා ඇස්තමේන්තු සකස් කර ගන්න. මම උවමනා මුදල් දෙන්නම්. ඒක ප‍්‍රශ්නයක් නැහැ. පාසලේ තිබෙන ගොඩනැගිලි මදි කියලත් දැන ගන්න ලැබුණා. ගොඩනැගිල්ලක් ඉදි කරන්නත් මුදල් ලබා දෙන්න පුළුවන්. පළාත් සභාවෙන් ඇස්තමේන්තු කරලා මට කියන්න. ඒ දෙකටම මුදල් වෙන් කරන්නම්. ඒක ඉක්මන් කළොත් මට මේ අවුරුද්දෙම මුදල් දෙන්න පුළුවන්. මහ ඇමතිතුමත් මෙතන ඉන්නවා. ඒ ගැන ඔබේ වගකීම ඉෂ්ට කරන්න.

ජාත්‍යන්තර වශයෙන් සහ ජාතික වශයෙන් එක් එක් දවස් වෙන් කර තිබෙනවා. ඒ හැම දවසක්ම වෙන් කරන්නේ ඒ වෙන් කරන දවසට අදාළ විෂය ක්ෂේත‍්‍රය පිළිබඳව සෑම කෙනෙකුගේම අවධානය යොමු වෙන්නයි. ගුරුවරයාගේ වරප‍්‍රසාද අයිතිවාසිකම් ගෞරවය දක්වන්න ප‍්‍රණාම පුද කරන්න සියලුදෙනාගේ අවධානය යොමු වෙන්නයි ලෝක ගුරු දිනයක් ප‍්‍රකාශයට පත් කරලා තිබෙන්නේ.

ඒ නිසා අපි රජය විදියට අපේ ගුරු සේවයටත් නිදහස් අධ්‍යාපන ප‍්‍රතිපත්තිය තුළ අපිට කළ හැකි උදව් උපකාර සියල්ල ඉටු කරදෙන බව ප‍්‍රකාශ කරනවා.

අද ඔක්තෝබර් 06 වෙනිදා. තව දවස් දෙකකින් පළාත් සභාවේ නිල කාලය අවසන් වෙනවා. මහ ඇමතිතුමා කාලයක් විවේක ගන්නවා. මධ්‍යම පළාතේ මහ ඇමතිවරයා විදියට දීර්ඝ කාලයක් අධ්‍යාපන ක්‍ෂේත‍්‍රයට වගේම අනිකුත් සේවාවන් සඳහා එතුමා විශිෂ්ට සේවාවක් ඉටුකර තිබෙනවා. එතුමා පළාත් නවයේම සිටින මහ ඇමතිවරුන් අතරේ ඉතාම ආදර්ශවත් හොඳ මහා ඇමතිවරයෙක්. එතුමාගේ විෂය ක්ෂේත‍්‍රයට අදාළව කරන කටයුතු සමාජමය කාර්යන් දේශපාලන කාර්යයන් ඒ සෑම දෙයක්ම ඉතාම හොඳ විනයක් ඇතිව මධ්‍යම පළාතට දී තිබෙන නායකත්වය මා ඉතාමත් අගය කරනවා. එතුමා ඇතුළු පළාත් සභාවේ ඇමති මණ්ඩලය, මන්ත‍්‍රී මණ්ඩලයට සුබ පතමින් ආශිර්වාද කරමින් ඉදිරි අනාගතය සඳහා නැවතත් සූදානම් වෙන්න කියන ඉල්ලීම කරමින් ඔබ සියලුදෙනාට තෙරුවන් සරණ පතමින් මගේ කතාව අවසන් කරනවා.

 

Share This Post

NEW