වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව

වෙසක් පොහොය නිමිත්තෙන් සිරකරුවන් 762කට ජනපති පොදු සමාව

ඉතිහාසයේ ප‍්‍රථම වතාවට එම අවස්ථාවට ජනාධිපතිවරයෙකු එක් වෙයි.

අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනපති පවසයි.

අපරාධ වැඩිවීමට හේතුවන සමාජ තත්ත්වයන් වෙනස්කිරීම කෙරෙහි තමා දැඩි කැපවීමකින් කටයුතු කරන බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පවසයි.

ජනාධිපතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම වෙනුවෙන් අද (18) පෙරවරුවේ වැලිකඩ බන්ධනාගාර කි‍්‍රඩාංගණයේ පැවැති උත්සවය අමතමිනි.

ජනාධිපතිවරයෙකු මෙවන් අවස්ථාවකට එක්වූ පළමු අවස්ථාව මෙය වන අතර, බන්ධනාගාර භූමියට ගොස් නිදහස ලබන රැඳවියන් ආමන්ත‍්‍රණය කළ ප‍්‍රථම අවස්ථාව ද මෙය යි. එමෙන්ම බන්ධනාගාර රැඳවියන්ගේ හඬට ඇහුම්කන් දීමට ද ජනාධිපතිතුමා මෙහිදී කටයුතු කළේය.

සිරකරුවන් 736ක් සහ සිරකාරියන් 26 දෙනෙකු අද දින නිදහස ලැබූ අතර තමා අතින් නිදහස්වීමේ ලිපි ලැබූ සියලූ රැඳවියන්ගේ තොරතුරු විමසීමට ද අමතක නොකළ ජනාධිපතිතුමා එම සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ අද ලබන මෙම නිදහස තම ජීවිතය අර්ථවත්ව ගත කිරීමට යොදා ගන්නා ලෙසයි.

අද දින නිදහස ලබාදෙන්නේ නැවත සිරගෙදරට එනු දැකීමට නොවන බව පැවසූ ජනාධිපතිතුමා අද දින නිදහස ලබන සියලුදෙනාට තම අනාගතය ගොඩනඟා ගැනීමට අවශ්‍ය සෑම අත්වැලක්ම සැපයීමට ද තමා සුදනම් බව කියා සිටියේය. ඒ අනුව අද දින නිදහස ලබන පිරිස අතරින් ස්වයං රැකියාවල නිරතවීමට කැමති පිරිස් හා ඔවුන්ට අවශ්‍ය පහසුකම් පිළිබඳ විමසා බලා ඒ පිළිබඳ වාර්තාවක් කඩිනමින් තමා වෙත ලබාදෙන ලෙස ද ජනාධිපතිතුමා බන්ධනාගාර කොමසාරිස්වරයාට උපදෙස් දුන්නේය.

බන්ධනාගාර රැඳවියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම පිළිබඳ ජනාධිපතිතුමා නිරන්තරයෙන් අවධානය යොමු කරමින් කටයුතු කරන අතර තමා ඝාතනය කිරීමට පැමිණ, අධිකරණයෙන් වැරදිකරුවෙකු වී සිරගතව සිටි පුද්ගලයාට ද නිදහස ලබාදීමට එතුමා පසුගිය 2016 ජනවාරි 08 වනදා කටයුතු කළේය. මෙම උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ තම අරමුණ සිරගෙවල් පිරිවීම නොව සියලු පුරවැසියන් යහපත් පුරවැසියන් ලෙස සමාජගත කිරීම මෙන්ම, රට තුළ අපරාධ වැඩවීමට හේතුවන සෑම සමාජ පසුබිමක්ම වෙනස් කිරීම බවයි.

බන්ධනාගාර රැඳවියන්ට වෘත්තීය පුහුණුව ලබාදීම ඇතුළු ඔවුන්ගේ දැනුම සහ ශ‍්‍රමය ඵලදායීව යෙදවීම පිළිබඳ රජය කි‍්‍රයාත්මක කර තිබෙන වැඩපිළිවෙළ පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා බන්ධනාගාර රැඳවියෙකු ලෙස ගත කළ තම අතීත අත්දැකීම ද සිහිපත් කරමින් සියලුදෙනාගෙන් ඉල්ලා සිටියේ රැඳවියෙකු ලෙස ගතකරන සමය තම ජීවිතය ගොඩනඟා ගැනීම වෙනුවෙන් අධීෂ්ඨානශීලිව ගත කරමින් දැනුම සහ හැකියාවන් වර්ධනය කර ගැනීමට උපයෝගි කර ගන්නා ලෙසයි.

නිදහස ලබන රැඳවියන් පස් දෙනකුට ස්වයං රැකියා උපකරණ කට්ටල පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදුවි ය.

මේ අතර බන්ධනාගාර රැඳවියෙකු වූ ලක්මිණ ඉන්දික බමුණුසිංහ මහතා ජනාධිපතිතුමා වෙතින් කළ ඉල්ලීම ඉටුකිරීමට ද ජනාධිපතිතුමා මෙහිදී පියවර ගත්තේය. බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කළ ඔහු මේ වන විට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හදාරමින් සිටින අතර 2005 වසරේ ශ‍්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ ඔහු මේ වසරේ ජාතික බොක්සින් ශූරතාවයට ද ඉදිරිපත්වීමට ද අපේක්ෂාවෙන් සිටී. තම උපාධිය සඳහා අවශ්‍ය නිබන්ධනය සම්පාදනය කිරීමට අවශ්‍ය මුදල් ලබාදෙන ලෙසත්, තරගාවලියට ඉදිරිපත්වීම සඳහා අවස්ථාව සලසා දෙන ලෙසත් ඔහු ජනාධිපතිතුමා හමුවී ඉල්ලා සිටි අතර නිබන්ධනය සඳහා අවශ්‍ය මුදල් කඩිනමින් ලබාදීමට කටයුතු කරන බව පැවසු ජනාධිපතිතුමා අදාළ තරගාවලියට ඉදිරිපත්වීමට ඉඩ ලබාදීමට ඇති හැකියාව පිළිබඳ සොයා බලා අවශ්‍ය කටයුතු ඉටුකරදෙන ලෙස අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍ය තලතා අතුකෝරළ මහත්මිය වෙත උපදෙස් දුන්නේය.

ඇමතිණි තලතා අතුකෝරල මහත්මිය ඇතුළු මැති ඇමතිවරු පිරිසක් ද, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න, අධිකරණ හා බන්ධනාගාර ප‍්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ වැඩබලන ලේකම් පියුමන්ති පිරිස් යන මහත්ම මහත්මීන් සහ බන්ධනාගාර කොමසාරිස් ජනරාල් ටී.එම්.ජේ.ඩබ්ලිව්. තෙන්නකෝන් මහතා ඇතුළු බන්ධනාගාර නිලධාරින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

එමෙන්ම රැඳවියන් හා සහභාගීවන්නන් සඳහා බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ බෞද්ධ සංගමය මගින් සංවිධානය කරනු ලැබු වෙසක් බත් දන්සල විවෘත කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු වූ අතර අද දින නිදහස ලැබු රැඳවියන් වෙත ආහාරපාන වලින් සංග‍්‍රහ කිරීමට ජනාධිපතිතුමා එහිදී එක්විය.

වෙසක් පොහොය නිමිත්තෙන් ජනපති පොදු සමාව යටතේ සිරකරුවන් 762කට නිදහස ලබාදීම වෙනුවෙන් පැවැති උත්සවය අමතමින් ජනාධිපතිතුමා කළ කතාව – (2019-05-18 වන දින වැලිකඩ බන්ධනාගාර ක්‍රීඩාංගණයේ දී)

ඔබට ජනාධිපති සමාවක් දිය යුතුය යන අදහස මා තුළ ඇති වුණේ බුදුන් වහන්සේගේ ධර්මය වන බෞද්ධ දර්ශනය පදනම් වූ වසර 2600 කට වඩා පැරැණි බෞද්ධ ශිෂ්ටාචාරය අපට දී ඇති හැදියාවන් සමඟයි. මේ වෙසක් පුර පොහෝ දිනයේ එසේ කළ හැකි වීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා.

මේ රටේත් ලෝකයේත් ප්‍රබල ප්‍රශ්නයක් බවට පත්ව තිබෙන හෙරොයින්, හෂීෂ්, මරිජුවානා, කසිප්පු මත්ද්‍රව්‍ය මඟින් සමාජයට සිදුවන ඛේදවාචකය නිසා තමයි මා සෞඛ්‍ය අමාත්‍යවරයා ලෙස සිටින කාලයේ මත්ද්‍රව්‍ය ජාවාරමට එරෙහිව පුළුල් වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කළේ. 1989 වසරේ දී මා පාර්ලිමේන්තුවට පැමිණි අවස්ථාවේ මත්ද්‍රව්‍ය මර්දනයට තිබෙන පුළුල් ආයතනයක් වූ ඇඩික් ආයතනය සමග එක්ව වැඩ කළා. ඒ, මත්ද්‍රව්‍යවලට එරෙහිව මගේ පළමු විරෝධය ක්‍රියාත්මක වූ අවස්ථාවයි. මත්ද්‍රව්‍යවලින් සමාජයට වන බරපතළ පීඩාව, විනාශය ආදිය සැලකිල්ලට ගෙනයි දීප ව්‍යාප්තව මත්ද්‍රව්‍යවලට එරෙහිව වැඩසටහන් ගෙන ගියේ.

ඒ අනුව සිර ගෙවල්වල සිටින සංඛ්‍යාව කීයද කියලා මීට මාස 02කට විතර පෙර මා සොයා බැලුවා. අපේ රටේ බන්ධනාගාරවල සිටින රැඳවියන්ගෙන් කී දෙනෙක් මත්ද්‍රව්‍ය චෝදනාවට සැකකරුවන් විදියට හා වරදකරුවන් විදියට ඉන්නවාද කියලා මා සොයා බැලුවා. අති විශාල පිරිසක් ඉන්නවා ඒ නිසා තමයි මා අදහස් කළේ මෙතනින් පිරිසක් කොහොමද නිදහස් කරන්නේ කියලා.
අපේ රටේ සියලුම බන්ධනාගාරවල රැඳවියන් විදියට ඉන්න ඉඩකඩ තිබෙන්නේ 11,000කට විතරයි. නමුත් අද දවස වන විට සිරකරුවන් විදියට 9285 කුත් රිමාන්ඞ් එකේ 15019ක් ඉන්නවා. මුළු සංඛ්‍යාව 24304 යි. ඉන්න පුළුවන් 11,000කට පමණයි.

එහෙම නම් පස් දෙනෙක් ඉන්න කාමරයේ 10 දෙනෙක් ඉන්නවා. මෙය මානවයාගේ නිදහස පිළිබඳව බෞද්ධ දර්ශනයේ වෙන්න පුළුවන් කිතුනු දර්ශනයේ වෙන්න පුළුවන් ඉස්ලාම් දර්ශනයේ වෙන්න පුළුවන් හින්දු දර්ශනයේ වෙන්න පුළුවන් ඒ කිසිදු ආධ්‍යාත්මිය දර්ශනයකින් එකඟ වන දෙයක් නෙවෙයි. මේ තත්ත්වය තුළ මම අධිකරණ ඇමතිතුමිය හා කොමසාරිස්තුමා සමඟ සාකච්ඡා කරලා තීරණය ගත්තා මෙයින් සමාව දිය හැකි උපරිම සංඛ්‍යාවකට ජනපති සමාව දෙමුයි කියලා. ඒ අනුවයි අද හත්සිය හැට දෙදෙනෙක් අද ජනාධිපති සමාව ලබන්නේ. මම පසුගිය දිනක මීගමුවට එහා පැත්තේ තිබෙන බන්ධනාගාරයකට ගියා නිරීක්ෂණයට. එතන 139ක් හිටියා. එහි සිටි 100කට වැඩි පිරිසක් අඩු වයසේ තරුණ දරුවෝයි. මේ තත්ත්වයේ දී මම සැලකිල්ලට ගත් දෙයක් තමයි මගේ ජීවිතයේ අත්දැකීම. මම කිසිම වැරැද්දක් නොකර පාසල් ශිෂ්‍යයෙක් විදියට වසර 19 දී මාස 15කට වැඩි කාලයක් මම මඩකලපුව බන්ධනාගාරයේ කාමරයක් ඇතුළේ හිටියා 1971 දී මගේ පාසලේ විදුහල්පතිට පින්සිදු වෙන්න. ඒ කාලේ ඒ ව්‍යාපාරය හැඳින්නුවේ චේගුවෙරා ව්‍යාපාරය කියලා. චේගුවේරා ව්‍යාපාරයට කිසිදු සම්බන්ධයක් නැති මා පාසලේ දඟකාර ශිෂ්‍යයෙක් නිසා විදුහල්පති නිර්දේශ කළා අපි වගේම සිසුන් චේගුවේරා කල්ලියේ කියලා. මම මාස 03ක් හිටියේ කළුවර කාමරයක. තුන් දෙනෙක් දාන්න පුළුවන් ඒ කාමරයේ හත් දෙනෙක් හිටියා.අපි පාසල් ශිෂ්‍යයෝ 400කට වැඩියෙන් එදා ඒ බන්ධනාගාරයේ සිටියා. මට උසස් පෙළ ලියන්න තිබුණේ 71 අප්‍රේල් මාසයේ. මාව අත්අඩංගුවට ගත්තේ 71 අප්‍රේල් මාසේ 10 වැනිදායි.

ඒ වසරේ අප්‍රේල් මාසේ රටේ ඇතිවූ කලබල නිසා උසස් පෙළ විභාගය තිබුණේ නැහැ. මම 72 තමයි බන්ධනාගාරයේ සිට මාංචු දාගෙන මාංචුවලට හිරවුණු දෑත්වලින් ගලන ලේ සමග උහන මහා විද්‍යාලයට ගිහින් විභාගේ ලිව්වේ. මාංචු ගැලෙවුවාම මගේ අත කැපිලා ගලන ලේවලින් උත්තර පත්‍රයට ලේ ගලනවා. නිවැරදිකාරයෙක් වෙච්ච මා කළුවර කාමරයක් ඇතුළට දාලා බරපතළ වැරුද්දක් කළ මිනිහෙකුට දෙන දඬුවමක් නේද මේ දීලා තියෙන්නේ කියලා හිතෙනකොට මගේ ඇස්වලින් කඳුළු වැටෙනවා.

උත්තර පත්‍රය ලියනකොට ඇස්වලින් ගලන කඳුළුයි අත්වලින් ගලන ලේයි එකට වුණා. පාසල් ශිෂ්‍යයෙක් විදියට මගේ දැඟලිල්ලත් ඒ කාලේත් පෙන්නූ ටිකක් ඕනෑවට වඩා කතා බහ කිරීම ආදියත් තමයි මාස 15ක් බරපතළ වැරැද්දකට සිර දඬුවම් ලැබුණු කෙනෙකුට වගේ දුක් විඳින්න හේතු වුණේ. ඒ මාස 15න් එක දවසක්වත් ඒ කාමරයකින් එළියට ගත්තේ නැහැ. ගුරුවරු, නීතිඥයෝ ඒ කාමරයේ හිටියා. ඒ සෑම කෙනෙක්ම කළේ අපි වගේ පාසල් ශිෂ්‍යයො වර්ග කරලා කාමර ඇතුළේ හිටියත් කාමරයේ සිට පාඩම කියලා දෙනවා දේශන කරනවා. ගුරුවරු, අම්පාර හාඩි විද්‍යාලයේ සිටි උගත් ශිෂ්‍යයෝ ආචාර්යවරු හිටියා. හිරගෙදර වහලා තියෙන කාමරය ඇතුළෙන් අර උඩින් තියෙන දැලෙන් තමයි සද්දේ ඇහෙන්නේ වසර එක හමාරම. කාමරයක ඉඳලා ගුරුවරයෙක් අපට පාඩම කරනවා, අපි කාමරය ඇතුළේ නිදාගෙන ඒ පාඩම අහනවා. සැලළිහිණි සංදේශය ඇතුළු සංදේශ කාව්‍ය ගණනාවක් පාඩම් කළා. ඒ කාමරයට වෙලා මම කොච්චර ඇඬුවත් එහි සිටි එක විනාඩියක්වත් අහක ගියේ නැහැයි කියලයි මා හිතන්නේ. මට ගෙදරින් ගෙනල්ලා දුන්න හැම පොතක්ම මම කියෙව්වා. සංදේශ කාව්‍ය කටපාඩම් කෙරුවා. උසස් පෙළ විද්‍යා විෂයයන්ගෙන් ලියන්න හිටපු මම හිරගෙදර ඉඳන් විද්‍යා විෂයයන් කරන්න බැරි නිසා කලා විෂයන් පාඩම් කරලා උහන විද්‍යාලයට ගිහින් උසස් පෙළ විභාගේ ලිව්වා.

වසර එක හමාරක් ශිෂ්‍යයෙක් විදියට හිරගෙදර කාමරයක් ඇතුළේ ඉඳලා කාමරයේ දොර යටින් හදලා තිබුණු පුංචි හිලෙන් දෙන පිඟානේ කෑම තමයි ඒ මාස 15කට වැඩි කාලයක් මම කෑවේ. අපිව එක දවසක්වත් නිදහසේ හුළං වදින්නවත් කාමරෙන් එළියට අරගත්තේ නැහැ. වැසිකිළි යන්නයි නාන්නයි විතරයි දවසට දෙපාරක් එළියට ගත්තේ. පළමුවෙනි මාස තුනේ මාස එකහමාරක් මම ඇඳගෙන හිටියේ මා අත්අඩංගුවට ගන්නකොට ඇඳගෙන හිටපු සරමයි ෂර්ට් එකයි.

මේ කතාව මම ඇයි අද කියන්නේ. මගේ මේ කතාව මේ රටේ ජනතාව හොඳට දන්නවා. එය අද නැවතත් මම කිව්වේ අද නිදහස ලබන ඔබටයි. එදා බන්ධනාගාරයේ හිටියත් මම බරපතළ අපරාධ කරපු අයට එකතු වුණේ නැහැ. ඒ අය එක්ක කතා බහ කළේ නැහැ. මට ආත්ම ශක්තියක් තිබුණා, අධිෂ්ඨානයක් තිබුණා, මේක ඇතුළේ ඉන්න කාලේ මගේ ජීවිතය ගොඩනගා ගන්න මම උත්සාහ කරනවා කියලා. ඒ නිසා තමයි කඳුළු හල හල මා පාඩම් කෙරුවේ. ඒ නිසායි විෂය නිර්දේශවලට අදාළ නැති පොත පත මා කියෙව්වේ. මා අදත් දේශපාලන වේදිකාවේ බොහෝ කතා කරන දේවල් එදා මා කියවපු පොත් පත්වල දේවල්. අදත් මේ රටේ උත්සවයකට ගියාම සන්දේශ කාව්‍යයක කවියක් මා ඉඳලා හිටලා කියන්නේ එදා මම කටපාඩම් කළ නිසයි.

ඔබට මම ආදරයෙන් කියන්නේ, ඔබ ජනාධිපති සමාව ලබලා ගිහින් නැවත වැරදි කළොත්, වැරදි සමාජයට එකතු වුණොත් බනින්නේ ඔබට නෙවෙයි. මේ සමාජයේ ඔබ නැවත වැරැද්දක් කරලා ඔබ අත් අඩංගුවට අරන් ප්‍රශ්න කරන පොලිසියේ නිලධාරීන් ඔබ ජනාධිපති සමාව ලැබ නැවත වැරදි කරලායි මේ ඇවිත් තිබෙන්නේ කියලා දැනගත්තහම එදාට ඒ නිලධාරීනුත් බනින්නේ ඔබට නෙවෙයි මටයි. ඒ නිසා ඔබව නිදහස් කිරීමේ වගකීමක් මම අරන් තියෙනවා. ඔබ එක්කෙනෙක්වත් මම එක දවසක්වත් ඇසුරු කරලා නැහැ. නමුත් නොදන්න, නොදැකපු ඔබ කෙරෙහි මේ රටේ ප්‍රධාන මහජන සේවකයා විදියටත් වසර එක හමාරක් සිරගෙදරක අසීරුවෙන් අමාරුවෙන් කාලය ගත කළ ශිෂ්‍යයෙක් විදියටත් මගේ හෘදය සාක්ෂිය කතාවත් එක්ක මම ඔබ කෙරෙහි විශ්වාසය තියලා තිබෙනවා.

මෙතන විවිධ වයස් කාණ්ඩවල සිටින ඔබෙන් මම ඉල්ලන්නේ ඒ වැරැද්ද ඔබ කරන්න එපා. ඔබ යහපත් සමාජයට එකතු වෙන්න. ඔබේ දෙමව්පියන්ට, දරුවන්ට, බිරිඳට. සහෝදර සහෝදරියන්ට ආදරය කරන්න, සමාජයේ වැරදි පැත්ත දෙස නොබලන්න. ඔබ අධිෂ්ඨානයක් ඇති කර ගන්න. ඔබේ ඉතිරි ජීවිත කාලය තුළ ඔබ නැවත සිර ගෙදරට එනවාද නැවත දණ්ඩනයට ලක් වෙනවාද ඉතිරි ජීවිත කාලය තුළ පොලිසිය හෝ වෙනත් අයගේ ප්‍රහාරවලට ලක් වෙනවාද හිරගෙදරට ඇවිත් ඔබ විනයක් නැතිව හැසිරුණොත් බන්ධනාගාර නිලධාරීන්ගේ දඬුවම්වලට ඔබ ලක් වෙනවාද කියලා හොඳට හිතන්න. ඔබ බෞද්ධ, කිතුනු, ඉස්ලාම්, හින්දු වෙන්න පුළුවන්. ඒ සෑම දර්ශනයකම තිබෙන ධර්මතාව අනුව ඔබ ජීවත්වෙන්න. ඒක තමයි මිනිසෙකුගේ ජීවිතය ගොඩනඟා ගන්න අවශ්‍ය ලොකුම දේ.

එල්.ටී.ටී.ඊ යුද්ධය කාලේ මම ත්‍රස්තවාදී ප්‍රහාර 05කට ලක් වුණා. මගේ රෝම කූපයකටවත් හානියක් වුණේ නැහැ. මට ප්‍රහාර එල්ල කරන්න ආ ත්‍රස්තවාදීන් හය හත් දෙනෙක් සයිනයිඞ් කාලා සිය දිවි නසා ගත්තා. දෙදෙනෙක් බෝම්බ පුපුරවාගෙන මැරුණා. අත්අඩංගුවට ගත් එක් අයෙක් සිරභාරයේ සිටියා. 2006 මා මරන්න ඇවිත් අධිකරණය විසින් බන්ධනාගාරගත කර සිටි පුද්ගලයෙකුට මම සමාව දුන්නා. මා ඝාතනය කරන්න ආවයි කියලා අධිකරණයේ ඔප්පු වූ තැනැත්තාත් මම නිදහස් කරලා සමාජගත කළා. මම එයින් මාස කිහිපයකට පෙර ඔහුගේ නිවසට ගියා. ඔහුගේ දෙමව්පියන් හමුවුණා. මම සොයා බැලුවා ඔහු කොහොමද ජීවත් වෙන්නේ කියලා. මම ඔහුට කිව්වා ඔබට ජීවත්වීම පිළිබඳ ප්‍රශ්නයක් තිබෙනවා නම් කියන්න මම ඔබට ජීවත්වෙන්න උදව් කරන්නම් කියල. ස්වයං රැකියාවක් කරන්න හෝ ඔබට කළ හැකි වෙනත් සාධාරණ ව්‍යාපාරයක නිරත වෙන්න මම උදව් කරන්නම් කිව්වා.

අද නිදහස් වන ඔබටත් මම කියනවා ස්වයං රැකියාවක් කරන්න උවමනාවක් තියෙනවා නම් ඒ සඳහා ඒ අයට ආධාර මුදලක් ඕනෑ ද උපකරණ ඕනෑ ද යම්කිසි ස්ථානයක් ඕනෑ ද කියලා මේ අයගෙන් විමසා වාර්තාවක් ගන්න. සෑම කෙනෙකුටම ඒ පහසුකම දෙන්න මම කටයුතු කරනවා. මට අවශ්‍ය වන්නේ ඔබව ජනාධිපති සමාව දීලා නැවත සිර ගෙදරට එන කෙනෙක් කරන්න නෙවෙයි. ඔබ නැවත අධිකරණයට ගිහින් විනිශ්චයකාරතුමා ඉදිරියේ උසාවි කුූඩුවට නැගලා වග උත්තර කරුවෙක් වෙලා ඉන්නවා කියලා දැනගත්තොත් එහි දී ඔබට වඩා හිතේ වේදනාවක් මට ඇතිවෙයි. ඔබ කෙරෙහි විශ්වාසය තබලා ඔබ නිදහස් කරන්නේ ඇයි. ඔබ වගේ සිරකරුවන් මේ බන්ධනාගාරවල කොච්චර ඉන්නවාද. ඔබ හොඳින් හිටියොත් මේ නිදහස් කරපු අය ගැන කිසිම ප්‍රශ්නයක් නැහැයි කියලා ඉදිරියේ දී වාර්තා වුණොත් ඔබ වගේම මේ සිර මැදිරිවල දුක් විඳපු තව සිය දහස් ගාණකට මට සමාව දෙන්න පුළුවන්කම ලැබෙනවා. ඒක අමතක කරන්න එපා. ඔබ ගැන විතරක් නෙවෙයි දෙමව්පියන් දරුවන් සහෝදර සහෝදරයන් ගැන හිතන්න, යහපත් සමාජයට එකතු වෙන්න. ඒ වගේම ඔබ හිතන්න බන්ධනාගාර ගතව කොච්චරක් ඉන්නවාද කියලා. ඒ අයගෙන් කාට හෝ ගෙදරට ඇවිත් අම්මා තාත්තා, බිරිඳ, දරුවන් එක්ක නිදහසේ පාඩුවේ ජීවිතය ගොඩනගා ගන්න ඔබ අකමැතිද. ඒ අය වෙනුවෙන් ඔබ යහපත් කෙනෙක් වෙන්න. එය තමයි අත්‍යවශ්‍ය දේ. අපි හිතන්නට ඕනෑ අපි යහපත් සමාජයක් හදන්නයි මේ උත්සාහ කරන්නේ කියලා.

දකුණු ආසියාතික රටවල තිබෙන තත්ත්වයන් එක හා සමානයි. අපි දන්න සමාජ ධර්මතාවන් අනුව අපි විශ්වාස කරන්නේ පැහැදිලිව ඔබට සිරබත් කන්න සිද්ධ වුණේ ඔබේ වැරැද්ද නිසා නෙවෙයි. මේ සමාජය තුළ තිබෙන වැරැද්ද නිසායි. සමාජ සංස්ථාවේ ධර්මතාවයන් තුළ තිබෙන වැරදි තත්ත්වයන් නිසයි. දැහැමි බවක් නොමැති සමාජයක් වෛරය, ක්‍රෝධය, ඊර්ෂ්‍යාව, සීමාවක් නැති අපේක්ෂාවන් මේවත් එක්ක තමාට ලබා ගන්න පුළුවන් දේවල් සඳහා තිබෙන තරගකාරීත්වය මෙන්ම දුගී භාවයත් හේතු වෙනවා.

ලෝකයේ සිරගෙවල් පිරී තිබෙන්නේ දුප්පත්කම නිසයි. ජනතාව තුළ දුප්පත්කම නැත්නම් සොරකම් කිරීම වැනි අපරාධවලට ලක් වන්නේ නැහැ. රටක සිරගෙවල් පිරෙන්නේ ඒ රටේ දුගී භාවය වැඩි නිසයි. දුගී භාවය පිළිබඳව සංඛ්‍යාලේඛන අපේ රටේ ඉදිරිපත් වෙනවා. නමුත් අපි පිළිගන්නට ඕනෑ මේ රටේ ජනගහනයෙන් සියයට 40ක් දුගී භාවයෙන් පෙළෙනවා.

මේ රටේ ජනගහනයෙන් 40%ක් දුගීභාවයෙන් සහ 15%ක් අන්තදුගීභාවයෙන් පෙළෙනවා. ඒක තමයි ඇත්ත තත්ත්වය. මේකට කාටවත් ඇඟිල්ල දික් කරලා හරියන්නේ නැහැ. හැම ආණ්ඩුවක්ම වගකියන්න ඕන. බලයට එන ආණ්ඩු කවුරුන් හෝ ඒ අය මේ පාඩම ඉගෙන ගෙන ආණ්ඩු ගන්න ඕන. ඒ නිසා අපි විශේෂයෙන්ම මේ රටේ තිබෙන නීති විරෝධී මත්ද්‍රව්‍ය මර්දනයට ප්‍රමුඛත්වයක් දිලා තියෙන්නේ. ජංගම දුරකථනය, අන්තර්ජාලය, මත්ද්‍රව්‍ය, අපරාධ, පාතාලය මේවා සියල්ල අද එකට යනවා.

ජංගම දුරකථනය, අන්තර්ජාලය නිර්මාණය කළ ඒ ශ්‍රේෂ්ඨ විද්‍යාඥයා මොනතරම් යහපත් චේතනාවකින් මේ අන්තර්ජාලය සහ ජංගම දුරකථනය නිර්මාණය කළාද? එහෙත් අද හොරකම්, මංකොල්ලකෑම් ස්ත්‍රී දුෂණ, අපරාධ, ළමා අපචාර සමූහ මංකොල්ලකෑම් මේ සියලුදේට ජංගම දුරකථනය තමයි ප්‍රධාන ශක්තියක් බවට පත්වෙලා තිබෙන්නේ කියලා පොලීසිය සහ බන්ධනාගාර නිලධාරී මහත්වරු කවුරුත් දන්නවා. ඒක සමාජයේ උගතුන් බුද්ධිමතුන් දන්නවා. ඒ නිසා අපිට නව අධි තාක්ෂණය සමග අධ්‍යාත්මික සමාජයක් ගොඩනගන්න යහපත් රටක් ගොඩනගන්න අපට තිබෙන අභියෝග අප විසින් තේරුම් ගත යුතු වෙනවා. අපි උත්සාහ කරන්නේ කොහොමද මේ අභියෝගය ජයගන්නේ කියලා. මේ අභියෝගය ජයගන්න පළවෙනි දේ තමයි දුප්පත්කම නැති කිරීම. සිරගෙවල් වහන්න නම් දුගීබව නැතිකරන්න ඕන. සිරගෙවල් වහන්න නම් වැඩිපුර පාසල් විවෘත වෙන්න ඕන. පාසලක් විවෘත කර සිරගෙයක් වැසීම තමයි රටක සමාජය සඳහා කරන දීර්ඝකාලීන ආයෝජනය කියන එක ඔබ අපි සෑම කෙනෙක්ම දන්නවා. ඒ නිසා රටේ පාසල් වැඩිවෙන්න ඕන. සිරගෙවල් වැහෙන්න ඕන. රෝහල් අඩුවෙන්න ඕන. මිනිස්සු නිරෝගී වෙන්න ඕන. රටක පිරිහීම පෙන්නුම් කරන ප්‍රධාන කාරණය තමයි සිරගෙවල්වල ඉන්න සංඛ්‍යාව සහ සිරගෙවල් වැඩිවීම. ඊළඟට රටක පිරිහීම පෙන්වන ප්‍රධාන කාරණයක් තමා දුගීබවත් රෝගීන් වැඩිවීමත්.

අද අපේ ලංකාවේ සෞඛ්‍ය සේවයට කරන වියදම් අසිමීතයි. ගොඩනැගිලි හැමදාම හදනවා. අලුත් තාක්ෂණික උපකරණ හැමදාම ගේනවා. හැමතැනම අලුත් ගොඩනැගිල්ලක්, අලුත් උපකරණ ඉල්ලනවා, වෛද්‍යවරු සහ හෙදියෝ ඉල්ලනවා. ඒක අපිට සතුටු වෙන්න පු`ඵවන් කාරණයක් නොවේ. මානව සම්පත් සහ භෞතික සම්පත් දිය යුතුටි. රටක දුගීභාවය අවමයි කියලා පෙන්වන්නේ රෝගීන් සංඛ්‍යාව අඩුනම් රෝහල් සංඛ්‍යාව අඩුනම්. ඒ වගේම තමයි රට යහපත් කියලා ආර්ථික අතින් හොඳයි කියලා පෙන්වන මූලික සාධකය වගේම සිරගෙවල්වල ඉන්න සංඛ්‍යාව ද අඩවීය යුතුයි. ඒ නිසයි අපි මේ උත්සාහය කරන්නේ යහපත් සමාජයක් ගොඩනගන්න.

අප්‍රේල් 21 සිදු වූ සිදුවීම මේ රටේ ආගමික අන්තවාදයේ ත්‍රස්ත ක්‍රියාවක්. ඒ බෝම්බ පිපිරීමේ වේගයට වැඩිය බෝම්බය පිපිරීම පිළිබඳව වැරදි අර්ථකතනයන් සමාජගත වුණා. ඉතාම වගකිව යුතු අයත් මාධ්‍ය ඉස්සරහට ඇවිල්ලා බරපතළ වැරදි අර්ථකතනයන් කළා බෝම්බ පිපිරීමේ සිදුවීමේ පසුපස තත්වයන් පිළිබඳව. අසත්‍ය වේගයෙන් ගමන් කරනවා. සත්‍ය ඉතාමත් හෙමින් ගමන් කරනවා. අප්‍රේල් 21 ඇතිවෙච්ච ඒ මහා ඛේදවාචකයෙන් අහිමි වෙච්ච ජීිවිත පිළිබඳව අදත් හෙටත් අප දැඩි ලෙස කම්පාවට පත්වෙනවා වේදනාවට පත්වෙනවා. නමුත් ඒවා කළෙත් මිනිස්සු නේද කියන එක හිතන්නට ඕන. එමෙහනම් ආගමික අන්තවාදය වෙනුවෙන් වෙන්න පු`ඵවන්. ජාත්‍යන්තර ත්‍රස්තවාදය වෙන්න පු`ඵවන්. ඒ සෑම කෙනෙක්ම මේ මහා බරපතළ ඛේදවාචකයන්ට විනාසයන්ට ඇයි රට ලක් කරන්නේ. ඒක මිනිසුන්ගේ හැදියාව පිළිබඳව ප්‍රශ්නයක්.

පාප් වහන්සේ 2015 ලංකාවට ආවා. පාප්වහන්සේ මගෙන් ඇහුවා ප්‍රශ්නයක්. හැමතැනම එක එක රටවල්වල යුද්ධ තිබෙනවා. මේ යුද්ධ නැති කරන්න මොකක්ද විසඳුම කියලා මගෙන් ඇහුවා. උන්වහන්සේ අහපු ප්‍රශ්නයට මා විසින් දියයුතු පිළිතුර ඉතාමත් දීර්ඝ පිළිතුරක් නිසා, මං උන්වහන්සේගේ මූණ දිහා බලාගෙන සිනාමුසු මුහුණින් නිහඬව සිටියා එයට උත්තරයක් දීමට කොහෙත්ම එය කාලය නොවන නිසා. නමුත් උන්වහන්සේ මට කෙටි උත්තරයක් දුන්නා. ලෝකයේ යුද්ධ නවත්තන්න බලවත් රටවල් ලොකු මිනිස්සු හරියට උත්සාහ ගන්නවා. ලෝකයේ බොහෝ බලවත් රටවල් සාමය සඳහා කතා කරනවා. ලෝකයේ බොහෝ බලවත් රටවල් ත්‍රස්තවාදී සිදුවීමක් සිදුවූ වහාම තමාගේ රටේ යුද විශේෂඥයෝ, බුද්ධි විශේෂඥයෝ ඒ රටවල්වලට එවනවා. නමුත් ලෝකයේ කිසිම ත්‍රස්තවාදී ව්‍යාපාරයක් ආයුධ හදන්නේ නැහැ. ආයුධ හදන අයගෙන් තමයි ත්‍රස්තවාදීන්ට ආයුධ යන්නේ. ඒ නිසා ලෝකයේ ත්‍රස්තවාදය නැති වෙන්න නම් ආයුධ හැදීම නැවතිය යුතුයි කියලයි පාප් වහන්සේ කිව්වේ. මොනතරම් සාධාරණ යුක්තිසහගත දේශනයක්ද. අපරාධවලට යම් හේතුවක් කාරණයක් තියෙනවා. බෞද්ධ දර්ශනය තුළනම් හේතුඵල වාදය. යම්කිසි සිද්ධියක් ඇතිවෙන්න මුල මොකක්ද හේතුව. කුමක්ද ඉන් ඇතිවන ප්‍රතිඵලය හේතුඵලවාදය තුළ පැහැදිලි වෙනවා. ඒ නිසා සැමවිටම රජයක් විදියටත් පෞද්ගලිකවත් අපේ කැපවීම යහපත් සමාජයක් හදන්න. ඒ යහපත් සමාජය හැදීමේ කාර්යයේදී හිරගෙදරට අපි මුල්තැන දීලා තිබෙනවා. කොහොමද අපි බන්ධනාගාරය හිස් කරන්නේ කියන කාරණය පිළිබඳ. මේක පහසු දෙයක් නොවේ. එය ඉතාමත් අභියෝගාත්මකයි. මේ සමාජයේ තිබෙන ප්‍රතිවිරෝධතාවයන් තේරුම් ගන්නට ඕන. ආර්ථික විශේෂඥයින් මොනව කිව්වත් රටක තිබෙන දුගීභාවය වැඩිවෙන්න ඇති නැති පරතරය තමයි ප්‍රධාන වශයෙන්ම බලපාන්නේ.

මේ රටේ බොහෝ අය හංගාගෙන ඉන්න එක්තරා රහසක් තිබෙනවා. ඒ රහස තමයි මේ රටේ මු`ඵ ආර්ථිකය පාලනය කරන්නේ ප්‍රධාන ඉහළ පෙළේ ව්‍යාපාරිකයෝ 15 දෙනෙක් බව. ඒ 15 දෙනාගෙන් එක්කෙනෙක් මට කිව්වා. සර් මේ රටේ ආර්ථිකය සම්පූර්ණයෙන් අපි 15 දෙනා අතේ තියෙන්නේ. හැබැයි ආණ්ඩුවක වැඩපිළිවෙළක් නැහැ අපේ සල්ලි එළියට ගන්න. ආණ්ඩුවල වැඩපිළිවෙළක් නැහැ මේවා ජනතාව අතරේ බෙදී යන ජනතාවට ප්‍රතිලාභ ලබාගන්න ක්‍රමවලට යන්න. මේ රටේ තිබෙන ඇති නැති පරතරය නිසා ඇතිවෙලා තිබෙන දුගීභාවය නිසා තමා හිරගෙවල් පිරිලා තියෙන්නේ. සොරකම් කරන්නේ වැරදි වැඩවලට යන්නේ නොයෙකුත් සමූහ අපරාධ මංකොල්ලකෑම්වලට යන්නේ. මම පාසලක් විවෘත කරලා හිරගෙයක් වහන්න ඕන කියන කතාව කිව්වේ ඇයි? අපරාධ මංකොල්ලකෑම් කරන අය එක්කෝ අධ්‍යාපනය සම්පූර්ණයෙන්ම ලබලා නැහැ. එහෙම නැත්නම් ඉතාමත් අඩු අධ්‍යාපනයක් ලබලා තියෙන්නේ. දහම් පාසලට සමහරවිට ගිහින් නැහැ. පන්සලට බොහෝ වේලාවට සමීප වෙලා නැහැ. දෙමාපියන් බොහෝ වේලාවට දරුවන් අතහැරලා. මේ වගේ තත්ත්වයන් තුළ තමයි බරපතළ අපරාධ විදියට සිද්ධ වෙන්නේ. මේ සියලු දේ සැලකිල්ලට අරගෙනයි අපි මේ ජනාධිපති සමාව ඔබට දෙන්නේ මං මුලින් කිව්වා වගේම. යහපත් සමාජයක ඔබ රඳවා ගැනීමට අපට තිබෙන අවශ්‍යතාවය. ඔබ හිරගෙදර රඳවාගෙන සිටියේ රැඳවියන් විදියට.

නිදහස් විවෘත සමාජයක රඳවාගන්නයි අපිට අවශ්‍ය වෙන්නේ නැවත සිරගෙදරට එන්නේ නැති වෙන්න. මේ ප්‍රශ්නය මෙය බොහෝ සංකීර්ණ බරපතළ සමාජ ප්‍රශ්නයක්. මෙය ආර්ථිකය පිළිබඳව ප්‍රශ්නයක්. සමාජ විද්‍යාඥයින් විග්‍රහ කරන ප්‍රශ්නයක්. මේක ඒකපාරට වැරද්දක් කර කෙනෙක් හිරේ ගියා කියන කතාවට වඩා වෙනස් තත්ත්වයක්. ඒ නිසා මේ සියලු තත්ත්වයන් සැලකිල්ලට අරගෙන අපි මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක කරන්නේ, ඔබෙන් මා නැවත නැවතත් ඉල්ලා සිටින්නේ ඔබ අද එළියට ගොස් හොඳ කෙනෙක් වෙන්න. කිසිසේත් නරක අයට එකතු වෙන්න එපා. නැවත සිරගෙදරට එන්න එපා කියලා. ඔබ නැවත වැරුද්දක් කරලා සිරගෙදරට ආවොත්, පොලීසියට අසුවුණොත්, එදාට ඔබ නෙවෙයි බැනුම් අහන්නේ මමයි බැනුම් අහන්නේ. එදාට ඔබට සමාව දුන්න ජනාධිපතිවරයා ඔබට මතක් වේවි. ජනාධිපති කියපු විදියට අපි මේ වැරදි නොකර හිටියනම් අපි නැවත මේ තත්ත්වයට පත්වෙන්නේ කියලා හිතේවී.

බොහෝ වේලාවට රැඳවියන් විදියට බන්ධනාගාරයේ සිටින අයගේ විවිධ හැකියාවන්, දක්ෂකම් කුසලතාවයන් නිර්මාණශීලිභාවයන් තිබෙනවා. එයින් එක් කොටසක් තමයි අපි මේ වේදිකාවේ දැක්කේ. මම දැක්කා එක් කාන්තා රැඳවියක් ඇස්වලින් කඳු`ඵ හළා හළා අඬ අඬ තමයි මේ වේදිකාවේ රංගනයේ යෙදුනේ. ඇයට සිහිපත් වෙනවා ඇති ඇය කවුදැයි, ඇය කොහොමද මෙතැන්ට ආවේ, මේ වගේ වේදිකාවක රැඳවියක් විදියට රංගනයක් කරන්න ඇයගේ ජීවිතය අභාග්‍ය වෙලා කියලා ඇයට සිතෙන්න ඇති. මේ තුළ විවිධ වෘත්තීන් කරන අය ඉන්නවා. වෘත්තීය පුහුණුව දෙනවා බන්ධනාගාර දෙපාර්තමේන්තුව. වෘත්තීය අධ්‍යාපනය දෙනවා. ඔබේ නිර්මාණශීලීභාවයන් අපි දැකලා තිබෙනවා. ඔබ පොත් ලියනවා, ඒ වගේම ඔබ ඉගෙන ගන්නවා. ඒ සෑම දේකටම රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ, බන්ධනාගාරවල සිටින රැඳවියන්ට දියහැකි සෑම උදව් උපකාර කරනවා. ඒවා අපි තව තවත් ශක්තිමත් කරනවා. ඉල්ලීමක් කරලා තිබෙනවා බන්ධනාගාරයේ රැඳවියෙක් වශයෙන් සිටින ලක්මිණ ඉන්දික බමුණුසිංහ. මාව හම්බවෙන්න ඕනෙයි කියලත් තිබෙනවා. බන්ධනාගාරයේ සිට සමාජ විද්‍යා පශ්චාත් උපාධිය අවසන් කර දැනට කැලණිය විශ්වවිද්‍යාලයේ ආචාර්ය උපාධිය හැදැරිම සිදුකරනවා. පර්යේෂණ මාතෘකාව ශ්‍රී ලංකාවේ අපරාධ කල්ලිවල නව ප්‍රවණතා පිළිබඳ අධ්‍යනයක්.

2015 දී ශ්‍රී ලංකා බොක්සින් ශූරයෙකු වූ මොහු මෙම වසරේ ජාතික ශූරතා තරඟයට ඉදිරිපත් වීමට ඉල්ලා සිටිනවා. 2013 දී රිමාන්ඞ් බන්ධනාගාර ගතවෙලා ඔහුට 2015 දඬුවම් නියම වෙලා තිබෙනවා මේ තියෙන වාර්තාවේ හැටියට. අධ්‍යාපනය කවදා හෝගිය දවසට එයින් විශාල ප්‍රයෝජනයක් තිබෙනවා. මම ඒකයි මගේ ජීවිත කතාවත් ඔබට කිව්වේ. මාස 15 කට වැඩි කාලයක් අනන්ත දුක් විඳ සිරකාරයෙක් විදියට හිටිය මට ජනාධිපති වෙන්න පු`ඵවන් නම්, ඔබත් හොඳින් හිටියොත්, අධ්‍යාපනය ලැබුවොත්, වෘත්තීය අධ්‍යාපනය ලැබුවොත්, යහපත් සමාජයක හිටියොත්, ඔබත් අනාගතයේ මේ රටේ විශිෂ්ටයෙක්, හොඳ කෙනෙක් වෙනවා නොඅනුමානයි කියන ඒ සහතිකය මං ඔබට ඉතා පැහැදිලිව දෙනවා. අධිෂ්ඨානශීලී වෙන්න. ඒක භාවනාවක් වගේ උදේ සවස සිහිකරන්න. සමාලෝචනය කරන්න හිතට ගන්න.

බමුණුසිංහ මහත්මයා මගෙන් කළ ඉල්ලීම තමයි ආචාර්ය උපාධිය සඳහා අවශ්‍ය පර්යේෂණ පොත ලිවීමට මුදල් ආධාරයක් සහ 2019 වර්ෂයේ ජාතික බොක්සින් ශූරතා තරගාවලියට ඉදිරිපත් වීමට අවසර දෙන ලෙස කරන ඉල්ලීම. ආචාර්ය උපාධිය සඳහා පර්යේෂණ පොත ලිවීමට අවශ්‍ය සම්පූර්ණ මුදල ඔබට ලබාදෙනවා කියන එක මං මෙහිදී සඳහන් කරන්නට ඕන. අපිට පු`ඵවන් හෙට අනිද්දම ඒ මුදල නිදහස් කරන්න. ඒ වගේම ජාතික බොක්සින් තරගාවලියට ඉදිරිපත් වීම පිළිබඳ. තිබෙන නීතිරීති ගැන මම දන්නේ නෑ. ඒ නීතිරීති තුළ පු`ඵවන්කම තිබෙනවානම් මගේ කිසි ප්‍රශ්නයක් නැහැ මම ඒ සඳහා නිර්දේශ කරනවා ඔහුට බොක්සින් තරගාවලියට ඇතුල්වීමේ ඉඩකඩ ලබාදෙන්න කියලා ඔබ අප සියලු දෙනාම එකම මට්ටමක මනුස්සයෝ. අපේ ශරීරවල අවයව වල කිසිඳු වෙනසක් නැහැ. අපේ සිත්වල බොහෝ වෙනස්කම් තිබෙනවා. අපේ දැනුම පිළිබඳව යම් යම් වෙනස්කම් තිබෙනවා. අපේ අවබෝධය පිළිබඳව වෙනස්කම් තිබෙනවා. අපි හිත වෙනස් කරගෙන වැරදි දේවල් ජීවිතයෙන් ඈත් කරගන්න ඕන.

බුදුන්වහන්සේගේ දේශනය අනුවත් වගේම කිතුනු දේශනය හින්දු ධර්මය ඒ වගේම ඉස්ලාම් ධර්මය තුළ තියෙන යහපත් මිනිසුන් හැදීමේ උතුම් කාර්යයට අප සියලු දෙනාම එක්වෙමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින්. විශේෂයෙන්ම මේ උත්සවය සංවිධානය කිරීමේදි අධිකරණ ඇමතිතුමිය, අමාත්‍යංශ ලේකම්තුමිය ඇතු`ඵ ඒ කාර්යමණ්ඩලය, බන්ධනාගාර කොමසාරිස් ජනරාල්තුමා ඇතු`ඵ දෙපාර්තමේන්තුවේ නිලධාරීන්, මීට අනුග්‍රහය දැක්වූ සියලු ආයතන, පැමිණි මාධ්‍ය ආයතන, සියලු ආරාධිත අමුත්තන් වෙත මගේ ස්තූතිය පළ කරමින් ඔබේ ජීවිත සියලු ආකාරයෙන් සාර්ථක වේවා කියලා ආශිර්වාද කරමින්, ඔබේ ජීවිත සාර්ථක කරන්න අපි සියලුවිටම කැපවෙන බව ප්‍රකාශ කරමින් මගේ කතාව අවසන් කරනවා ස්තූතියි තෙරුවන් සරණයි.

Share This Post

NEW