ගොවිතැන අත්හළ පිරිසට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති මොරණරාගලදී කියයි

ගොවිතැන අත්හළ පිරිසට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් ගොඩනගනවා – ජනපති මොරණරාගලදී කියයි

තරුණ පරපුර වගාව අතහැර වෙනත් වෘත්තීන්ට යොමුවීම නතර වී ගොවිතැනට ආකර්ශණීය වන කෘෂි ආර්ථිකයක් මොණරාගල දිස්ත්‍රික්කයේ ගොඩනගන බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

කුඩා භූමි ප්‍රදේශයක අඩු නිෂ්පාදන පිරිවැයකින්, උසස් තාක්ෂණික ක්‍රමවේද භාවිතයෙන් වැඩි ගුණාත්මක අගයෙන් යුත් ඉහළ අස්වැන්නක් ගතහැකි කෘෂි ආර්ථිකයක් ගොඩනැගීම තම ප්‍රතිපත්තිය බව ද ජනාධිපතිතුමා කියා සිටී.

පොදුජන පෙරමුණෙන් මෙවර මහ මැතිවරණයට තරගවැද සිටින අපේක්ෂකයන්ගේ ජය තහවුරු කරනු පිණිස අද (31) මොණරාගල දිස්ත්‍රික්කයේ චාරිකාවක නිරත වෙමින් ජනාධිපතිතුමා මේ බව බව පැවසීය.

ජනාධිපතිතුමාගේ මොණරාගල දිස්ත්‍රික් චාරිකාව තණමල්විල ජාතික පාසල් ක්‍රීඩාංගණයෙන් ඇරඹිණ.

විද්‍යාලයට පැමිණි ජනාධිපතිතුමා අපේක්ෂක ශෂේන්ද්‍ර රාජපක්ෂ මහතා, විදුහල්පතිතුමා, ගුරුවරුන් සහ සිසු සිසුවියන් විසින් පිළිගනු ලැබිණ. විද්‍යාලයීය ඉතිහාසයේ පළමු වරට රාජ්‍ය නායකයෙකුගේ පැමිණීම අගයමින් සුලෝචනා සංදීපනී ශිෂ්‍යාව කතාවක් කළාය.

ගොඩනැගිලි සහ පානීය ජලය ඇතුළු අඩු පාඩු කිහිපයක් සපුරා දෙන ලෙස සිසුන් කළ ඉල්ලීම ඉටුකරන්නැයි ජනාධිපතිතුමා යුද හමුදාපතිවරයාට  දැනුම් දුන්නේය.

අපේක්ෂක ජගත් පුෂ්පකුමාර මහතා තණමල්විල පොදු ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට සහභාගී වූ ජනාධිපතිතුමා ජනතා ගැටළු විමසා බැලීය.

විශාල ගැටළුවක්ව ඇති වන අලි තර්ජනය, ඉඩම් ඔප්පු නොලැබීම, පොල්කටුවැව ඇළ ප්‍රතිසංස්කරණ අවශ්‍යතාව පිළිබඳව ජනතාව ජනාධිපතිතුමා දැනුවත් කළහ.

කිරි එළදෙනුන් පැහැරගෙන යාමේ ගැටළුව ද ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කරනු ලැබීය.

අපේක්ෂක ගයාශාන් නවනන්ද මහතා වැල්ලවාය, ඇතිලිවැව, තෙලුල්ල බෝධිරාජාරාම විහාරය අසළ ක්‍රීඩාංගණයේ සංවිධාන කළ ජන හමුවට පැමිණි ජනාධිපතිතුමා වෙත ජනතාව මහත් හරසර පුද කළහ.

සෙවණගල සීනි කර්මාන්තශාලාවේ ගබඩා පහසුකම් ප්‍රමාණවත් නොවීම, ඉඩම් බලපත්‍ර නොලැබීම, කිරිඳිඔය අසළ ඉඩම් ගැටළුව, ඇතිලිවැව ද්වීතියික පාසලේ අඩු පාඩු, ප්‍රදේශයේ විදුලි සැපයුම් ගැටළු ජනාධිපතිතුමා වෙත ඉදිරිපත් කෙරිණ.

විදුලිය සැපයුම සම්බන්ධ ගැටළු  එසැණ විසඳීමට ජනාධිපතිතුමා පියවර ගත්තේය.

 

Share This Post