ජාතික ආරක්ෂාවට අපහාස වන ප්‍රකාශවලින් වළකින ලෙස ජනපති සියලුදෙනාගෙන් ඉල්ලයි.

ජාතික ආරක්ෂාවට අපහාස වන ප්‍රකාශවලින් වළකින ලෙස ජනපති සියලුදෙනාගෙන් ඉල්ලයි.

රටේ ජාතික ආරක්ෂාවට නුසුදුසු සහ අපහාස සිදුවන ප්‍රකාශවලින් වළකින ලෙස තමා සියලු දෙනාගෙන් ඉල්ලන බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව ප්‍රකාශ කළේ ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා රෙජිමේන්තුව වෙත ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය සංකේතවත් කරමින් රණ පරශුව සහ රෙජිමේන්තු පරශුව සම්මාන ප්‍රදානය කිරීමේ උලෙළට අද (16) පෙරවරුවේ එක් වෙමිනි.

මෙම අවස්ථාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ පටු දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් මාතෘ භූමියේ සහ ජාතියේ අනාගතයට හානිවන ආකාරයේ ප්‍රකාශ කිසිවෙකු සිදු නොකළ යුතු බවයි.

රටේ ජාතික ආරක්ෂාව, නිදහස සහ ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ ආරක්ෂක අංශ ඉටුකරන මෙහෙවර මෙහි දී අගය කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඒ වෙනුවෙන් සමස්ත ජාතියම සදා ණයගැති බවයි.

පහත් පෙළේ දේශපාලන අවශ්‍යතා වෙනුවෙන් ඔවුන්ගේ එම අමිල සේවය අවතක්සේරු කිරීමට කිසිවෙකුට ඉඩ දිය නොහැකි බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා එදා හමුදාවට නායකත්වය ලබාදුන් ඇතැමුන් විසින්ම පටු දේශපාලන න්‍යාය පත්‍රවලට මුවාවී සිදුකරන එම අවිනීත ප්‍රකාශ පිළිබඳ ව දැඩිව කනගාටු වන බවද කියා සිටියේය.

රජය ආරක්ෂක අංශ සමඟ එක්ව මේ වන විට රටේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කර තිබෙන අතර යළිත් එවන් ත්‍රස්ත ක්‍රියාවකට ශ්‍රී ලංකාවේ කිසිදු ඉඩක් නොමැති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේය.

නාවුල රෙජිමේන්තු බළකා මූලස්ථානය වෙත අද පෙරවරුවේ ගිය සේනාධිනායක ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමා මහත් හරසරින් සහ අභිමානවත් අයුරින් පිළිගනු ලැබීය.

එම පරිශ්‍රයේ පිහිටි රණවිරු ස්මාරකය වෙත පළමුව ජනාධිපතිතුමා පුෂ්පෝපහාර දැක්වීය.

වීරත්වයේ සංකේතයක් වන පෞරාණික රණ පරශූ සම්මානය ප්‍රදානය කෙරුණු ඉතිහාසයේ පළමු අවස්ථාව මෙය වීම ද විශේෂත්වයකි.

විශේෂ බළකාය ජීවිත පරිත්‍යාගයෙන්, මාතෘ භූමිය ආරක්ෂා කිරීමෙහි ලා ඉටු කරනු ලැබූ අනභිභවනීය සේවය අගයනු වස් වර්ණ රෙජිමේන්තුවක් භාවිත කරනු ලබන සෑම අවස්ථාවකම ඒ හා සමානව භාවිත කළ හැකි විශේෂ ජනාධිපති රණ පරිශූ සම්මානය හා රෙජිමේන්තු රණ පරශු සම්මානය ප්‍රදානය කිරීම විශේෂ බළකායට අභිමානවත් වරප්‍රසාදයක් මෙන් ම ගෞරවයක් ලෙස සැලකේ.

මේ අතර විශේෂ බළකා රෙජිමේන්තු මධ්‍යස්ථානයේ ඉදිකෙරුණු මූලස්ථාන කාර්යාලය අද විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

සමරු ඵලකය නිරාවරණය කර කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් විශේෂ සමරු සටහනක් ද තැබීය.

ආරක්ෂක ලේකම් ජෙනරාල් ශාන්ත කෝට්ටේගොඩ මහතා සහ ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී ඇතුළු ත්‍රිවිධ හමුදාපතිවරුන් ද, විශේෂ බළකායේ මධ්‍යස්ථාන සේනාවිධායක කර්නල් චන්දිමාල් පීරිස් මහතා ඇතුළු හමුදා ප්‍රධානීහු මෙම අවස්ථාවට එක්ව සිටියහ.

ශ්‍රී ලංකා යුද හමුදා විශේෂ බළකා රෙජිමේන්තුව වෙත ජනාධිපති සහ රෙජිමේන්තු වර්ණ ප්‍රදානය සංකේතවත් කරමින් රණ පරශුව සහ රෙජිමේන්තු පරශුව ප්‍රදානය කිරීමේ උලෙළට සහභාගි වෙමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව – 2019-08-16

මා ඉතාමත් සතුටු වෙනවා මෙම අවස්ථාව සඳහා සහභාගී වෙන්න ලැබීම ගැන. ශ්‍රී ලංකා යුද හා නාවික, ගුවන්, හමුදාවන්, පොලිසියත් අවුරුදු 30 ක පමණ කාලයක් පැවති ම්ලේච්ඡ යුද්ධය අවසන් කිරීම සඳහා කරනු ලැබූ කැපකිරීම් කිසිවිටෙකත් අමතක කිරීමට පුළුවන් කමක් නැහැ. එය අපේ ඉතිහාසයේ සදාකාලිකවම සටහන් වී තිබෙනවා. අපේ රණවිරුවන් ජීවිත දහස් ගණනක් පරිත්‍යාග කරමින්, දහස් ගණනකගේ අවයව පරිත්‍යාග කරමින්, සිය ජීවිතය සහ පවුල දෙවැනි කොට සලකා මාතෘභූමියේ, භෞමික අඛණ්ඩතාවය, ඒකීයත්වය මුල් කරගෙනයි ඒ උතුම් මෙහෙවර ඉටුකරනු ලැබුවේ. අපේ රණවිරුවන් තුළ තිබෙන තීක්ෂණ ඥානය, උපක්‍රමශීලි බුද්ධිය, වීරත්වය, ආත්මශක්තිය, ධෛර්යය, වීර්යවන්තකම ජාතියේ යහපත සඳහායි. රජයත්, ජනතාවත් ඔබව සලකන්නේ ජාතික සම්පත් වශයෙන්. එහෙම සලකන්නේ ඔබ මිල කළ නොහැකි වටිනාකමින් යුත් පිරිසක් නිසයි. ඔබේ සේවය මුදල්වලින් ගණනය කරන්න බැහැ. ඔබට හිමි ගෞරවය අසීමිතයි. ඔබේ සේවය විශිෂ්ටයි. ඔබ මාතෘභූමිය හා ජනතාව වෙනුවෙන් රටේ ප්‍රජාතන්ත්‍රවාදය, නිදහස වෙනුවෙන් ඔබ කළ කැපකිරීම් කිසිවිටෙකත් දෙවැනි කොට සලකන්න පුළුවන් කමක් නැහැ.

ඒ නිසා 30 අවුරුදු යුද්ධයේ දී ජීවිත පරිත්‍යාගයෙන් සටන් කර, ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදය පරාජය කළ ඔබේ සේවය ඇගයීමට ඉතිහාසයේ පළමුවැනි වතාවට ජනාධිපති සම්මානයෙන් පිදුම් ලැබීමට හැකිවීම පිළිබඳව මා ඉතාමත් සතුටු වෙනවා. අදත් හෙටත් ඔබේ සේවය, කැපවීම ජාතියේ අනාගතය සඳහා ඉතාම අත්‍යාවශ්‍ය වෙනවා. රාජකාරියකට වඩා සිය දේශය වෙනුවෙන් ඔබේ තිබෙන්නා වූ කැපවීම ඔබ මාසිකව ලබන්නා වූ දීමනාවට වඩා දේශප්‍රේමීත්වය, ජාති මාමකත්වය, දේශ හිතෛෂීභාවය පදනම් කරගත් උතුම් සේවාවක් ඔබ ඉටු කරන්නේ.

රණ පරශුවලින් පිදුම් ලබන්නට ඔබ භාග්‍යවන්ත වන්නේ ඒ විශිෂ්ටත්වය ඔබ සැම විටම පෙන්නුම් කළ නිසයි. ඒ වගේම තිස් අවුරුදු ම්ලේච්ඡ යුද්ධය ඔබ විජයග්‍රාහී ලෙස ඓතිහාසික සටහන් තබමින් ජයග්‍රහණය කලා වගේම ගංවතුර, නියඟය, නායයාම්, සුනාමි වැනි ස්වාභාවික විපත්වලදී ඔබ සෑම කෙනෙක්ම ජීවිත පරිත්‍යාගයෙන් රට වෙනුවෙන් සහ ජනතාව වෙනුවෙන් සුබසාධනය වෙනුවෙන් ඔබ කරන්නාවූ මෙහෙවර ඉතාමත් විශිෂ්ටයි.

පසුගිය අප්‍රේල් 21 වෙනිදා ත්‍රස්තවාදී සංවිධානයක් විසින් මේ රටේ කරන ලද ඉතාමත්ම ම්ලේච්ඡ පහත් නින්දා සහගත ක්‍රියාවෙන් මේ රටේ පුරවැසියන් වගේම විදේශීකයින් ගණනාවකගේ ජීවිත අපිට අහිමි වුණා. මේ අවස්ථාවේ තිස් අවුරුදු යුද්ධය ගැන මේ රටේ ජනතාව ඉතාමත් වේදනාසහගතව සිහිපත් කරනවා වගේම, පසුගිය අප්‍රේල් 21 වෙනිදා සිදු කළ ඒ ත්‍රස්තවාදීන්ගේ ප්‍රහාර නිසා මියගිය සෑම කෙනෙකුම පිළිබඳව දැඩි ලෙස කනගාටුව ප්‍රකාශ කරනවා. අප්‍රේල් 21 සිදු වීමෙන් පසුව ඒ ත්‍රස්තවාදී සංවිධානය සම්පූර්ණයෙන්ම විනාශ කරන්න ඔවුන්ව අත්අඩංගුවට ගන්න ඔවුන්ව මර්දනය කරන්න ත්‍රිවිධ හමුදාව, පොලිසිය, බුද්ධි අංශ, සෑම කෙනෙක්ම කරන ලද කැපවීම ඉතාමත් විශිෂ්ටයි.

වර්තමානයේ අපිට වඩා සංවර්ධනය වූ අධි තාක්ෂණයෙන් යුත් යුද ශක්තිය තිබෙන සෑම අතින්ම වත් පොහොසත්කම් තිබෙන රටවල්වලත්, අප්‍රේල් 21 සිදු වූ සිද්ධි වැනි සිද්ධින් පසුගිය අවුරුදු ගණනාවක් තුළම සිදු වුණා. අදත් සිදු වෙනවා. ලංකාවේ අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව ලෝකයේ ප්‍රබල රටවල් ගණනාවක ප්‍රහාර එවැනි ත්‍රස්තවාදීන් විසින් සිදුකරනු ලැබුවා. ඒ රටවල්වලටත්, හැකියාවක් ලැබුණේ නැහැ ඉතාම කෙටි කාලයකින් තමාගේ රට තුළ ත්‍රස්තවාදී ව්‍යාපාර සම්පූර්ණයෙන් හඳුනා ගෙන ඔවුන්ව විනාශ කිරීමට. ඒ නිසා වරින් වර එවැනි සිදුවීම් බොහෝ රටවල්වල සිදුවෙන්න ගත්තා, තවමත් සිදුවෙනවා. මම මුළු මහත් ජාතියේ ගෞරවය ප්‍රණාමය ත්‍රිවිධ හමුදාවට, පොලිසියට, බුද්ධි අංශවලට ස්තූතිය පුද කරනවා මාසයක් වැනි කෙටි කාලයක් තුළ ඒ ම්ලේච්ඡ ත්‍රස්තවාදීන් හඳුනාගෙන ඔවුන් විනාශ කරලා, අවශ්‍ය අය අත්අඩංගුවට අරගෙන රටේ ජාතික ආරක්ෂාව සහතික කරන්න, ශක්තිමත් කරන්න ඔබ සෑම කෙනෙක්ම කරන ලද ඒ උතුම් මෙහෙවර පිළිබඳව.

මම ඉතාමත් කනගාටුවෙන් කිවයුතු දෙයක් තියෙනවා. ඇතැම් අවස්ථාවලදී යුද්ධයේ දී ත් හමුදාවට නායකත්වය දුන් යුද්ධය මෙහෙය වූ ඇතැම් පුද්ගලයින් අද රටේ ජාතික ආරක්ෂාව පිළිබඳව කතා කරන ආකාරය ඉතාමත් කනගාටු දායකයි. මේ රටේ ජාතික ආරක්ෂාව සහතික වී නොමැත. දුර්වල වී ඇත. ජාතික ආරක්ෂාව ගොඩනගන්නට කිසිවෙකුටත් උනන්දුවක් නැත කියන ඉතාමත් පහත් පෙළේ කතා අපිට මාධ්‍ය තුළ අහන්නට සහ දකින්නට ලැබෙනවා. මම මෙහිදී ප්‍රකාශ කරන්න ඕනෑ දේශපාලනික න්‍යාය පත්‍ර, පුද්ගලික න්‍යාය පත්‍ර තම තමන්ගේ තිබෙන දේශපාලන කුහකකම් නිසා තමයි ජාතික ආරක්ෂාව පිළිබඳව අපහාසයෙන් සහ උපහාසයෙන් ඇතැම් වගකිව යුත්තන් කතා කරන්නේ. ඔවුන් එසේ කතා කිරීම තුළ රටේ පොදු සාමාන්‍ය ජනතාව බියට පත් වෙනවා, සැකයට පත් වෙනවා. ජාතික ආරක්ෂාව පිළිබඳව ත්‍රිවිධ හමුදාවත්, පොලිසියත්, බුද්ධි අංශත් සිය වගකීම් සහ යුතුකම් ඉතාමත් ශක්තිමත්ව, කාර්යක්ෂමව, එඩිතරව, කාර්යශූරව, බුද්ධිමත්ව, විනය ගරුකව ඉටුකරන අවස්ථාවක ජාතික ආරක්ෂාව වෙනුවෙන් කැපවන ඔබේ සේවාව පහත් කොට සලකන අය පිළිබඳව මා දැඩි ලෙස කනගාටු වෙනවා.

එවැනි ප්‍රකාශ කරන අය යම් යම් දේශපාලන න්‍යාය පත්‍ර තුළයි කටයුතු කරන්නේ. නමුත් ඔබ සෑම කෙනෙක්ම දේශපාලන ව්‍යාපාරවලට අයිති අය නොවෙයි. ඔබ විශිෂ්ට වූ ජාතික සේවාවක් උදාර ලෙස ඉටු කරන පිරිසක්. ජාතියේ ස්වාධීනත්වය, භෞමික අඛණ්ඩතාව, නිදහස, ස්වෛරීත්ව, ප්‍රජාතන්ත්‍රවාදය වෙනුවෙන් කැපවී සිටින ඔබ සැම විට ම ගරු කොට සලකන්නේ ඔබේත් මගේත් මාතෘ භූමියයි. ඒ නිසා මුළු මහත් ජනාතාවගේත් රජයෙත් ගෞරවය සහ ප්‍රණාමය ඔබ සියලු දෙනාටම හිමි වෙනවා.

ජනාධිපති රණපරශු සම්මාන ලබා ගැනීමට හිමිකම් ලැබූ, ශ්‍රී ලංකා යුද හමුදාවේ විශේෂ බළකායට මම සුබ පතමින්, ඒ වගේම විශේෂ බළකාය නිර්මාණය කරන්න පුරෝගාමී විශ්‍රාමික මේජර් ජෙනරාල් ගාමිණි හෙට්ට්ආරච්චි මහතාට රජය වෙනුවෙන් විශේෂ ස්තූතිය මේ අවස්ථාවේ මා පිරිනමමින් ඔබ සියලු දෙනාටම රට වෙනුවෙන්, ජාතියේ අනාගතය වෙනුවෙන් ජාතික ආරක්ෂාව ශක්තිමත් කරමින් ඔබේත් මගේත් මාතෘ භූමිය ආරක්ෂා කිරීමට ඒ වෙනුවෙන් කළ යුතු සියලු කැප කිරීම් කරන්නට සැම විටම ශක්තිය ධෛර්ය වාසනාව ලැබේවා යි සුබ පතනවා. ස්තූතියි

ස්තුතියි

Share This Post

NEW