අප දළදා හාමුදුරුවන් ආරක්ෂා කළාට වඩා, උන්වහන්සේ මාතෘභූමිය ආරක්ෂා කළා – දළදා පෙරහර සමාප්ති උත්සවයේ දී ජනපති කියයි

අප දළදා හාමුදුරුවන් ආරක්ෂා කළාට වඩා,  උන්වහන්සේ මාතෘභූමිය ආරක්ෂා කළා – දළදා පෙරහර සමාප්ති උත්සවයේ දී ජනපති කියයි
  • පන්සලෙන්, පල්ලියෙන්, කෝවිලෙන් හදන සමාජය
    මුදලින් ගොඩනගන්න බැහැ …

      දළදා හාමුදුරුවන් වෙනුවෙන් පැවරී ඇති ඓතිහාසික වගකීම සහ යුතුකම ඉටුකරනවා …

අප දළදා හාමුදුරුවන් ආරක්ෂා කළාට වඩා, උන්වහන්සේගේ ආශිර්වාදයෙන් මාතෘභූමිය ආරක්ෂා වූ බව ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පවසයි.

ජීවමාන බුදුන් වහන්සේට දක්වන ගෞරවය ඒ ආකාරයෙන්ම දළදා හාමුදුරුවන්ටත් පුදකරන අතර, පුරාණ චාරිත්‍ර වාරිත්‍ර අනුව එය ඉටුකිරීමට බැඳී සිටින බව ජනාධිපතිතුමා කියා සිටී.

ඓතිහාසික දළදා පෙරහර මංගල්‍යය සාර්ථකව පවත්වා සමාප්ත කළ බව සැලකිරීමට මහනුවර ජනාධිපති මන්දිරයේ  අද (04) පස්වරුවේ පැවති උත්සවයේ දී ජනාධිපතිතුමා මේ බව පැවසීය.

අප දේශයේ විචිත්‍ර සංස්කෘතික මංගල්‍යය ලෙසින් පිළිගනු ලබන මහනුවර ඇසළ පෙරහර පෞරාණික චාරිත්‍රානුකූලව සාර්ථකව පවත්වා අවසන් කළ බව දැක්වෙන ඇසළ පෙරහර සංදේශය ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ප්‍රදීප් නිලංග දෑල මහතා ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

පෙරහරේ ගමන් කළ ඇත් පැටවාට ජනාධිපතිතුමා පළතුරුවලින් සංග්‍රහ කළේය.

ඇසළ පෙරහර සමාප්තිය සනිටුහන් කරමින් ජනාධිපතිතුමා මහනුවර ජනාධිපති මන්දිර පරිශ්‍රයේ නා පැලයක් ද රෝපණය කළේය.

අනතුරුව ජනපතිතුමා ශ්‍රී දළදා මාලිගාවේ දියවඩන නිලමේ ඇතුළු බස්නායක නිලමේවරු හා පෙරහරට ඍජු දායකත්වය දුන් රාජ්‍යය නිලධාරීන් සමඟ සමූහ ඡායාරූපයකට පෙනී සිටියහ.

දියවඩන නිළමේ ප්‍රදිප් නිලංග දෑල මහතා විසින් සංදේශය ඉදිරිපත් කරනු ලැබිණ.

ඇසළ පෙරහර භාරය පිටිසර දේවාල සඳහා කරන මුදල් ආධාර ප්‍රදානය ජනාධිපතිතුමා  අතින් සිදු කෙරිණ.

මධ්‍යම පළාත් ආණ්ඩුකාර ලලිත් යූ. ගමගේ මහතා  “පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය  ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

කොවිඩ් තර්ජනය හමුවේ සෞඛ්‍ය නියමයන් ආරක්ෂා කර, පුරාණ චාරිත්‍ර ඉටුකරමින් පෙරහර සාර්ථකව පවත්වා දළදා හාමුදරුවන්ට ගෞරව දැක්වීමට හැකි වූ බව ජනාධිපතිතුමා පැවසීය.

“පෙරහර අපේ අගනාම සංස්කෘතික මංගල්‍යයක්. දේශීය කලාකරුවන්ගේ දක්ෂතා සේම පාරම්පරික කලා උරුමය රැක ගැනීමට සහ ප්‍රවර්ධනයට රජය කටයුතු කරනවා” ජනාධිපතිතුමා කියා සිටියේය.

පසුගිය කාලය තුළ පෙරහර මංගල්‍යයට හිලෑ අලි ඇතුන් සපයා ගැනීම ගැටළුවක්ව තිබිණ. නැවත එවැනි ගැටළුවක් ඇති නොවනු පිණිස හිලෑ අලි අතුන් සංස්කෘතියේ සහ උරුමයේ කොටසක් ලෙස සලකන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය.

දළදා හාමුරුවන්ගේ ආශිර්වාදයට සුදුසු රටක් ජනතා අපේක්ෂාවයි. විනයගරුක රටක් ගොඩනැගීමෙන් ඒ අපේක්ෂාව මුදුන්පත් කරන බව රාජපක්ෂ මැතිතුමා පැවසීය. “සෞභාග්‍යයේ දැක්ම” දස වැදෑරුම් වැඩපිළිවෙලෙන් ගුණගරුක සමාජයක් ගොඩනැගීමට පොරොන්දු වූ බව එතුමා සිහිපත් කළේය.

මාසයක පමණ කාලයක් දිවයින පුරා කළ චාරිකාවේදී විවිධ ජන කොටස් ඉදිරිපත් කළ අවශ්‍යතා පිළිබඳව ද ජනාධිපතිතුමා සඳහන් කළේය. නිරවුල් ඉඩමක්, වගාවට සුදුසු බිමක්, ස්ථිර නිවහනක් සහ දරුවාගේ අධ්‍යාපනයට ජාතික පාසලක් ඔවුන්ගේ ප්‍රමුඛ ඉල්ලීම් විය.

පාර්ලිමේන්තුවට පත්වන මන්ත්‍රීවරුන්ගෙන් දක්ෂ කණ්ඩායමක් කැබිනට් මණ්ඩලයට තෝරා ගෙන, එකී අවශ්‍යතා අනිවාර්යයෙන්ම ඉටුකරන බව ජනාධිපතිතුමා පැවසීය. නැවත වතාවක් මෙවැනි ප්‍රශ්න ඇසීමට ඉඩ නොතබා ස්ථීර විසඳුම් දෙන බව එතුමා අවධාරණය කළේය.

අතීත රජ දරුවන් ගත් මග ගනිමින් දළදා හාමුදුරුවන් වෙනුවෙන් කළ හැකි ගරු බුහුමන් කිරීමට රාජ්‍ය නායකයා ලෙස බැඳී සිටින බවත් එතුමා කීය.

අයෝමා රාජපක්ෂ මැතිණිය ද ජනාධිපති ලේකම් පී.බී. ජයසුන්දර, අග්‍රාමාත්‍ය ලේකම් ගාමිණි සෙනරත් යන මහත්වරු  සහ රාජ්‍ය නිලධාරීන් ඇතුළු සම්භාවනීය පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

 

 

Share This Post