ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සාර්ථක ව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි.

ඓතිහාසික ඇසළ මහා පෙරහැර මංගල්‍යය සාර්ථක ව නිම කළ බවට සංදේශය ජනපතිට පිළිගන්වයි.

ලෝකවාසී බෞද්ධ ජනතාවගේ පූජනීයත්වයට පාත්‍ර වූ ශ්‍රී ලංකා රාජ්‍යත්වයේ මුදුන් මල්කඩ ලෙස සලකන මහනුවර ශ්‍රී දන්ත ධාතුන් වහන්සේ උදෙසා නොකඩවා පවත්වන වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍ය පෞරාණික චාරිත්‍රවලට ගරුකරමින් මෙවර ද සාර්ථක ව පවත්වා අවසන් කළ බවට සංදේශය, සාම්ප්‍රදායානුකූල ව දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් අද (15) පස්වරුවේ මහනුවර ජනාධිපති මන්දිරයේ දී ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

පෙරහරින් ජනාධිපති මන්දිරය වෙත පැමිණි දියවඩන නිලමේ නිලංග දෑල මහතා ඇතුළු සතර මහ දේවාලවල සහ පිටිසර දේවාලවල නිලමේවරුන්ව ජනාධිපති මන්දිරයේ ප්‍රධාන දොරටුව අභියස දී ජනාධිපතිතුමා විසින් පිළිගනු ලැබීය.

අනතුරුව දියවඩන නිලමේවරයා විසින් සාම්ප්‍රදායානුකූල ව සංදේශය ජනාධිපතිතුමා වෙත පිළිගැන්වීය.

මෙම අවස්ථාව ඇමතුූ ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා සඳහන් කළේ අපගේ අභිමානවත් සංස්කෘතියේ ප්‍රධානතම අංගය වූ මෙම ඓතිහාසික මහා සංස්කෘතික මංගල්‍යය මෙරට සිරිත් විරිත් විදහා දක්වන අධ්‍යාත්මික පූජාවක් ද බවයි.

මෙවර ද පෙරහැර මංගල්‍යය සාර්ථක කර ගැනීම වෙනුවෙන් පූර්ණ රාජ්‍ය අනුග්‍රහය ලබාදෙමින් කටයුතු කළ බව සඳහන් කළ ජනාධිපතිතුමා කියා සිටියේ ඓතිහාසික මහනුවර ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙළක් ද තම උපදෙස් පරිදි දියත් කළ බවයි.

රටේ ජාතික ආරක්ෂාව ශක්තිමත් ව තහවුරු කර සියලු ජන කොටස් අතර සාමය ද ස්ථාපිත කර ඇති මේ මොහොතේ ජාතික ආරක්ෂාව දුර්වල වී ඇති බවට ආණ්ඩුවේ ම ඇතැමුන් සිදු කරන ප්‍රකාශ පිළිබඳව ද මෙහි දී කනගාටුව පළ කළ ජනාධිපතිතුමා කියා සිටියේ පටු දේශපාලන වාසි තකා රටේ ජාතික ආරක්ෂාව පිළිබඳ අවිනීත ප්‍රකාශ සහ අනවශ්‍ය විවේචන සිදු නොකරන ලෙස තමා එම සියලුදෙනාගෙන් ඉල්ලා සිටින බවයි.

මේ හේතුවෙන් ජනතාව තුළ අනවශ්‍ය බියක් හා සැකයක් ගොඩනැගෙන අතර එය රටේ සංවර්ධනය ඇතුළු සියලු කටයුතුවලට බාධාවක් බව පෙන්වා දුන් ජනාධිපතිතුමා පටු දේශපාලන න්‍යාය පත්‍ර වෙනුවෙන් රට අරාජික කිරීමට කිසිවෙකු උත්සාහ නොකළ යුතු බව ද කියා සිටියේය.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ අප්‍රේල් 21 සිදුවීමෙන් පසුව රටේ ජාතික ආරක්ෂාව උපරිමයෙන් තහවුරු කිරීමට රජය සහ ආරක්ෂක අංශ එක්ව විධිමත් වැඩපිළිවෙළක් ක්‍රියාවට නැංවූ බවත්, ලොව අන් රටවල අත්දැකීම් සමග සසදන විට යළිත් එවන් ත්‍රස්ත සිදුවීමකට ශ්‍රී ලංකාවට මුහුණදීමට සිදු නොවූයේ එම වැඩපිළිවෙළ හේතුවෙන් බවත් ය.

ඓතිහාසික ඇසළ පෙරහැර මංගල්‍යය වෙනුවෙන් මහනුවර දිස්ත්‍රික්කයේ ආරක්ෂාව තහවුරු කිරීමට දුෂ්කරතා මධ්‍යයේ කැපවූ ත්‍රිවිධ හමුදාව ප්‍රමුඛ සියලු ආරක්ෂක අංශ වෙත කෘතවේදිත්වය පළ කිරීමට ද ජනාධිපතිතුමා කටයුතු කළේය.

පෙරහැරට සහභාගී වූ කලාශිල්පීන් වෙත සාම්ප්‍රදායානුකූල ව තිළිණ හා සම්මාන පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.
සතර මහා දේවාල සහ පිටිසර දේවාලවල සංරක්ෂණ කටයුතු සඳහා මුල්‍යාධාර පිරිනැමුණේ ද ජනාධිපතිතුමා අතිනි.
“පූජනීය දළදා සංස්කෘතිය” ග්‍රන්ථය ද ජනාධිපතිතුමා වෙත පිළිගැන්විණි.

“සිංදු” ඇත් පැටවා වෙත පළතුරු සංග්‍රහයක් සිදු කිරීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

අනතුරුව චිරාගත සම්ප්‍රදායානුකූලව ජනාධිපතිතුමා ඇතුළු නිලමේවරුන් සමූහ ඡායාරූපයකට ද පෙනී සිටියහ.

ජයන්ති සිරිසේන මැතිනිය ද, මධ්‍යම පළාත් ආණ්ඩුකාර රජිත කීර්ති තෙන්නකෝන්, උතුරු මැද පළාත් ආණ්ඩුකාර සරත් ඒකනායක, ජනාධිපති ලේකම් උදය ආර්. සෙනෙවිරත්න යන මහත්වරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මහනුවර වාර්ෂික ඇසළ මහ පෙරහැර මංගල්‍ය මෙවර ද සාර්ථක ව පවත්වා අවසන් කළ බවට දියවඩන නිලමේ තැන්පත් නිලංග දෑල මහතා විසින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා වෙත නිල වශයෙන් දැනුම්දීමෙන් අනතුරුව ජනාධිපතිතුමා කළ කතාව – 2019-08-15 දින මහනුවර ජනාධිපති මන්දිරයේ දී

මහනුවර වාර්ෂික ඇසළ මහා පෙරහැර අපගේ දේශීය සංස්කෘතියේ උදාරත්වය ලෝකයාට කියා පාන ප්‍රධානතම සංස්කෘතික අංගයයි. අපේ සංස්කෘතියේ හර පද්ධතිය බෞද්ධ සම්ප්‍රදාය සහ දර්ශනය වගේම ශ්‍රී සම්බුද්ධ ශාසනයේ උන්නතිය යි මෙයින් පිළිබිඹු වෙන්නේ. මෙම ඓතිහාසික පෙරහැර ඔබ අප කවුරුත් දන්නා පරිදි එක් පැත්තකින් සම්ප්‍රදායිකව තවත් පැත්තකින් සිරිත් විරිත් අනුව තවත් පැත්තකින් වගකීම් සහ යුතුකම් ඉටුකරමින් කරන්නා වූ මහත් ආධ්‍යාත්මික පූජාවක් විදියටයි අපි සෑම කෙනෙක්ම දකින්නේ. ඒ නිසා මේ කටයුතුවලට උදව් කළ ඇප කැප වූ සියලු දෙනාට රජය සහ ජනතාව වෙනුවෙන් මා මේ අවස්ථාවේ ස්තූතිය පිරිනමනවා.

දියවඩන නිළමේතුමාගේ කතාවේ දී වාර්තාව ඉදිරිපත් කිරීමේ දී වැදගත් අංශයක් පිළිබඳව සිහිපත් කළා. ඒ තමයි දළදා වහන්සේ මුල් කරගෙන කරන සියලු කටයුතුවල දීත් දියවඩන නිලමේතුමාගෙන් කෙරෙන රාජකාරි සහ වගකීම්වල දීත් කරන ආගමික ශාසනික හා සමාජ සේවාවන් පිළිබඳව. අපේ රටේ ඈත අඩු පහසුකම් තිබෙන ප්‍රදේශවල බෞද්ධ වෙහෙර විහාරස්ථාන සංවර්ධනය කරන්නට කරන ආධාර උපකාර පිළිබඳවත් සඳහන් කළා. නාගරික ප්‍රදේශවල තිබෙන විහාරස්ථානවලට වඩා යුද්ධය පැවති උතුරු නැගෙනහිර ප්‍රදේශවලත් වෙනත් දුෂ්කර ප්‍රදේශවලත් විහාරස්ථානවල ස්වාමීන් වහන්සේලාට අඩුපාඩුකම් රාශියක් තිබෙනවා. ජලය, වැසිකිළි, කැසිකිළි, කඩාවැටෙමින් පවතින ගොඩනැගිලි, සංඝාවාසවල අඩුපාඩු ආදිය සකස් කිරීම දළදා මාලිගාව මුල් කරගෙන කෙරෙන එම ශාසනික සේවාව මා ඉතාමත් අගය කරනවා.

මේ දළදා පෙරහැරේ කටයුතු සම්ප්‍රදායික ව විධිමත් ව, නිසි ලෙස සැලසුම් සහගතව ඉටු කිරීම සඳහා රජය විදියට අපිට දිය හැකි සහය නිසිලෙස ලබාදුන් බව මා සදඟන් කරන්න ඕනෑ. එය සෑම රජයක ම යුතුකමක්, වගකීමක්. එය සෑම රජයක් විසින්ම කළ යුතුයි. එය අපිත් නිසිලෙස ඉටුකර තිබෙනවා.

පසුගිය අප්‍රේල් 21 දා මේ රටේ සිදුවූ ත්‍රස්තවාදී ප්‍රහාරයෙන් පසුව රට තුළ ජාතික ආරක්ෂාව ශක්තිමක් කිරීම සඳහා ආරක්ෂක අංශ සමග විධිමත් ආරක්ෂක වැඩපිළිවෙළක් යොදලා තිබෙනවා. අප්‍රේල් 21 සිදුවීම වළක්වා ගැනීමට තිබූ දෙයක් වළක්වා නොගැනීම පිළිබඳවත් ඔබ සෑම කෙනක්ම දන්නවා. ඒ ගැන මම කතාකරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. නමුත් ලෝකයේ බොහෝ රටවල ත්‍රස්තවාදී පහරදීම් සිදුවීම්වල දී අපට වඩා යුද ශක්තියෙන් සවිමත්, ආරක්ෂක අංශවල බුද්ධි විශේෂඥයින් සිටිය දීත් අපි කරන ලද කාර්යය කරන්නට බොහෝ රටවලට බැරිවුණා. ඒ රටවලට නොකඩවා වසර ගණන් ත්‍රස්තවාදී ප්‍රහාර සිදුවෙනවා. යුරෝපය, ඉන්දියාව, මැලේසියාව, සිංගප්පූරුව, ඔස්fටි්‍රලියාව මෙවැනි ප්‍රහාරවලට ලක්වුණා. ඇමරිකාවත් ඇතුළු ව බලවත් රටවල්වලටත් වරින් වර ත්‍රස්තවාදී ප්‍රහාර එල්ල වුණා.

අපේ රටේ අප්‍රේල් 21 දා ප්‍රහාරයෙන් පසුව ලෝකයේ රටවල් 04කට මේ ත්‍රස්තවාදී ව්‍යාපාරය පහරදීම් සිදුකළා. නමුත් අපේ ත්‍රිවිධ හමුදාව, පොලීසිය, බුද්ධි අංශවල තිබෙන හැකියාව, කැපවීම, තීක්ෂණ බුද්ධිය උපක්‍රමිකභාවය මුල් කර ගෙන අපිට පුළුවන්කම ලැබුණා ඒ ත්‍රස්තවාදී ව්‍යාපාරය සම්පූර්ණයෙන් නැතිකරන්නට. ඊට සම්බන්ධ සියලුදෙනා අත්අඩංගුවට ගන්න පුළුවන්කම ලැබුණා. ඒ පිළිබඳ පරීක්ෂණ ඉතා සාර්ථක ව කරන්න පුළුවන්කම ලැබුණා.

නමුත් අපේ රටේ යහපත් දේ වගේම අයහපත් දේ තිබෙනවා. මේ ජාතික ආරක්ෂාව වඩා විධිමත් ලෙස පවත්වාගන තිබෙන මේ අවස්ථාවේත් එක් එක් දේශපාලනඥයින් කරන වාචාල කතා නිසා රටේ ජනතාවට ජාතික ආරක්ෂාව පිළිබඳව සැකයක් මතුව තිබෙනවා. මහනුවර ඓතිහාසික මහා පෙරහැරේ ආරක්ෂාව පිළිබඳව පොලීසීය හා ත්‍රිවිධ හමුදාව කටයුතු කරන්න පටන් ගත්තේ මීට මාස දෙකකට පෙරයි. එහි දී ත්‍රිවිධ හමුදාවේ ප්‍රධානීන් වගේම මාසයක් හමාරක් කැලෑවල ගස් ගල් අස්සේ නින්දක් නැතිව වතුර ටිකක් නැතිව දුක් විඳපු ආරක්ෂක අංශවල පහළ ශේ්්‍රණිවල සාමාජිකයින්ට මම විශේෂ ස්තූතියක් පිරිනමනවා. ඔවුන් රජය සහ ජනතාව වෙනුවෙන් විශාල දුකක් වින්දා මේ ආරක්ෂක කටයුතුවල දී. ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේ දී ත්‍රිවිධ හමුදාවේ සහ පොලීසියේ සේවය කරන පහළ ශ්‍රේණියේ නිලධාරීන් පැය ගණන් මහපාරේ හිටගෙන ඉන්නවා. වෙලාවට කන්න නැහැ. වතුර නැහැ. නින්ද නැහැ. අසනීපයක නිවාඩුවක් ගන්න නැහැ. ඒ විදියට ඒ කටයුතු ඉටු කරනවා. අපි ජාතික ආරක්ෂාව පැහැදිලිව ශක්තිමත් කරලා තියෙන වෙලාවට විපක්ෂයේ නෙවෙයි රජයේ ම ඇතැම් මැති ඇමතිවරු රටේ ජාතික ආරක්ෂාව දුරවලයි කියලා අදත් කියනවා. මම දැක්කා ඊයේ පොර්දා ආණ්ඩුවේ මන්ත්‍රීවරයෙක් කියනවා ත්‍රස්තවාදීන් සියයට පනහක් විතර නිදැල්ලේ ඉන්නවා කියලා.

ජාතික ආරක්ෂාව පිළිබඳව කරන අනවශ්‍ය විවේචන රටේ සංවර්ධනයට මොනතරම් අහිතකර විදියට බලපානවාද. තම තමන්ගේ පෞද්ගලික න්‍යාය පත්‍ර, පටු දේශපාලන අදහස්, දේශපාලන කුහකකම් මේවාත් එක්ක තමයි මේ කතා කියන්නේ.

මේ තුළ එක පැත්තකින් අනවශ්‍ය බියක් ජනතාව තුළ ඇතිවෙනවා. තමුන්නාන්සේලා පිළිගනීද නැද්ද මම දන්නේ නැහැ, මෙවර දළදා පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව යම් ප්‍රමාණයකට අඩුයි. පෙරහැර නැරඹීමට පැමිණි ජනතාව යම් ප්‍රමාණයකට අඩුවුණේ ආරක්ෂක අංශවල දුර්වලකමක් නිසා නෙවෙයි, දේශපාලනඥයින් කිහිප දෙනෙක් අනවශ්‍ය විදියට මාසයක් හමාරක් පාර්ලිමේන්තුවෙත් කතා කළා. පෙරහැර පිළිබඳවත් අනවශ්‍ය විදියට කතා කළා, ආණ්ඩුවේම අය. ඊයේ පෙරේදා කරපු ප්‍රකාශ අහන්න දකින්න ඇති. ඒ වගේ කරුණුවල දී ආරක්ෂක අංශවල යම් ගැටලු සහ ප්‍රශ්න තිබෙනවා නම් ඒවා කතාකළ යුතු යම්කිසි ක්‍රමයක් තියෙනවා. නමුත් කිසිම වගකීමක් නැතිව මේ විදියට කතා කිරීම තුළ එක් පැත්තකින් ජනතාව තුළ භීතියක් ඇතිවෙනවා. අවිශ්වාසයක් ඇතිවෙනවා. අනෙක් පැත්තෙන් රටේ සංවර්ධන අංශ අඩපණ වෙනවා. සංචාරක ව්‍යාපාරය දුර්වල වෙනවා.

අප්‍රේල් 21 සිද්ධීන් එක්ක සංචාරක ව්‍යාපාරය සම්පූර්ණයෙන් ඇදවැටිලා තිබුණේ. නමුත් මේ වනවිට යහපත් තත්ත්වයට වේගයෙන් පැමිණෙනවා. දැන් හොඳට සංචාරකයින් එනවා. පසුගිය මාසේ ඔබ දැක්කා ලෝකයේ සංචාරකයින් සඳහා සුදුසු ආරක්ෂිත ප්‍රදේශයක් විදියට ශ්‍රී ලංකාව ජාත්‍යන්තර සංවිධානවලින් නම් කරා. නමුත් මේ දේශපාලන න්‍යාය පත්‍රත් එක්ක ජාතික ආරක්ෂාව පිළිබඳව කරන අයහපත් අවිනීත ප්‍රකාශ රටට ඉතාමත් අහිතකරයි. සංවර්ධනයට අහිතකරයි. ඒ වගේම සාමාන්‍ය ජනතාවගේ ජන ජීවිතයට අහිතකරයි. මේ තත්ත්වයන් පසුගිය මාස කිහිපය තුළ ඔබ දැක්කා.

අපේ පොලීසිය, බුද්ධි අංශ සහ ත්‍රිවිධ හමුදාවට පළමු මාසයේ දී ඒ සියල්ල අවසන් කරන්න හැකියාව ලැබුණා. ත්‍රස්තවාදීන් සොයා ගන්න, උපකරණ සොයා ගන්න, ඒ සංවිධානයේ කටයුතු වළක්වා ගන්න පුළුවන්කම ලැබුණා. නමුත් කටකතා සහ දේශපාලන වශයෙන් වාසි තකා කරන දේවල්, පාසල් දරුවෝ පාසල්වලට යවන්න එපා කියලා කියපු දේවල් ඉතාමත්ම අහිතකරයි. ඒ නිසා කවුරුහරි රට ගැන හිතනවා නම් තමන්ගේ දේශපාලන න්‍යාය පත්‍ර වෙන්න පුළුවන්, පෞද්ගලික දේශපාලන කුහකකම් වෙන්න පුළුවන්, ඒවා හකුළා ගෙන රට වෙනුවෙන් තමාගේ වගකීම් ඉටු කරන්න කටයුතු කිරීම ඉතා වැදගත්. ඒ නිසා එවැනි අනවශ්‍ය කතා නොකළා නම් මම දන්නවා පෙරහැරේ කටයුතු වෙන දා වගේම අති විශාල ජනතාවක් සහභාගි වෙනවා. ආණ්ඩුවේ ම ඇතැම් අයගේ ප්‍රකාශ නිසා තමයි ජනතාවට පණිවුඩයක් ගියේ බියක් සැකක් ඇතිවුණේ පෙරහැරට යනවද නොයනවද කියලා. එවැනි පසුබිමක මේ පෙරහැරේ කටයුතු ඉතාමත් සාර්ථකව ඉටු කිරීමට ලැබීම පිළිබඳව සහය දැක්වූ සියලු දෙනාට මාගේ ස්තූතිය පිරිනමමින් ඔබෙන් සමුගන්නවා.

ස්තූතියි.

Share This Post

NEW