සීෂෙල්ස් – ශ‍්‍රී ලංකා සබඳතා ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතින බව ජනපති පවසයි.

සීෂෙල්ස් – ශ‍්‍රී ලංකා සබඳතා ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතින බව  ජනපති පවසයි.

සීෂෙල්ස් – ශ‍්‍රී ලංකා සබඳතා මේ වන විට ශක්තිමත්ව වර්ධනය වෙමින් පවතින බව ජනාධිපතිතුමා පවසයි.

සංවර්ධනය කරා ගමන් කරමින් සිටින රටවල් ලෙස එම සහයෝගීතාව මඟින් ලැබෙන ප‍්‍රතිලාභ දෙරටේම ජනතාවගේ යහපත උදෙසා හේතු වනු ඇති බව ද ජනාධිපතිතුමා සඳහන් කළේ ය.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ සීෂෙල්ස්හි වෙසෙන ශ‍්‍රී ලාංකිකයන් සමග ඊයේ (09) පස්වරුවේ පැවති හමුවකදී ය.

සීෂෙල්ස්හි විවිධ ක්ෂේත‍්‍රවල සේවය කරන ශ‍්‍රී ලාංකික වෘත්තීයවේදින්, අධ්‍යාපනය ලබන සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටි අතර ඔවුන් සියලුදෙනා ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාව ඉතා ගෞරවයෙන් පිළිගනු ලැබූහ.

මෙහිදී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍ය අතර පවතින සහයෝගීතාව තවදුරටත් වර්ධනය කර ගැනීම පිළිබඳව මෙන්ම නව ආර්ථික සහ වෙළෙඳ සබඳතා ඇතිකර ගැනීම පිළිබඳ තම දෙදින රාජ්‍ය සංචාරයේ දී වැදගත් තීන්දු තීරණ රැසකට එළැඹුණු බව යි.

සියලු රාජ්‍යයන් සමග සහයෝගිතාව ඉහළ නංවා ගනිමින් ශ‍්‍රී ලංකා මාතෘ භූමියේ සහ ජනතාවගේ අභිවෘද්ධිය වෙනුවෙන් ප‍්‍රතිලාභ ලබා ගැනීම තම අරමුණ බව ද ජනාධිපතිතුමා මෙහිදී ශ‍්‍රී ලාංකිකයන් අමතමින් වැඩිදුරටත් සඳහන් කළේ ය.

සීෂෙල්ස් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණශාලා මධ්‍යස්ථානයේ දී මෙම හමුව සිදු වූ අතර සීෂෙල්සිහි ශ‍්‍රි ලංකා මහකොමසාරිස් කාර්යාලයේ නිල වෙබි අඩවිය විවෘත කෙරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

සීෂෙල්ස් බෞද්ධ සංගමයේ වෙබ් අඩවිය ද ජනාධිපතිතුමා අතින් විවෘත කෙරිණි.

පසුගිය 30 වසරක කාලය තුළ සීෂෙල්ස් රාජ්‍යයේ වාසය කරමින් ශ‍්‍රී ලංකාව සහ සීෂෙල්ස් රාජ්‍යය අතර ඇති සබඳතා ශක්තිමත් කරගැනීමට දායකත්වය සැපයූ ශ‍්‍රී ලාංකික වෘත්තීයවේදින් ඇගැයීමට ලක් කරමින් ඔවුන් වෙත සමරු තිළිණ පිළිගැන්වීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

ජනාධිපතිතුමාගේ සීෂෙල්ස් සංචාරය සිහිපත් කරමින් සීෂෙල්ස්හි ශ‍්‍රී ලාංකීය එකමුතුව විසින් ජනාධිපතිතුමා වෙත ද විශේෂ සිහිවටන තිළිණයක් පිළිගැන්වි ය.

අමාත්‍ය ලක්ෂ්මන් සෙනෙවිරත්න, රාජ්‍ය අමාත්‍යවරුන් වන පියසේන ගමගේ, මොහාන් ලාල් ගේ‍්‍රරු යන මහත්වරුන් ද සීෂෙල්හි ශ‍්‍රී ලංකා මහකොමසාරිස් ටිකිරි හේරත් ගුණතිලක මහතා ඇතුළු පිිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියහ.

සීෂෙල්ස් රාජ්‍යයේ වෙසෙන ශ‍්‍රී ලාංකිකයින් හමුවී ජනාධිපතිතුමා කළ කතාව (2018-10-09 සීෂෙල්ස් ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලා මධ්‍යස්ථානය)

සීෂෙල්ස් රජයේ ආරාධනය පරිදි මෙහි පැමිණ අද ඔබ සියලු දෙනා හමුවීමට ලැබීම පිළිබඳව මා සතුටට පත්වෙනවා. සීෂෙල්ස් හා ශ‍්‍රී ලංකා ද්වී පාර්ශ්වික සබඳතා මේ මාසයට වසර 30 ක් සම්පූර්ණ වෙනවා. ඒ නිසා මෙහි ජනාධිපතිතුමා මා වෙත කරන ලද ආරාධනය අනුවයි මා පැමිණියේ. විවිධ ක්ෂේත‍්‍ර හරහා ඇති කරගන්නා සබඳතාවන් පිළිබඳව ද්වී පාර්ශ්වික සබඳතා ශක්තිමත් කරගත්තා. එයින් ඉතාමත් සාර්ථක ප‍්‍රතිඵල රාශියක් අප ලබාගත්තා. ස්වාභාවික සම්පත්වලින් අනූන මේ සුන්දර රාජ්‍යය තුළ සේවය කරන නීති, අධ්‍යාපන, සෞඛ්‍ය, වාණිජ්‍ය ආදී විවිධ ක්ෂේත‍්‍රවල ව්‍යාපාරිකයන්, විද්වතුන් වාසනාවන්ත පිරිසක් කියා මා විශ්වාස කරනවා. ශ‍්‍රී ලාංකිකයෙක් ලෝකයේ කොහේ හෝ රටක තම දැනුම, බුද්ධිය, පරිණතභාවය සහ අත්දැකීම් ලෝකයේ තවත් සමාජයකට ලබා දෙනවා නම් එය ඔබෙත් මගෙත් මාතෘභූමිය වෙනුවෙන් කරන්නා වූ උතුම් මෙහෙවරක් වගේම එය රටට ගෞරවයක්. ඒ සේවය ඔබ මෙහි සිට කරනවා. එයට මම සුබපතනවා, ආශිර්වාද කරනවා. මෑත වර්ෂ කිහිපය තුළ ශ‍්‍රී ලංකා රජය සහ සීෂෙල්ස් රාජ්‍ය අතරේ ඇති කර ගත් සම්බන්ධතාවයන් මේ වනවිට වර්ධනය වෙමින් පවතිනවා. ඒ පිළිබඳ අපි ඉතාමත් සතුටු වෙනවා. සංවර්ධනය වෙමින් පවතින රාජ්‍යයක් විදියට සීෂෙල්ස් ඉතාමත් රමණීය, ගෞරවනීය රාජ්‍යයක්. මෙහි පැමිණි අවස්ථාවේ සිට සීෂෙල්ස් රජය අප වෙත දැක්වූ පිළිගැනීම ඉමහත් ගෞරවය පිළිබඳව මා සතුට ප‍්‍රකාශ කරනවා.

අපි ඊයේ ප‍්‍රධාන වශයෙන් අධ්‍යාපන, සෞඛ්‍ය, කෘෂිකර්ම, ධීවර, තාක්ෂණ, සංචාරක හා ආරක්ෂක සේවාවන් පිළිබඳ දෙරටේ සබඳතා ශක්තිමත් කර ගැනීම පිළිබඳව සාකච්ඡා කළා. පසුව ඒ පිළිබඳ ඵලදායී තීරණ රාශියක් ගනු ලැබුවා. ඒ වගේම ඊයේ අපි සීෂෙල්හි තරුණ උගත් දරුවන්ට වෘත්තීය අධ්‍යාපනය සඳහා අපේ රටේ ශිෂ්‍යත්ව 10 ක් ලබාදීමට එකඟ වුණා. ඔබ දන්නවා අපේ රටේ පැරණි උසස් වෘත්තීය පුහුණු ආයතනයක් වන ජර්මානු කාර්මික අධ්‍යාපන ආයතනය. සෑම වසරකම විභාගයක් පවත්වලා තමයි දරුවන් ඒ ආයතනයට බඳවා ගන්නේ. එහි වසර 4 ක් වෘත්තීය අධ්‍යාපනය ලබාදෙනවා. ඒ වෘත්තීය අධ්‍යාපනය ලබන දරුවන් 90% ක් ම විදේශ රටවල සේවය සඳහා යනවා. එහි පුහුණු වන ශ‍්‍රී ලාංකික තරුණ උගත් දරුවන් වැඩි පිරිසක් ඕස්ටේ‍්‍රලියාවේ තමයි සේවය කරන්නේ. ඒ අනුව අපි කිව්වා සීෂෙල්ස්හි තරුණ දරුවන්ට සෑම වර්ෂයකම අපි ශිෂ්‍යත්ව දහයක් ලබා දෙනවා කියා.

ඊයේ සාකච්ඡාවේ දී ආරක්ෂිත වෙරළ ආරක්ෂක බෝට්ටුවක් අපෙන් ඉල්ලා සිටියා. ශ‍්‍රී ලාංකිකයන් විදියට ඔබ දන්නවා, අපේ නාවික හමුදාවේ ඉංජිනේරු අංශය තාක්ෂණික අංශය උසස් තත්ත්වයේ ආරක්ෂක බෝට්ටු නිෂ්පාදනය කරනවා. එල්.ටී.ටී.ඊ. යුද්ධය පැවැති කාලයේ ඔවුන්ගේ මුහුදු යාත‍්‍රා මඟින් ඉතාම වේගවත් ප‍්‍රහාර එල්ල වන විට ඊට මුහුණ දීම සඳහා අපේ නාවික හමුදාව ආරක්ෂිත තාක්ෂණික බෝට්ටු නිෂ්පාදනය කළා. එම ඉල්ලීම ගැන නාවික හමුදාපතිවරයා සමඟ කළ සාකච්ඡාවේ දී ඔහු කියා සිටියා මාසයක් ඇතුළත අපිට එම බෝට්ටු දෙක ලබා දීමේ හැකියාව තිබෙන බව. සීෂෙල්ස්හි වෙරළ ආරක්ෂක කටයුතු සඳහා ඉතාමත් වටිනා තාක්ෂණික, ආරක්ෂිත වෙරළ ආරක්ෂක බෝට්ටු දෙකක් අපි මාසයක් ඇතුළත සීෂෙල්ස් රජයට ලබා දෙනවා.

එමෙන්ම ඔවුන් ඉල්ලා සිටියා සංචාරක ව්‍යාපාරය වැඩිදියුණු කිරීම, අධ්‍යාපන ක්ෂේත‍්‍රය සහ සෞඛ්‍ය අංශ වර්ධනය සඳහා දායකත්වය ලබා දෙන්න කියලා. මේ වන විටත් අපේ ලංකා හොස්පිටල් ශාඛාවක් මෙහි ආරම්භ කර තිබෙනවා. එමෙන්ම ප‍්‍රතිකාර සඳහා මෙහි විශාල පිරිසක් ශ‍්‍රී ලංකාවට යනවා. ඒ තුළ සෞඛ්‍ය ක්ෂේත‍්‍රයේ දෙරට අතරේ සම්බන්ධතාවයන් වර්ධනය කර ගැනීමට අවශ්‍ය තීන්දු තීරණ රාශියක් අපි ගත්තා. ඒ අනුව මම අපේ විදේශ කටයුතු අමාත්‍යාංශයට උපදෙස් දෙනවා මේ සියලු ක්ෂේත‍්‍ර සම්බන්ධයෙන් ඉදිරි කටයුතු වඩාත් සාර්ථකව සිදුකර ගන්න කියලා.

වසර දහස් ගණනක අභිමානවත් ශ්‍රේෂ්ඨ ඉතිහාසයක් තිබෙන ඔබෙත් මගේත් මාතෘ භූමියේ ශ‍්‍රී ලාංකිකයන් විදියට ඔබ මෙහි පැමිණ කරන සේවාවන්හි වටිනාකම ඔබට වගේම අපටත් දැනෙනවා. මානව ශිෂ්ටාචාරයේ ශ‍්‍රී ලාංකික ඉතිහාසය පිළිබඳව කොතනින් කොහෙන් ආරම්භ කළා ද යන්න තවමත් අපේ ඉතිහාසඥයන්ට සොයා ගැනීමට නොහැකි වූ දෙයක් බව ඔබ දන්නවා. ලෝකයේ අධි තාක්ෂණය දියුණුව තිබෙන ධනවත් රටවලට වර්ෂ 400,500,600,700 ක් වැනි කාල සීමාවක ඉතිහාසයක් තිබෙන්නේ කියා ඔබ දන්නවා. නමුත් ඔබෙත් මගෙත් මාතෘ භූමිය වසර දහස් ගානක ඓතිහාසික කතාවක උරුමකරුවන් බව අප කවුරුත් දන්නවා. එම ශ්‍රේෂ්ඨ ඉතිහාසයෙන් පැවත එන ශ‍්‍රී ලාංකිකයන් විදියට ඔබේත් මගේත් මාතෘ භූමියේ ගෞරවය සමඟ ඔබ මේ කරනු ලබන සේවාවන් නැවත නැවතත් අගය කරනවා. අපේ තානාපතිතුමා සහ මහ කොමසාරිස්තුමා ඇතුළු එම කාර්ය මණ්ඩලය මෙහි සිට කරන සේවය මා ඉතාමත් අගය කරනවා. අපේ උතුම් මෘතෘ භූමියත් ඔබ සේවය කරන ගෞරවනීය සීෂේල්ස් රාජ්‍යයේත් මානව සමාජයේ අනාගතය වෙනුවෙන් අපි සියලු දෙනාම සාමූහිකත්වයෙන් බැඳී කටයුතු කරමු යන ඉල්ලීම කරමින් ඔබ සියලු දෙනාට මගේ ගෞරවනීය ස්තූතිය, ආශිර්වාදය සහ ප‍්‍රණාමය පුදකරමින් ඔබෙන් සමුගන්නවා.

තෙරුවන් සරණයි.

 

Share This Post

NEW