විනයගරුක දරු පරපුරක් වෙනුවෙන් ගුරුවරයා සතු කාර්ය භාරය අසීමිත බව ජනාධිපතිතුමා පවසයි.

විනයගරුක දරු පරපුරක් වෙනුවෙන් ගුරුවරයා සතු කාර්ය භාරය අසීමිත බව ජනාධිපතිතුමා පවසයි.

දරුවාගේ විනය පාලනය පාසල තුළින් සිදුවීම අපේ රටේ සම්ප්‍රදායිකව සිදු වූ නමුත් අද මානව හිමිකම් අනිසි ලෙස ගුරු භූමිකාවට මැදිහත්වීම යහපත් අනාගත පරපුරක් ගොඩනැගීමේ කාර්යයේ දී අභියෝගයක් වී ඇති බව ජනාධිපතිතුමා පවසයි.

කලාතුරකින් වූ වැරුද්දක් හේතුවෙන් ගුරුවරුන් දරුවන්ට දඬුවම් ලබාදීම පිළිබඳ සමාජය තුළ විවිධ මත පළ වුව ද යහපත් සහ ගුණ ගරුක සමාජයක් පිළිබඳ ගුරුවරයා සතු කාර්ය භාරය අසිමීත බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේය.

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා මේ බව සඳහන් කළේ මාතර, කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට අද (11) පෙරවරුවේ එක්වෙමිනි.

මෙහි දී අදහස් දැක්වූ ජනාධිපතිතුමා වැඩිදුරටත් සඳහන් කළේ දරුවාට නිවසින් මෙන් ම පාසලෙන් ද නිසි මඟ පෙන්වීම, ආදරය සහ රැකවරණය හිමි විය යුතු අතර එසේ නොවන විට දරුවන් මත්ද්‍රව්‍ය භාවිතය, අපරාධ වැනි සමාජ විෂමාචාරවලට යොමුවන බවයි.

අද පෙරවරුවේ කොකාවල මධ්‍ය මහා විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා එහි සිසු දරුවන් විසින් මහත් හරසරින් පිළිගත්තේ ය.

“ළඟම පාසල හොඳම පාසල” ජාතික වැඩසටහන යටතේ විද්‍යාලයේ ඉදිකෙරුණු ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථාන ගොඩනැඟිල්ල සිසු අයිතියට පැවරුණේ ද ජනාධිපතිතුමා අතිනි.

ගොඩනැගිල්ල සිසු අයිතියට පැවරූ ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක නිරත වෙමින් ප්‍රාථමික ඉගෙනුම් සම්පත් මධ්‍යස්ථානයේ සිසු ක්‍රියාකාරකම් දැක බලා ගැනීමට ද එක් විය.

විදුහලේ හිටපු විදුහල්පතිවරයෙක් සහ ගුරු මැණිවරියක වන එමෙන්ම ජනාධිපති ගරු මෛත්‍රිපාල සිරිසේන මැතිතුමාගේ ද මුල් ගුරුවරුන් වන සිරිසේන විජේසිරිවර්ධන සහ කුසුමා විජේසිරිවර්ධන ගුරු පියාණන්ගේ සහ මෑණියන්ගේ ඡායාරූපවලට පුෂ්පෝපහාර දැක්වීම ද මෙහි දී ජනාධිපතිතුමා අතින් සිදු විය.

මේ අතර විද්‍යාලයේ ආදි සිසු සංසදය මගින් ඉදිකිරීමට යෝජිත අංග සම්පූරණ ක්‍රීඩා මණ්ඩපය සඳහා මුල් ගල් තැබීම ද ජනාධිපතිතුමා අතින් සිදු විය.

එහි ඉදිකිරීම් වෙනුවෙන් මුල්‍ය පරිත්‍යාගයක් ද ජනාධිපතිතුමා විසින් සිදු කළේ ය.

මාතර හම්බන්තර දෙදිසාවේ අධිකරණ සංඝනායක, පුහුල්වැල්ල, කිරින්ද පූර්වාරාම පිරිවෙන් විහාරාධිපති ශාස්ත්‍රවේදී පූජ්‍ය අපරැක්කේ හිමරතන නායක ස්වාමින් වහන්සේ ද, ආණ්ඩුකාර රජිත් කීර්ති තෙන්නකෝන්, දකුණු පළාත් අධ්‍යාපන අමාත්‍ය චන්දිම රසපුත්‍ර, දකුණු පළාත් අමාත්‍ය මනෝජ් සිරිසේන, විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන යන මහත්වරුන් ඇතුළු පිරිසක් ද, විදුහල්පති ආර්.එම්.ආර්. බණ්ඩාර මහතා ඇතුළු ආචාර්ය මණ්ඩලය, දෙමාපියන්, ආදි සිසුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

මාතර කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ සියවස් සමරු උත්සවයට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව – 2019-03-11

මා ඉතාමත් සතුටු වෙනවා කොකාවල මධ්‍ය මහා විද්‍යාලයට වසර 100 ක් පිරෙන අවස්ථාවට ඔබ සමඟ එක්වීමට ලැබීම පිළිබඳව. මා මුලින් ම පොළොන්නරුවේ සිට මාතරට පැමිණියේ සිරිසේන විජේසිරිවර්ධන මැතිතුමා සමඟ. එතුමා මුහුද පෙන්වන්න මාව මාතර එක්කගෙන ආපු දවසේ තමයි මම මුලින්ම මාතරට ආවේ. එදා අපි පුංචි දරුවෝ. සිරිසේන විජේසිරිවර්ධන මැතිතුමා එවකට පොළොන්නරුවේ අපේ පාසල වූ ලක්ෂ උයන කනිෂ්ඨ විද්‍යාලයේ විදුහල්පතිවරයා. එම මැතිණියත් අපේ ගමේ පාසලේ සේවය කළේ. මගේ පියා ගමේ ගම්මුලාදෑනිතුමා, ආරච්චි මහත්මයා. මාතර පැත්තේ කිව්වේ වෙල්විදානේතුමා කියලා. මීට වසර 50කට එහා ග්‍රාමීය සංස්කෘතිය අද වගේ නාගරික සංස්කෘතියෙන් ගිලගෙන තිබුණේ නැහැ. අද නාගරික සංස්කෘතියේ තිබුණු සියලුම අයහපත් දේවල් ග්‍රාමීය සංස්කෘතියට එකතුවෙලා තියෙනවා. ඒ කාලේ පන්සලේ හාමුදුරුවෝ, වෙද මහත්තයා, ආරච්චි මහත්තයා, විදුහල්පතිතුමා, ගමේ විදාන මහත්තයා තමයි ගම පාලනය කළේ, ගම බලාගත්තේ, ගම රැකගත්තේ. ඒ කාලේ ගමේ ලොකු සිදුවීම් වුණේ නැහැ. ස්ත්‍රී දූෂණ, මංකොල්ලකෑම්, මිනීමැරුම්, ළමා අපචාර අපේ සංස්කෘතියේ එදා තිබුණේ නැහැ. පොලීසියෙන් ගමට ආවේ ඉතාමත් කලාතුරකින්. පොලීසියේ රාළහාමි කෙනෙක්ගේ නිල ඇඳුම බලාගන්න එදා මාස හයකට සැරයක්වත් ලැබෙන්නේ නැහැ. ගම බලාගත්තේ මම කියපු අය තමයි. අපේ ගමට නායකත්වය දුන්නේ මම කියපු සිරිසේන විජේසිරිවර්ධන විදුහල්පතිතුමා.

මගේ මතකයේ හැටියට එතුමා පොළොන්නරුව ලක්ෂඋයන පාසලේ වසර 9 ක් විතර සේවය කළා. ඒ වගේම මගේ මතකයේ තිබෙනවා එතුමා පොළොන්නරුවෙන් ස්ථාන මාරුවීම අරගෙන මාතරට පැමිණෙන විට මුළු ගමක් හඬා වැළපුණ හැටි. පාසල් දරුවෝ මොනතරම් ඇඬුවද කියලා මගේ මතකයේ තියෙනවා. ඒ කාලේ පොළොන්නරුවේ ඉඳලා කොළඹ එන්නේ කෝච්චියේ. අද වගේ පොදු ප්‍රවාහන සේවය ශක්තිමත් වෙලා තිබුණේ නැහැ. පුද්ගලික බස් තිබුණේ නැහැ. අපේ ගම්වල පාරවල් තාරදාලා තිබුණේ නැහැ. කාපට් කරලා තිබුණේ නැහැ. විදුලිය තිබුණේ නැහැ. කුප්පි ලාම්පුවලින් තමයි ගෙවල් එළිය කළේ. අපේ ගම්වල ඒ සුන්දර පරිසරයේ අපි හැදුණේ වැඩුණේ. එදා සිරිසේන විජේසිරිවර්ධන මැතිතුමා අපේ පාසලෙන් සමුගෙන මාතර එන්න දුම්රියෙන් එද්දී මුළු ගමම පාර දෙපැත්තේ සිට අත වනපු හැටි, අඬපු හැටි, දුක් වුණ හැටි මගේ මතකයේ තිබෙනවා.

පස්සේ කාලෙ මම කෘෂිකර්ම ඇමති හැටියට සිරිසේන විජේසිරිවර්ධන මැතිතුමාට පොළොන්නරුවට ආරාධනා කරලා දෙතුන් දහසක් ඉන්න විශාල උත්සවයක් පවත්වලා මගේ ගුරුතුමාට මම උපහාර පැවැත්වුවා. සිළුමිණ පුවත්පතේ මුල් පිටුවේ එක්තරා ඉරිදාවක මම මගේ විදුහල්පතිතුමාට දණ ගහලා වඳින හැටි මුල් පිටුවේ පළ වුණා. පත්තරයක කතුවැකියක් ලියලා තිබුණා කැබිනට් ඇමතිවරයෙක් තමාගේ ගුරුතුමාට දණගහලා වඳිනවා. මේ වගේ ඇමතිවරු කීදෙනෙක් මේ රටේ ඉන්නවාද කියලා කතුවැකියක් ලියලා තිබුණා.

අද ගුරුවරයාට දරුවන්ට දඬුවම් කරන්න බැහැ. කන මිරිකන්න බැහැ. අතක් අල්ලලා පොඩ්ඩක් රිදවන්න බැහැ. පිටට තට්ටුවක් දාන්න බැහැ. ඔලුවට ටොක්කක් අනින්න බැහැ. එහෙම වුණොත් පොලීසියට යනවා. පැමිණිලි දානව, මානව හිමිකම් නිලධාරීන්, ගුරුවරුන් උසාවියට ගෙන යනවා. බොහොම කලාතුරකින් ගුරු මෑණිකෙනෙක් ගුරු පියතුමෙක් අතින් වැරැද්දක් වෙනවා ඇති. නමුත් මම දන්න විදියට සියයට අනූ නවයක් ම ගුරුවරයෙක් දරුවෙකුට දඬුවමක් දෙනවා නම් ඒ දෙන්නේ එම දරුවා හදා ගැනීමේ පවිත්‍ර චේතනාවෙන් මිසක් අමානුෂික චේතනාවෙන් නම් නෙවෙයි.

මම සිරිසේන විජේසිරිවර්ධන මැතිතුමාගෙන් නම් වේවැල් පාර කාලා නැහැ. එතුමා පොළොන්නරුවෙන් ආවට පස්සේ මගේ තාත්තා මාව පොළොන්නරු නගරයේ මහා විද්‍යාලයට දැම්මා. එහි විදුහල්පතිතුමා එක්තරා දවසක මම පංතියේ කෑගැහුවා කියලා එතුමාගේ කාමරයට මාව අරගෙන ගිහින් බිත්තියේ එල්ලලා තිබුණු වේවැල් මිටියෙන් වේවැලක් අරගෙන මට ගහපු හැටි මට අදත් මතක් වෙනවා. කොච්චර රිදුනද කියලා දැනුත් දැනෙනවා ඒ වේදනාව. ඒ තරම් මම ගුටිකාලා තියෙනවා ගුරුවරුන්ගෙන්. අපි එහෙමයි හැදුණේ. එදා අපේ පංතිය භාර ගුරුතුමා ඇවිත් හිටියේ නැහැ. ඉතින් ළමයි ටිකත් දඟලන්න ඇති. විදුහල්පතිතුමා දකින්න ඇති මම වැඩිපුර දඟලනවා කෑගහනවා. මම ගෙදර ගිහින් අම්මටයි තාත්තටයි මේ සිදුවීම කිව්වේ නැහැ. මගේ අම්මා ගුරුවරියක්. මගේ තාත්තා ඒ කාලේ ආරච්චි මහත්තයෙක්. මම ගෙදර ගිහින් කිව්වානම් මට විදුහල්පතිතුමා ගැහුවා කියලා අපේ අම්මයි තාත්තයි දෙන්නම මට ගහන්න පුළුවන් මම මොනවහරි ඕනෙ නැති වැඩක් කරලා ඇති ඒ නිසා අපිත් ගහනවා කියලා. ඒක තමයි එදා සංස්කෘතිය.

මීට මාසයකට විතර පෙර අපේ ගමේ කාපට් කරපු පාරකට සිරිසේන විජේසිරිවර්ධන මැතිතුමාගේ නම දැම්මා. ඒ වගේම එතුමාගේ පුත් අපේ විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මහත්මයා තමයි මාව අසනීප වුනාම දැන් බලාගන්නේ. එතුමා මට කොකාවල මධ්‍ය මහා විද්‍යාලයේ ශත සංවත්සර උත්සවයට ආරාධනා කළාම මම බොහොම කැමැත්තෙන් ඒ ආරාධනාව බාරගත්තේ. එසේ බාරගත්තේ දරුවනේ ඔබේ පාසලට වසර සියයක් පිරෙන අවස්ථාවේ ඔබට ගරු කරන්න වගේම ඒ ශ්‍රේෂ්ඨ ගුරු පියාණන්ට හා මෑණියන්ට ගරු කිරීමක් වශයෙනුයි.

අපේ රටේ නිදහස් අධ්‍යාපනයේ අද තිබෙන අභියෝග තේරුම් අරගෙන අපේ ජාතියේ යහපත සඳහා ශක්තිමක් ඉදිරි පියවරක් තැබිය යුතුයි. චන්දිම රාසපුත්‍ර මැතිතුමා දකුණු පළාත භාරගත්තට පස්සේ ලංකාවේ පළමු තැනට දකුණු පළාත ආවා. ඒ ගැන ඔබ දන්නවා. මේ වගේ අධ්‍යාපන ඇමතිවරු නව දෙනෙක් අපිට හිටියා නම් ලංකාවේ පළාත් නවයේ හොඳ තරගයක් තියෙයි කියලා මා විශ්වාස කරනවා. එතුමා ම කිව්වා තව මාස ගාණක් ද දවස් ගාණක් ද කොහෙද එතුමාගේ අධ්‍යාපන ඇමතිකම තියෙන්නේ කියලා පළාත් සභාවේ නිල කාලය අවසන් වෙනවා කියලා. මා ආණ්ඩුකාරතුමාගෙන් ඉල්ලීමක් කරනවා චන්දිම රාසපුත්‍ර මැතිතුමාගේ මන්ත්‍රී ධුරය සහ පළාත් සභාවේ නිල කාලය අවසන් වුවත් අධ්‍යාපන කටයුතු පිළිබඳව එතුමාව ළඟිත් තියාගෙන දකුණු පළාතේ වැඩ ටික කරන්න කියලා.

අපේ රටේ අධ්‍යාපනයේ තිබෙන අභියෝග හා ගැටලුවලදී අපි පිළිගන්නට ඕනෑ අපේ ගුරු භවතුන් ඉතා විශිෂ්ට වූ සේවාවක් ඉටු කරනවා. සමහර වෙලාවට අවශ්‍ය මූලික භෞතික සම්පත් නැහැ. අත්‍යවශ්‍ය බොහෝ දේවල් නැහැ.

අවශ්‍ය මූලික භෞතික සම්පත් නැහැ. අත්‍යවශ්‍ය බොහෝ දේවල් ඇතැම්විට නැහැ. ගොඩනැඟිලි උපකරණ තාක්ෂණික, යන්ත්‍ර සූත්‍ර, ක්‍රීඩා අංශයට අවශ්‍ය දේවල්, සංස්කෘතික අංශවලට අවශ්‍ය දේවල්, බාහිර ක්‍රියාකාරකම්වලට අවශ්‍ය බොහෝ දේ ඇතැම් වෙලාවට බොහෝ පාසල්වල නැහැ. එහෙත් ගුරු සේවයේ සිටින ඔබේ ආදරණීය ගුරුමෑණිවරුන් සහ පියවරුන්ගේ තිබෙන කැපවීම, ඕනෑකම, මව්පියන් ඔබට දක්වන ආදරය, වගේ ම ඔබව ගොඩගන්න තියෙන බලාපොරොත්තුව නිසා අඩුපාඩු නොතකා ඔවුන් ඔබ වෙනුවෙන් වෙහෙස වෙන්නේ. ඒ නිසා අපි අපිට තිබෙන අපේ සංස්කෘතිය අපේ සිරිත් විරිත්, අපේ සම්ප්‍රදායන්, ගරුකරමින් තමයි අප සැම වෙලාවෙම කටයුතු කළ යුත්තේ. දැන් මෙතනදි මත්ද්‍රව්‍ය පිළිබඳව කතාවුණා, මම හිතන්නේ විදුහල්පතිතුමත්, මේ ආචාර්ය මණ්ඩලයත්, මේ දෙමව්පියොත් දරුවෝ මේ ආදරණීය අමුත්තන් මැති ඇමතිවරුන් ඔබ සෑම කෙනෙක් ම පිළිගන්නවා අපේ හාමුදුරුවනේ මේ රටේ මත් උවදුර කොතෙක් විදියට බරපතළ තත්ත්වයකින් රට වසාගෙන තිබෙනවාද කියන කාරණාව.

මේ රටේ පාසල් ගණනාවකින් මට නිතර නිතර කතා කරනවා, ජනාධිපතිතුමා අපේ ඉස්කෝලෙ, අපේ පාසල බේරගන්න මත්ද්‍රව්‍ය වලින් කියලා. මං පාසල්වල නම් කියන්නේ නැහැ, මට නම් ලැයිස්තුවක් කියන්න පුළුවන්. උසස් පෙළ පන්තිවල සමහර ළමයි නීති විරෝධී ඔය කියන මත්ද්‍රව්‍ය පාවිච්චි කරනවා. මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයෝ පාසල් දරුවන්ට මේවා නොමිලේ දෙන්න පටන් අරගෙන තිබෙනවා. අද අපේ විශ්වවිද්‍යාලවලට මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් ගෙනිහිල්ලා නොමිලේ බෙදනවා, විශ්වවිද්‍යාලයේ ඇතුලේ. ඒ විදියට විශ්වවිද්‍යාල දරුවන් විනාශ කරන ජාවාරම්කාරයින්ගේ කුමන්ත්‍රණ තිබෙනවා. මත්ද්‍රව්‍ය, පාතාලය, අපරාධ මේ සියල්ලම, එකම මඟක එකම පිරිස් එකම කණ්ඩායම් ගෙනියන දේවල්. සමහර පාසල්වල, මත්ද්‍රව්‍ය ව්‍යාප්ත වෙලා තිබෙන කොට ඒවා මර්දනය කරන්න ගියාම විදුහල්පතිතුමාලට ගුරු මහත්වරුන්ට ඒ දේ කරන්න බැහැ. ඉඩ දෙන්නේ නැහැ. ඒවා පාවිච්චි කරන දරුවෝ ඊට වඩා ශක්තිමත්. මොකද ඊට අවශ්‍ය අනුග්‍රහය, සහයෝගය ලැබෙනවා. පිට ඉන්න මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ගෙන්. මේ රටේ පාසල් ගණනාවක අද ඒ ප්‍රශ්නය තිබෙනවා. ඒ නිසා තමයි අපි ඉතාම පුළුල් ජාතික වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරලා මේ වෙනකොට ඔබට එහි හොඳ ප්‍රතිඵල ලැබෙන්නේ. අප්‍රේල් 3 වෙනිදා ‘බක්මහ දිවුරුම’ වශයෙන් මුළු රටම දිවුරුම් දෙනවා. එදාට මේ පාසලත් දිවුරුම් දෙයි. මේ රටේ සියලුම පාසල්, සියලුම විශ්වවිද්‍යාල, සියලු රජයේ ආයතන, පෞද්ගලික අංශය, මුළු රටම දිවුරුම් දෙනවා මත්ද්‍රව්‍ය මර්දනය, නිවාරණය සහ පාලනය පිළිබඳව අපි කැපවෙනවා කියලා.

යුද, නාවික, ගුවන් ත්‍රිවිධ හමුදාව මත්ද්‍රව්‍ය මර්දනය සඳහා දැනුත් විශාල සේවයක් පොලිසිය සමඟ කරනවා. නමුත් අප්‍රේල් 3 වෙනිදායින් පස්සේ පුළුල් ජාතික වැඩපිළිවෙළක් ගෙනියනවා මත්ද්‍රව්‍ය මර්දනය පිළිබඳව. වැටලීම් සහ ඊට අදාළ ඔවුන්ගේ කටයුතු වඩා ශක්තිමත් කෙරෙනවා. මෙයින් අපි බලාපොරොත්තු වෙන්නේ රටට අහිතකර වු විනාශකාරී ඛේදජනක මත්ද්‍රව්‍ය අපිට හැකි ප්‍රමාණයෙන් දුර්වල කිරීම සහ මර්දනය කිරීමයි. මේවා සියයට සියයක්ම නවත්වන්න පුළුවන් කමක් නැහැ. බෞද්ධයින් හැටියට අපි හැමදාම උදේ හවසට පන්සිල් ගන්නකොට මේ පන්සිල්වලට මත්ද්‍රව්‍ය පිළිබඳව සුරාමේරය කියලා ඇතුළත් කළේ ඇයි. එදා බුදුන් දවසත් මේ සමාජයේ ප්‍රබල ප්‍රශ්නයක් වෙලා තිබුණු නිසයි. අනගාරික ධර්මපාලතුමා වගේ කෙනෙක් ගැන කතා කරන කොට ,එතුමා මත්ද්‍රව්‍යවලට ඒ කාලය තුළ මොන තරම් සටනක් ගෙන ගිය කෙනෙක්ද කියලා ඔබ දන්නවා. එනිසා මත්ද්‍රව්‍ය පිළිබඳව ප්‍රශ්නය අද ඊයේ ප්‍රශ්නයක් නොවෙයි. නමුත් එහි ව්‍යාප්තිය, අවම කරන්න, පාලනය කරන්න, අප සැමවිටම කටයුතු කළ යුතු වෙනවා.

කොකාවෙල මධ්‍ය මහා විද්‍යාලයේ, සිරිසේන විජේසිරිවර්ධන මැතිතුමා සිටි කාලය තුළ කරපු වෙනස්කම් ගැන ආදිශිෂ්‍යයෙක් කතාකලා. ඔහු තරුණ මහත්මයෙක්. මේ පාසල අවුරුදු සියයක් කියලා කියනවිට, ආදි ශිෂ්‍ය සංගමයේ කවුරුහරි කෙනෙක් මේ අවුරුදු සියයක කතාව ලියන්න පටන් ගත්තා නම් ඒ පොත කොච්චර රසවත් වෙයි ද. එහි බොහෝ දේවල් තිබේවි. ගැඹුරු දේවල්, රසවත් දේවල්, දුෂ්කර කතන්දර එහි බොහෝ ඇතුළත් වේවි. කටුක දේවල් වගේම, පිළිකුල් සහගත දේත් තිබේවි. පාසලක් ගොඩ නැගෙන්නෙත්, ගමක් ගොඩනැගෙන්නෙත්, මිනිහෙක් ගොඩනැගෙනවා වගේම තමයි. හැදෙනවා, ඉස්සරහට යනවා වැටෙනවා, නැගිටිනවා, වැටි වැටි නැගිටිනවා,කොතෙක් වැටුණත් නැගිටිනවා. ඒක තමයි මනුෂ්‍ය ස්වභාවය. මේ අවුරුදු සියයක ඔබේ පාසලෙත් ඒ අතීත කතාව පළමුවෙනි විදුහල්පතිවරයාගේ සිට අද දක්වාම ඒ තොරතුරු සොයා ගන්න පුළුවන් නම් දියුණු වෙච්ච හැටි, ගොඩනැගිච්ච හැටි, ඉස්සරහට ගියහැටි, වැටිච්ච හැටි, දුර්වල වෙච්ච හැටි, එක් එක් කාලවලදි ඒ පිබිදීමකින් ඉදිරියට ගිය හැටි, ඒ අතීත සුන්දර කතාව අත්දැකීම් සහිතව කටුක වගේම මිහිරි ලෙස ඔබට කියවන්න ලැබේවි. ඒ නිසා අපි සෑම කෙනෙක්ම මේ සියල්ලෙන් පාඩම් ඉගෙනගත යුතුව තිබෙනවා.

අද දවසේ ඔබ හමුවන්න ලැබීම පිළිබඳව මා නැවතත් මගේ සතුට ප්‍රකාශ කරමින් ඔබේ පාසල වැඩිදියුණු කිරීම සඳහා රජයත් ඒ වගේම, පළාත් සභාවත් දීර්ඝ කාලයක් දී ඇති ඒ සහයෝගය ගැන මා සතුටු වෙනවා, ඉදිරියටත් ඔබ වෙනුවෙන්, මේ දරුවන් වෙනුවෙන් මේ දෙමව්පියන් වෙනුවෙන් අපට කළ හැකි වගකීම් සහ යුතුකම් අපි උපරිම ලෙස ඉෂ්ට කරනවා. අර පුංචි කතාවක් කරපු සුන්දර දරුවා බොහොම දක්ෂ විදියට කතා කරපු, මට ලිපියක් ගෙනල්ලා දුන්නා. එහි ලිපි 2ක් තිබුණා. ලිපි 2න් එකක තිබෙන්නේ පාසලේ තියෙන අඩුපාඩු පිළිබඳව, අනෙක් ලිපියේ තියෙන්නේ ඒ දරුවා පිළිබඳ පෞද්ගලික කතාවක්. මම මේ ලිපි 2ම පළාත් අධ්‍යාපන ඇමතිතුමාට පෙන්නුවා. එතුමා මෙතනදිම භාර ගත්තා. දරුවගේ පෞද්ගලික කරුණු ඉදිරිපත් කරල තිබුණු කාරණාව, මම නෙවෙයි එතුමා ඉෂ්ට කරනවා කියලා. මෙතනදිම භාර ගත්තා. ඉතින් ඒ නිසා මං අධ්‍යාපන ඇමතිතුමාටත් ස්තුතිවන්ත වෙනවා. අද දවසේ මේ ඔබේ පින්බර සුන්දර වාසනාවන්ත පරිසරයට පැමිණිලා ඔබ වගේම, ගුණවත් ණැනවත්, චරිතවත්, විනයගරුක ආදරණීය දරු පිරිසක් සහ දෙමාපියන් සමඟ මේ සුන්දර ගම්මානයේ මේ සුළු වේලාව හෝ ගත කරන්න ලැබීම ගැන මා ඉතාමත් සතුටු වෙමින් මේ කටයුතු සම්බන්ධීකරණය කළ මාව උනන්දු කළ මේ පාසලේ ඉතිහාසය හා වැදගත්කම අපේ ආදරණීය ගුරු පියාණන්, ගුරුමෑණියන් පිළිබඳව සිහිපත් කරමින් මට මතක් කළ විශේෂඥ වෛද්‍ය බන්දුල විජේසිරිවර්ධන මැතිතුමත් එතුමා සමඟ පැමිණි ඒ සහෝදරයනුත් ඒ සෑම කෙනෙකුටමත් මගේ විශේෂ ගෞරවයත් ස්තුතියත් පිරිනමමින් ඔබ සියලු දෙනාට වාසනාවන්ත අනාගතයක් සඳහා ඇප කැපවෙන බව ප්‍රකාශ කරමින් නිහඬ වෙමි.

Share This Post

NEW