ජනපති පාර්ලිමේන්තුවට

ජනපති පාර්ලිමේන්තුවට

ආරක්ෂක අමාත්‍යාංශය සහ මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශය යන අමාත්‍යාංශවල වැය ශීර්ෂ අද (04) පාර්ලිමේන්තුවේ දී විවාදයට ගැනුණු අතර ඒ වෙනුවෙන් පාර්ලිමේන්තු සභා ගර්භය වෙත ගිය ජනාධිපතිතුමා විශේෂ අදහස් දැක්වීමක් සිදු කළේය.

එහි දී කැළිකසළ කළමනාකරණය සඳහා ප්‍රතිපත්තිමය වැඩපිළිවෙළක අවශ්‍යතාව පෙන්වා දුන් ජනාධිපතිතුමා එය දේශපාලන පක්ෂ භේදයෙන් බැහැර වූ රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ සකස් කෙරුණු වැඩපිළිවෙළක් විය යුතු බව කියා සිටියේ ය.

ජනාධිපතිතුමා වැඩිදුරටත් පෙන්වා දුන්නේ කැළිකසළ ගැටලුව විසඳීමේ ප්‍රමාදයක් සිදුව ඇත්තේ විද්‍යාත්මක ක්‍රමවේදයන් සමඟ සකස්කරන සැලසුම් ක්‍රියාවට නැංවීමේ දී මතුකෙරෙන මහජන විරෝධතාවයන් බවයි. කැළිකසළ ඉවත් කිරීමේ නෛතික වගකීම පළාත් පාලන ආයතන වෙත පැවරෙන අතර එම ආයතන සතු සම්පත් ප්‍රමාණවත් නොවීම ද ගැටලුවක් වන අතර මෙම ප්‍රධාන ගැටලු දෙක ජාතික ප්‍රතිපත්තියක් තුළ කඩිනමින් විසඳා ගැනීමේ අවශ්‍යතාව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

උමාඔය ව්‍යාපෘතියේ කටයුතු පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එහි කටයුතු මේ වන විට 95්‍ර ක් අවසන් ව පවතින අතර මෙම වසර අවසන්වන විට ව්‍යාපෘතිය සම්පූර්ණයෙන් නිමා කිරීමට හැකිවනු ඇති බවයි.

මහවැලි ව්‍යාපාරයට අයත් ඉඩම් ලබාදීමේ දී දේශපාලන පක්ෂ භේදයෙන් කටයුතු කරන බවට එල්ලවන චෝදනා පිළිබඳව ද අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ එම වැඩපිළිවෙළේ දී කිසිදු ආකාරයේ වංචාවක්, දූෂණයක් හෝ දේශපාලන පක්ෂ භේදයෙන් කටයුතු කිරීමක් සිදුව නොමැති බවයි.

මොරගහකන්ද ජලාශය හේතුවෙන් ඉඩම් අහිමිවූවන්ට මෙතෙක් ලබාදුන් විශාලම වන්දි මුදල ලබාදීමට පියවර ගත් අතර ඔවුන් නැවත පදිංචිකිරීම වෙනුවෙන් විශාල මුදලක් වැය කරමින් අංගසම්පූර්ණ ගම්මාන ඉදිකර තිබෙන බව ද ජනාධිපතිතුමා සිහිපත් කළේය.

ආරක්ෂක අමාත්‍යාංශයේ කටයුතු පිළිබඳ අදහස් දක්වමින් ජනාධිපතිතුමා කියා සිටියේ ත්‍රිවිධ හමුදාව ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය කිසිවිටෙකත් දුර්වල කර නොමැති බවයි. රටේ සංවර්ධන කටයුතු වෙනුවෙන් අද ත්‍රිවිධ හමුදාව විශාල කැපවීමක් සිදුකරමින් සිටින අතර දේශපාලන නායකයන් කුමන අන්දමේ විග්‍රහ සිදු කළ ද උතුරු නැගෙනහිර ජනතාව ත්‍රිවිධ හමුදාව සමඟ ඉතා සමීපව කටයුතු කරන බව ජනාධිපතිතුමා කියා සිටියේ ය.

වඩා මිත්‍රශිලි පොලිස් සේවාවක් ස්ථාපිත කරමින් පොලිස් දෙපාර්තමේන්තුවේ සියලුදෙනාට තෘප්තිමත් මානසිකත්වයකින් යුතුව සිය රාජකාරි ඉටුකිරීමට අවශ්‍ය පසුබිම සකස් කිරීමට ගෙනයන වැඩපිළිවෙළ පිළිබඳව ද මෙහිදී ජනාධිපතිතුමා අදහස් දැක්වූ අතර, මත්ද්‍රව්‍ය මර්දන වැඩපිළිවෙළේ දී මෙන්ම අපරාධ මර්දන වැඩපිලිවෙළේ දී පොලිස් දෙපාර්තමේන්තුව ඇතුළු සියලු අංශවල නිලධාරින් සිදුකරන කැපවීම ඇගැයීමට ලක් කළේය.

ආරක්ෂක, මහවැලි සංවර්ධන හා පරිසර අමාත්‍යාංශ පිළිබඳ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව
2019-04-04 පාර්ලිමේන්තුවේ දී

2019 වර්ෂයේ වාර්ෂික අයවැය යෝජනා පිළිබඳ පැවැත්වෙන විවාදයේ දී මහවැලි හා පරිසර අමාත්‍යාංශය සහ ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ අද උදෑසන සිට පැවැත්වූ වාද විවාදවලට මම සවන් දුන්නා. දෙපාර්ශ්වයේම යෝජනා චෝදනා පැමිණිලි ඉදිරිපත් කළ සියලු දෙනාට මා ස්තූතිවන්ත වෙනවා. අපි ප්‍රජාතන්ත්‍රවාදය ආරක්ෂා කරන රටක් සහ රජයක් විදියට සියලු දෙනාට තම තමන්ගේ මත ඉදිරිපත් කිරීමට අයිතිය සහ නිදහස තහවුරු වූ රටක එවැනි අදහස් ඉදිරිපත් කිරීම ගැන මා සතුටට පත්වෙනවා.

අද සාකච්ඡා වූ කරුණු තුළ පරිසර සංරක්ෂණය පිළිබඳ කරුණු රාශියක් දෙපාර්ශ්වයෙන්ම ඉදිරිපත් වුණා. පරිසර සංරක්ෂණයේ දී අප මුහුණ දෙන ගැටලු කිහිපයක් තිබෙනවා. මෙහි දී කැළිකසළ ප්‍රශ්නය පිළිබඳව අදහස් ඉදිරිපත් වුණා. කැළිකසළ ප්‍රශ්නයේ දී මේ ගරු සභාවේ අපි කාටත් අවබෝධයක් තිබෙනවා කොළොන්නාව කුණු කන්ද කඩා වැටීමේ තැන ඉඳලා ඒ වෙනුවෙන් අපි යෙදූ යම් යම් විසඳුම් සහ පිළියම් සේම රජයක් විදිහට ගත් ක්‍රියා ක්‍රියාමාර්ග පිළිබඳව ඔබ හොඳින්ම දන්නවා. කොළඹ නගරයට එකතුවන කැළිකසළ ප්‍රශ්නයට තවමත් විසඳුම් ලැබී නැති නිසා පැහැදිලි ස්ථාවර තත්වයකට ඒ සඳහා තමයි පුත්තලම අරුවක්කාඩු ප්‍රදේශය අපි විදේශාධාර ලබාගෙන ව්‍යාපෘතියක් ආරම්භ කළේ. අපේ රටේ බොහෝ ප්‍රදේශවල අපි දකින පොදු ප්‍රශ්නයක් තමයි කැළිකසළ ඉවත්කිරීම සම්බන්ධයෙන් ඕනෑම රජයක් ලබා ගන්නා තීන්දු තීරණවලදී කැළිකසළ තිබෙන ස්ථාන වලින් ගෙන ගොස් වෙනත් ප්‍රදේශවලට දැමීමේ දී ඒ ප්‍රදේශවල ජනතාව ඊට විරුද්ධව ඉදිරිපත් වෙනවා. ඊට නායකත්වය ලබා දෙනවා ගෞරවනීය පූජක පක්ෂයත්. ගෞරවනීය ස්වාමීන් වහන්සේලා ඒ වගේම කතෝලික පියතුමන්ලා මුස්ලිම් මවුලවිතුමාලා ආදී සෑම කෙනෙක්ම. මේක අද ඊයේ ප්‍රශ්නයක් නෙවෙයි ගරු සභාපතිතුමියනි,

පසුගිය වසර විස්සක් විසිපහක් ගත්තොත් මෙහෙ කැළිකසළ ප්‍රශ්නය විසඳීමට අනුගමනය කරන පරිසර විද්‍යාත්මක ක්‍රමවේද පිළිබඳ සාමාන්‍ය ජනතාවට ඇති අවබෝධය අඩුකම මේ විරෝධතාවලට බලපානවා. ඒ නිසා රජයක් විදිහට පොදු තීන්දුවකට යායුතු වෙනවා සමස්ත සැලැස්මක් තුළ මුළු රටේම කැළිකසළ කළමනාකරණයේ දී රජය මොන විදිහට තීන්දු තීරණ ගත යුතුද කියලා. එවැනි තීරණයක් ගැනීමේ දී එය ප්‍රතිපත්ති තීන්දුවක් වෙනවා. ඒ ප්‍රතිපත්ති තීන්දුවක් ගැනීමේදී අපිට කිසියම් පාර්ශ්වයක විරෝධය නොසලකා රට වෙනුවෙන් ඒ තීන්දු තීරණ ක්‍රියාත්මක කිරීමට සිද්ධ වෙනවා. මහනුවර ගත්තත් මහනුවර ගොහාගොඩ කැළිකසළ කන්ද අද බරපතළ ප්‍රශ්නයක්. ඒ වගේ නම් ගොඩක් මට කියන්න පුළුවන්. කැළිකසළ ප්‍රශ්නය විසඳීමේ දී ඇති වෙලා තිබෙන විරෝධතා නිසා තමයි හුඟක් වෙලාවට ප්‍රශ්න විසඳීමේ ප්‍රමාදයන් තියෙන්නේ. ඒ නිසා රාජ්‍ය ප්‍රතිපත්තිය තුළ දේශපාලන පක්ෂ භේදයකින් බැහැරව කැළිකසළ කළමනාකරණය වෙනුවෙන් අනුගමනය කළ යුතු ප්‍රතිපත්ති, ක්‍රමවේදයන් සහ සැලසුම් ක්‍රියාත්මක කිරීම ගැන ජාතික වැඩපිළිවෙළක අවශ්‍යතාවය මා දකිනවා.

අනිත් කාරණය තමයි කැළිකසළ ඉවත් කිරීමේ කාර්යයේ දී අද අපි සෑම කෙනෙක්ම දන්නවා කැළිකසළ පිළිබඳ නීතිමය වගකීම තිබෙන්නේ පළාත් පාලන ආයතනවලට. පළාත් පාලන ආයතනවලට අද තිබෙන ලොකුම ප්‍රශ්නය තමයි ඒ ආයතනවලට අවශ්‍ය යන්ත්‍ර සූත්‍ර නැතිකම. මැෂින් නැහැ. ස්කැවේටර් නෑ. කුණු අදින වාහන නැහැ. ඉතින් මේ ප්‍රශ්නය තද ලෙස බලපානවා. ඒ නිසා පළාත් පාලන අමාත්‍යාංශය හරහා සියලුම පළාත් පාලන ආයතනවලට යන්ත්‍රසූත්‍ර ලබාදීම අවශ්‍ය වෙනවා. මේ සඳහා බිලියන ගණනක් වැය කළ යුතු දෙයක්.

එහෙත් එසේ යන්ත්‍රසූත්‍ර දෙන්නෙ නැතුව කිසිදු පළාත් පාලන ආයතනයක තමන්ගේ කැළිකසළ වෙනත් ප්‍රදේශවලට දාන්න ක්‍රමයක් නෑ. සියයට අනූවක් පළාත් පාලන ආයතනවල මේ ප්‍රශ්නය තිබෙනවා. එක් පැත්තකින් පළාත් පාලන ආයතනවල යන්ත්‍ර සූත්‍ර සහ වාහන හිඟයත්, අනෙක් පැත්තෙන් කුණු දැමීමේදී විද්‍යාත්මක ක්‍රමවේදයන් උපයෝගී කරගනිමින් හදන සැලසුම් සමග එම ව්‍යාපෘති ක්‍රියාත්මක වීමට ඉඩ නොදී ඇතිවන ජනතා විරෝධය ආදී කරුණු ප්‍රශ්නය උදාකර තිබෙනවා. රටේ ඕනෑම ප්‍රදේශයක මේ විරෝධය ඇතිවෙනවා. මීට වසර පහළොවකට පෙර මට මතකයි පොළොන්නරුව මැදිරිගිරිය ප්‍රදේශයේ ඉතාමත් ජනගහනය අඩු ප්‍රදේශයක මෙවැනි කැළිකසළ දාන්න ගිහින් මේ ගම හරහා වාහන යනවා කියලා ඒ වාහනවලට යන්න දුන්නේ නෑ. ඒ නිසා අපි කාගේත් වගකීමක් සහ යුතුකමක් තිබෙනවා, මොකද කුණු කඳු ගොඩ ගැසෙන එකට ආගම් පක්ෂ භේද බලපාන දෙයක් නෙමෙයි. කුල ජාති භේද ප්‍රශ්නයක් නෙමේ. එයට මුළු මහත් මානව සමාජයට වගේම ස්වභාවික සම්පත් සියලු සත්ත්වයාගේ ආරක්ෂාව, සුරක්ෂිතතාව සඳහා ඉතාමත් වැදගත් වෙනවා. ඒ නිසා කැළිකසළ ප්‍රශ්නය ජාතික ප්‍රතිපත්තියක් තළ විසඳා නොගත්තොත් මේ කැළිකසළ ප්‍රශ්නය විසඳන්න පුළුවන් කමක් නැහැ. අනිත් කාරණය මහවැලි සංවර්ධනය ව්‍යාපාරය විදිහට මා ඉතාමත් සතුටු වෙනවා මොරගහකන්ද කළුගඟ ව්‍යාපාරයේ වැඩකටයුතු රාශියක් අපි අවසන් කරලා තිබෙනවා. ඒ වගේම උමා ඔය ව්‍යාපෘතියේ කටයුතු සියයට අනූපහක් ඉවර කරලා තිබෙනවා. මේ වර්ෂය අවසාන වන විට උමා ඔය ව්‍යාපෘතිය සම්පූර්ණයෙන්ම අවසන් වෙනවා.

ඒ වගේම මම උදේ සිට අහගෙන හිටියා මේ ඉඩම් දීම පිළිබඳව යම් යම් දූෂණ වංචා දේශපාලන පක්ෂ බේදයෙන් කටයුතු කරනවා කියලා මහවැලි ව්‍යාපාරය තුළ චෝදනා ස්වරූපයෙන් කතා කරනවා. ඉඩම් ආඥා පනත තුළ මේ රටේ ඉඩම් නැති කෙනෙකුට ඉඩම් දීමේදී කිසිදු ආකාරයක දේශපාලන පක්ෂ භේදයකින් එය කරන්න පුළුවන් කමක් නෑ. පැරැණි ගොවි ජනපද ව්‍යාපාර ගත්තත් අද මහවැලි සංවර්ධන ව්‍යාපාරය ගත්තත් රජයක් විදිහට යම්කිසි ප්‍රදේශයක ඉඩම් දීමේ කටයුතු ආරම්භ කිරීමේ දී ඉඩම් තිබෙන බව ගැසට් නිවේදන කැඳවලා, අයදුම්පත් කැඳවලා, ගැසට් නිවේදන අනුව පරීක්ෂණ පවත්වලා තමයි ඒ කටයුත්ත ක්‍රියාවට නගන්නේ. ඒ පරීක්ෂණවලදී ප්‍රධාන වශයෙන්ම ඉඩමක් ලබා ගැනීමට සුදුසුකම් වන්නේ අංක එක ඉඩමක් නොමැතිකම. අංක දෙක විවාහය. අංක තුන දරුවන්ගේ සංඛ්‍යාව. ඊළඟට ශ්‍රී ලංකාවේ පුරවැසියෙක් වීම. මේ කියන කරුණු ඉතා ම අපක්ෂපාතී මධ්‍යස්ථ නිලධාරීන්ගෙන් සමන්තිව සාමූහික ක්‍රියාවලියක් හරහා පමණි. මේ ඉඩම් සඳහා සුදුස්සන් තෝරාගන්නේ. එහෙම නැතුව කිසියම් දේශපාලන පක්ෂ පදනමකින් මන්ත්‍රීවරුන්ට හෝ ඇමතිවරුන්ට ඉඩම් ලැයිස්තු හදන්න දෙන්න පුළුවන් කමක් නෑ. එහෙම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වෙලා නෑ. ඒ නිසා මොරගහකන්ද ජලාශයේ නැවත පදිංචි කිරීම් තියෙන්නේ පොළොන්නරුව දිස්ත්‍රික්කය මැදිරිගිරිය ප්‍රදේශයේ බිසෝපුර කියන ප්‍රදේශය. ඒ ප්‍රදේශයට අපි ඉල්ලීම කළා නැවත පදිංචිකරුවන්ට මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ මොරගහකන්ද ජලාශයෙන් ඉඩම් යට වූ අයට මේ ප්‍රදේශයට එන්නෙ කියලා. නමුත් මාතලේ දිස්ත්‍රික්කයේ ලග්ගල ප්‍රදේශයේ ඉඩම් යටවෙච්ච අය ඒ සෑම කෙනෙක් ම ප්‍රතික්ෂේප කරා පොළොන්නරුවට පදිංචියට ඒම. ඒ අය මාතලේ දිස්ත්‍රික්කයේ ම ඉඩම් ඉල්ලුවා. අපි මාතලේ දිස්ත්‍රික්කයේ ඉඩම් දුන්නා. ඒ වගේම ලංකාවේ මෙතෙක් ක්‍රියාත්මක කර නොතිබූ අති විශාල වන්දියක් ලබා දුන්නා.

මොරගහකන්ද ජලාශයට යට වූ ප්‍රදේශවල ජනතාවට. ඒ අනුව පොළොන්නරු ප්‍රදේශයේ නැවත පදිංචිකිරීම්වලට අතිවිශාල මුදලක් වැය කරනවා විශාල ඇළවල් හදලා, මහවැලියෙන් පාසල් රෝහල්, පරිපාලන කාර්යාලය ඒ සියල්ල හදලා ගම්මානවලට මාතලේ දිස්ත්‍රික්කෙන් ආවෙ නැහැ පොළොන්නරු දිස්ත්‍රික්කයේ ඉඩම් නැති ජනතාවට ඉඩම් දෙන්න තීන්දු කළා. ඒ තීන්දුවේදීත් මම තීරණයක් ගත්තා පොළොන්නරුව දිස්ත්‍රික්කයේ නෙවෙයි මැදිරිගිරිය මැතිවරණ කොට්ඨාශයේ අයට ඉඩම් දෙන්න. ඒ අනුව අපි ඉඩම් කච්චේරියක් පැවැත්තුවා. පරීක්ෂණ පවත්වලා ඒ අනුව තමයි දැන් ඉඩම් දීගෙන යන්නේ. නමුත් කිසියම් මන්ත්‍රීවරයෙකුට උවමනා විදියට ලයිස්තුවට ඉඩම් දෙන්න පුළුවන්කමක් නැහැ. ඉතාම අපක්ෂපාතී ව ඒ කටයුතු කෙරෙන්නේ. විරෝධතාවලටත් ගැසට් කළා. මේ ඉඩම් ලේඛනයේ සුදුසු අය ලෙස තෝරා ගෙන තිබෙන අයට විරෝධතා තිබෙනවා නම් ඉදිරිපත් කරන්න කියලා අපි ඒකත් ගැසට් කරනවා. ඉඩම් කච්චේරිය ඒක සාමාන්‍යයෙන් නීතිය ප්‍රතිපත්තිය. ඒ නිසා කිසිදු ආකාරයක වංචාවක්, දූෂණයක් දේශපාලන පක්ෂය භේදයක් නැහැයි කියන එක මම ඉතාම බැහැ පැහැදිලිව සඳහන් කරන්නට ඕනෑ.

ඊළඟට ආරක්ෂක අමාත්‍යාංශය පිළිබඳ වචන කිහිපයක් කතා කිරීමට බලාපොරොත්තු වෙනවා. දැන් මාස තුන හමාරක කාලයක් වෙනවා මම පොලිසිය ආරක්ෂක අමාත්‍යංශය යටතට අරගෙන. යුද නාවික ගුවන් හමුදාව, පොලීසිය, විශේෂ කාර්ය බලකාය, ඒ සියලු දෙනාට මම රජයේ විදිහට පෞද්ගලිකවත් රටේ ජනතාව වෙනුවෙන් ස්තුතිවන්ත වෙනවා විශාල වැඩ කොටසක් ඉටුකිරීම ගැන. ත්‍රිවිධ හමුදාව රටේ සංවර්ධනයට විශාල කැපවීමක් කරනවා. දේශපාලන නායකත්වයන් තුළින් ඒ අය මොන විදියේ විවේචන සහ විග්‍රහ කළත් උතුරේ සාමාන්‍ය ජනතාව හමුදා නිලධාරීන්ට ඉතාමත් හිතවත්. මාස කීපයකට පෙර ඇති වූ ගංවතුර හේතුවෙන් ඉරණමඩු ජලාශය ගලායාම නිසා ඒ ප්‍රදේශයේ ජනතාවත් එක්ක ත්‍රිවිධ හමුදාව එක්වී ගංවතුරෙන් විපතට පත් ජනතාව බේරාගැනීම සඳහා කටයුතු කළ ආකාරය උතුරේ ජනතාව ත්‍රිවිධ හමුදාව පිළිබඳව විශාල විශ්වාසයක් හිතවත්කම් මිත්‍රශීලී භාවයත් ඇතිකරගෙන තියෙන්නේ. ගම්වලත් රජයේ සංවර්ධන කටයුතුවලදීත් ත්‍රිවිධ හමුදාව දායක වෙනවා. හමුදාව කිසිම විදිහකින් අපි දුර්වල කරලා නැහැ අපි තවත් තවත් ශක්තිමත් කරනවා.

සම්පත් වල අඩුපාඩුකම් තියෙනවා නාවික හමුදාවට අවශ්‍ය නැව් ගත්විට අඩුපාඩුවක් තිබෙනවා. ගුවන් හමුදාවට ගුවන් යානාවල අඩුපාඩුවක් තිබෙනවා. නාවික හමුදා සහ ගුවන් හමුදාවලට අවශ්‍ය තාක්ෂණික සහ ඉංජිනේරු අංශවලට නිලධාරීන් බඳවා ගැනීම මගින් විශේෂයෙන් විදේශ ආදායම් රටට ලැබෙනවා. ඒ මොකද නාවිකයන් හා ගුවන් නියමුවන් අපි පුහුණු කරලා ඒ අයට පිටරට යැව්වහම අපිට විශාල ආදායමක් ලැබෙනවා. ඒක නිසා නාවික සහ ගුවන් ක්ෂේත්‍රයේ ඉංජිනේරු අංශ සහ තාක්ෂණික අංශ යුද්ධයක් නැති රටක වර්ධනය කිරීම ශක්තිමත් කිරීම ඉතාමත් වැදගත්. මොකද ඒකෙන් රට ඇතුලට ලැබෙන විදේශ ආදායම් එනවා. රැකී රක්ෂා ප්‍රශ්නය විසඳෙනවා. ත්‍රිවිධ හමුදාව විනයගරුක ජනතාවගේ ප්‍රසාදයට පත්වූ හමුදාවක් විදියට ඒවා ශක්තිමත් කිරීමේ ප්‍රතිපත්තිය අපි කිසිසේත්ම දුර්වල කරලා නැහැ.

අනෙක් කාරණය තමයි පොලිසියේ 85000 ක් විතර සේවය කරනවා. පොලිස් දෙපාර්තමේන්තුවට තමයි විශේෂ කාර්ය බළකායත් ඇතුල් වෙන්නේ. ඔබ සෑම කෙනෙක්ම දන්නවා අපරාධකරුවන් මෙල්ල කිරීම, මර්දනය කිරීමට විශේෂ කාර්ය බලකායත්, විශේෂයෙන් ම නීති විරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ කටයුතු කරන ඒකක මේ සියල්ල විශාල කැපකිරීමකින් කටයුතු කරනවා. අපේ රට වශයෙන් අවශ්‍ය නව තාක්ෂණික උපකරණ අපිට නැහැ. මත්ද්‍රව්‍ය හඳුනාගැනීමට.

1983 වර්ෂයේ තමයි මුලින්ම විෂ මත්ද්‍රව්‍ය අහුවුණේ. එදා ඉඳලා පැවති සෑම රටක්ම මේ ද්‍රව්‍ය හොයන උපකරණ ගෙනාවනම් මේ මත්ද්‍රව්‍ය මේ තරම් පැතිරෙන්නේ නැහැ. ප්‍රධාන වශයෙන්ම මත්ද්‍රව්‍ය ව්‍යාප්තවීම අවම කිරීම සඳහාත් මර්දනය සඳහාත් නව තාක්ෂණික උපකරණ ලබා ගැනීමට මේ වන විට කටයුතු කර තිබෙනවා. මේ විශාල වැටලීම්කරලා අත්අඩංගුවට ගන්නේ නව තාක්ෂණික උපකරණ නැතුව. බටහිර රටවල්වලට මත්ද්‍රව්‍ය පිළිබඳ ප්‍රශ්නයක් බරපතළ ලෙස පැන නගින්නේ නැත්තේ ඒ රටවල මත්ද්‍රව්‍ය හඳුනා ගැනීමට අධි තාක්ෂණික උපකරණ තිබෙන නිසයි. ඒ නිසා අධි තාක්ෂණික උපකරණ තිබෙන රටවල්වල මත්ද්‍රව්‍ය පිළිබඳ අභියෝගයක් නෑ. ඒ නිසා අපි අපට තිබෙන පරණ අවි ආයුධ සමග තමයි මං මත්ද්‍රව්‍ය අල්ලන්න යන්නේ. මත්ද්‍රව්‍ය ජාවාරම් කරුවන් සමග සටන් කරන්නෙ. ඒ නිලධාරීන්ගේ තිබෙන දැනුම සහ බුද්ධිය තුළ. කිසිදු අධි තාක්ෂණික උපකරණයක් නොමැතිව මත්ද්‍රව්‍ය සොයා ගෙන අත්අඩංගුවට ගන්න පොලීසිය, විශේෂ කාර්ය බලකාය, නීති විරෝධී මත්ද්‍රව්‍ය කාර්යාංශය, වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුව, රේගු දෙපාර්තමේන්තුව, ත්‍රිවිධ හමුදාව මේ සෑම ආයතනයකම ඒ නිලධාරීන් කරන කැපකිරීම මහා පරිත්‍යාගය අපි ඉතා අගය කරනවා. ඒ නිසා තමයි මම පොලිසිය බාර ගත්ත මුල් මාසයේම පොලිස් විශේෂ කාර්ය බළකා නිලධාරීන්ගේ සේවය අගයමින් ජනාධිපති සම්මාන ලබා දුන්නේ. ඒ වගේම අපි යුද නාවික හමුදාව වෙරළාරක්ෂක දෙපාර්තමේන්තුවේ සහ රේගු දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ට ජනාධිපති සම්මාන සේවා ඇගයීම් කළා. ඒ අයගේ පහසුකම් තත්වය ගත්තම පොලිස් දෙපාර්තමේන්තුව පිළිබඳ අලුතෙන්ම හිතනවා නම් අපි සෑම කෙනෙක්ම හොඳයි කියලයි මම හිතන්නේ. මොකද අපි ඉහළම සංවර්ධනයක් පවතින රටක් නෙමෙයි මධ්‍ය ආදායම් ලබන රටක්. පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ සේවා තත්වය ශක්තිමත් කරන්න, වඩාත් මිත්‍රශීලී මහජන සේවාවක් බවට පොලිසිය පත්කරන්න, ඒ වගේම ඔවුන් යහපත් මානසිකත්වයකින් සිය සේවාවන් ඉටු කිරීමට සුදුසු පරිසරයක් හදන්න ඕනෑ. පොලිසියේ රාලහාමි කෙනෙක් ගේ සිට ප්‍රධාන පොලිස් පරීක්ෂක කෙනෙක් දක්වා ඔහුගේ රාජකාරිය ජිවිතය ඉතාම ඛේදවාචකයක්. මේ ගැන අපි හිතන්න ඕන. පොලිසිය විවේචනය කිරීම හෝ පොලිස් නිලධාරීන් අගෞරවයට පත් කිරීම කිසිසේත්ම සුදුසු දෙයක් නෙමෙයි.

අපේ රටේ උගතුන් පවා මහ පාරේදී රථවාහන වැරැද්දක් කළාම ට්‍රැෆික් පොලිස් නිලධාරියෙක් ඇල්ලුවහම ඉතාම නරක වචනවලින් බැනලා එතනින් යන් එක තමයි කරන්නේ. නමුත් පොලිසියේ ඉන්න රාලහාමි කියන පුංචි මිනිස්සු කන්නේ නැතුව පැය 12 ක් හිටගෙන ඉන්නවා. කිසිම පොලිස් ටිලධාරි කෙනෙක් පැය 8 සේවයේ නැහැ. ඔවුන් කරන්නේ පැය 12 ක සේවයක්. කන්න නැහැ. වතුර නැහැ. වෙලාවට කිසිම පහසුකමක් නැතිවයි ඔවුන් සේවය කරන්නේ. ඒ ඔක්කොමලා රෝගීන් වෙනවා. ඉතින් මේ තත්වය ගත්තම ඒ අයට අවශ්‍ය පහසුකම් දීමත් පොලිස් සේවාවේ ගුණාත්මක ප්‍රතිපත්තියකින් යුතු සේවාවක් බවට පත් කිරීම ඉතාම අවශ්‍යයි. ඒ නිසා මේ තත්වයන් සැලකිල්ලට අරගෙන කටයුතු කරගෙන යනවා. පොලිසියට අපරාධකරුවන් මෙල්ල කිරීමට සහ පාලනය කිරීමට තිබෙන නීති රීති හුඟක් පැරණි වෙලා තියෙන්නෙ. ඒවා හුඟක් සංශෝධනය කළ යුතුයි. අලුත් නීති රීති මේ මාස තුන තුළ මම සංශෝධනය කර අවසන් කර තිබෙනවා. ඒ වගේම අලුත් පනත් හැදීමට දැනට නීතිපති දෙපාර්තමේන්තුවට සහ ඒ අයට බාරදීලා තිබෙනවා. ඒ නිසා මේ සියලුම ප්‍රශ්නවල දී පොලිස් දෙපාර්තමේන්තුව සම්පූර්ණයෙන්ම වෙනසකට භාජනය විය යුතුයි කියලයි මම විශ්වාස කරන්නේ. ඔවුනගෙන් එම සේවය ලබා ගත හැකි වන්නේ ඔවුන්ට අවශ්‍ය පහසුකම් ලබා දීමෙන්.

මේ පොලිස් දෙපාර්තමේන්තුව ඇතු`එ අමාත්‍යාංශය භාර අරගෙන පවත්වපු සාකච්ඡාවලදී මම සොයා ගත්තු දෙයක් තමයි ඒ වනවිට පොලිස් ස්ථාන තිහක් තිබුණා එකම වාහනයක් නැතුව. පොලිස් දෙපාර්තමේන්තුව භාරට හිටපු ඇමතිවරු හෝ ඒ අමාත්‍යාංශවල වගකීමක් තමයි එවැනි තත්ත්වයක් ඇති නොවීමට වගබලා ගැනීම. ඒ අනුව මම නියෝග කළා වහාම මිලගණන් කැඳවලා ඒ පොලිස් ස්ථානවලට අඩුම වශයෙන් එක වාහනයක් බැගින් දෙන්න කියලා. අපි හිතන්න ඕනෑ මේ නිල ඇඳුම යට ඉන්න සාමාන්‍ය පවුල්වල නිලධාරින් තමන්ගේ සේවය මොනතරම් අසීරුවෙන් අමාරුවෙන්ද කරන්නේ කියලා. ඒ නිසා මේකට ජනතාවගේ සහයෝගය තියෙන්න ඕනෑ. පොලිස් නිල ඇඳුම භාවිතා කරන්නේ නැහැ. සිවිල් ඇඳුමක් සමහර රටවල්වල පාවිච්චි වෙන්නේ. ඒ තුළ අපි වෙනස්කම් රාශියක් කරනවා.

ඒ තුළ අපි විශ්වාස කරනවා නීතිවිරෝධී මත්ද්‍රව්‍ය පිළිබඳ අපි ආණ්ඩුවක් විදිහට ගෙන යන වැඩපිළිවෙළට අද රටේ සෑම කෙනෙකුගේම සහයෝගය ලැබිලා තියෙනවා, කිසිදු දේශපාලන පක්ෂ භේදයකින් තොරව සියලු දෙනා සහයෝගයෙන් දෙනවා, සියලු දෙනාටම ස්තූතිවන්ත වෙනවා අපිට ඒ කටයුතුවලට දුන් සහයෝගය පිළිබඳව ඒ නිසා පොලිස් දෙපාර්තමේන්තුවේ නිලධාරීන්ගේ ලොකු ප්‍රබෝධයක් උනන්දුවක් ඇතිවෙලා තිබෙනවා. කෝටි ගණන් වටිනා නීති විරෝධී මත්ද්‍රව්‍ය අපි අත්අඩංගුවට ගන්නවා. අපි ඒවා විනාශ කරනවා. නීති ශක්තිමත් කරනවා. දඬුවම් කරනවා. අපි පොලිස් සේවාවේ ගුණාත්මක බව වැඩිකරන්න වඩාත් මිත්‍ර මිත්‍රශීලී පොලිස් සේවාවක් හදන්න අවශ්‍ය පහසුකම් දීලා මේ වෙනස්කම් කරන බව මා සඳහන් කරන්නට ඕනෑ.

අද මහවැලි අමාත්‍ය අමාත්‍යාංශයත් ආරක්ෂක අමාත්‍යංශයේ සාකච්ඡාවට ලක්වන අවස්ථාවේ ආණ්ඩු පක්ෂයේ විපක්ෂයේ මැති ඇමතිවරු දැක්වූ අදහස් ද සැලකිල්ලට ගෙන යම් යම් ගැටලු ප්‍රශ්න තිබේ නම් ඒවා විසඳන්න මම ක්‍රියාකරනවා. පරිසර හා මහවැලි රාජ්‍ය අමාත්‍ය මාන්නප්පෙරුම රාජ්‍ය ඇමතිතුමා ඉංජිනේරුවරයෙක්. දක්ෂ ලෙස හොඳින් අවංකව කටයුතු කරන රාජ්‍ය ඇමතිවරයෙක්. මම සතුටු වෙනවා මට එවැනි රාජ්‍ය ඇමතිවරයෙක් ලැබීම ගැන. ඒ වගේම ආරක්ෂක අමාත්‍යාංශයේ රුවන් විජේවර්ධන රාජ්‍ය ඇමතිතුමත් එහෙමයි. දේශපාලන ක්ෂේත්‍රයේ ඒ චරිත දෙක ඉතා අවංක චරිත දෙකක්. මටම ගැළපෙන දෙන්නෙක් තමයි මට ලැබිලා තියෙන්නේ. මගේ ප්‍රතිපත්තිවලටම ගැළපෙන දෙන්නෙක් මට ලැබිලා තියෙන්නේ. බොහොම අමාරුවෙන් තමයි ඒ දෙන්නව හොයා ගත්තෙත්. අද දවසේ වුණත් මම වෙනත් රාජකාරි සිදුකරන ගමන් ඒ දෙන්නට තමයි මේ විවාදයේ කටයුතු භාරදීලා තිබුණේ. මගේ රාජකාරිවල සම්පූර්ණ බලය මම ඒ දෙන්නට පවරලා තියෙනවා. ඒ දෙන්නා ඉතාම උනන්දුවෙන් අවංකව කටයුතු කරනවා.

ඒ නිසා ඒ දෙදෙනාටත් අමාත්‍යාංශ දෙකේ ලේකම්වරුන්ටත් ඒ කාර්ය මණ්ඩලවලට නිලධාරීන්ටත් ත්‍රිවිධ හමුදාපතිවරුන්ටත් පොලිස්පතිතුමාටත් ස්තූති කරමින් මගේ කතාව අවසන් කරනවා.

ස්තූතියි.

Share This Post

NEW