රටට ද්‍රෝහි සියලු බලවේග පරාජය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය කඩිනමින් ශක්තිමත් කළයුතු බව ජනපති පවසයි.

රටට ද්‍රෝහි සියලු බලවේග පරාජය කිරීමට ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය  කඩිනමින් ශක්තිමත් කළයුතු බව ජනපති පවසයි.

රටට ද්‍රෝහි සියලු බලවේග පරාජය කිරීම වෙනුවෙන් ඉදිරි මාස 03 තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් ජනතා බලවේගයක් බවට පත්කිරීමට රටට ආදරය කරන සියලුදෙනා එක්විය යුතු බව ජනාධිපතිතුමා පවසයි.

ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා මේ බව ප‍්‍රකාශ කළේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ති‍්‍රක් නව දිසා කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට අද (31) පස්වරුවේ එක්වෙමිනි.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ප‍්‍රතිසංවිධානය කිරීමේ වැඩපිළිවෙළ යටතේ රට පුර නව දිස්ති‍්‍රක් කාර්යාල ස්ථාපිත කිරීමට පියවර ගෙන තිබෙන අතර ඒ අනුව කොළඹ දිස්ති‍්‍රක්කයේ ස්ථාපිත කෙරුණු මෙම නව කාර්යාලය නො 65, ආනන්ද රාජකරුණා මාවත, කොළඹ 10 ස්ථානයේ පිහිටුවා තිබේ.

නව කාර්යාල පරිශ‍්‍රය වෙත ගිය ජනාධිපතිතුමා ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ති‍්‍රක් නායක තිලංග සුමතිපාල මහතා විසින් ගෞරවයෙන් පිළිගනු ලැබීය.

සමරු ඵලකය නිරාවරණය කර කාර්යාලය විවෘත කළ ජනාධිපතිතුමා එහි විශේෂ සමරු සටහනක් ද තැබීය.

අනතුරුව පැවති උත්සව සභාව ඇමතූ ජනාධිපතිතුමා වැඩිදුරටත් ප‍්‍රකාශ කළේ අද අප කතා කළයුත්තේ දේශපාලන පක්ෂ හෝ නායකයන් පරාජය කිරීම පිළිබඳව නොව රටට සහ ජනතාවට ද්‍රෝහි බලවේග නිවරැදිව හඳුනාගෙන ඒවා පරාජය කිරීම පිළිබඳව බවයි.

සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන අවංක පිරිසක් සේම තමන් ගැන පමණක් සිතන රටට ද්‍රෝහි පිරිසක් ද සිටින බව පැවසූ ජනාධිපතිතුමා පිරිසිදු ශක්තිමත් ජනතාවදී දේශපාලන ගමන්මගක් කරා යන ගමනේ දී ඊට සුදුසු නායකයන් සහ කි‍්‍රයාකාරින් හඳුනාගත යුතු බව ද කියා සිටියේය.

එමෙන්ම ජනාධිපතිතුමා වැඩිදුරටත් කියා සිටියේ මෙම 2019 වසර මැතිවරණ වසරක් මෙන්ම රටට අලුත් ආණ්ඩුවක් හදන වසරක් බවයි. එම ගමන වෙනුවෙන් ජනතාවාදී දේශමාමක සහ දේශහිතෛෂි දේශපාලන පක්ෂයක් වූ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සූදානම් කිරීමේ වගකීම අවධාරණය කළ ජනාධිපතිතුමා එම වගකීම ඉටුකිරීමට කැපවන ලෙස ද සමස්ත පුරවැසියන්ගෙන් ඉල්ලා සිටියේ ය.

ප‍්‍රජාතන්ත‍්‍රවාදී වාමාංශික පෙරමුණේ නායක වාසුදේව නානායක්කාර මහතා ද මෙහිදී උත්සව සභාව ඇමතීය.

මහාසංඝරත්නය ප‍්‍රමුඛ අන්‍යාගමික පූජකවරුන් ද, ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ මහ ලේකම් දයාසිරි ජයසේකර, ජ්‍යෙෂ්ඨ උප සභාපති නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද අමරවීර, එස්.බී. දිසානායක, ෆයිසර් මුස්තාපා, ඩිලාන් පෙරේරා, සුදර්ශනී ප‍්‍රනාන්දු පුල්ලේ, සරත් ඒකනායක යන මහත්වරුන් ද ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ති‍්‍රක් නායක තිලංග සුමතිපාල මහතා ඇතුළු සංවිධායකවරුන් ඇතුළු කි‍්‍රයාකාරිහු මීට එක්ව සිටියහ.

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂ කොළඹ දිස්ත‍්‍රික් නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවට එක්වෙමින් ජනාධිපතිතුමා කළ කතාව 2019-01-31

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂයේ කොළඹ දිස්ත‍්‍රික් නව කාර්යාලය විවෘත කිරීමේ අවස්ථාවේ ඔබ සමග එක්වීමට ලැබීම ගැන මා සතුටට පත්වෙනවා. පක්ෂ කාර්යාලයක් දිස්ත‍්‍රික්කයක හෝ ගමක හෝ කොට්ඨාසයක හෝ පිහිටුවීමේ අත්දැකීම ඔබට තියෙනවා. අපේ විතරක් නෙවෙයි අනෙක් පක්ෂවලටත් පක්ෂ කාර්යාලයකට ගොඩනැගිල්ලක් දෙන්න බොහෝ කෙනෙක් මැළි වෙනවා. එක් පැත්තකින් බය වෙනවා. ඇතැම් වෙලාවට ඉල්ලීම් මඟ හරිනවා.

ප‍්‍රතික්ෂේප කරනවා. ගණන් හදනවා කාර්යාලය දීලා වාසියක් වෙයි ද? අවාසියක් වෙයි ද? ඊළඟට එන ආණ්ඩුවෙන් ගුටිකන්න වෙයිද මේ කාර්යාලය දීලා. මේවා තමයි සාමාන්‍යයෙන් කාර්යාලයක් දෙන්න ගියාම හිතන ඒවා. ඒවා බොහොම සාධාරණයි අපේ දේශපාලන සංස්කෘතියත් එක්ක. ඒ සියලූ අභියෝග පිළිබඳව පුළුල් අත්දැකීම් තිබෙන තිලංග සුමතිපාල මහතා කොළඹ දිස්ත‍්‍රික් නායකයා වශයෙන් පත් කිරීමෙන් අනතුරුව එතුමාගේ නිවසට යාබදව මේ නව කාර්යාලය විවෘත කිරීම සම්බන්ධව මා පක්ෂය වෙනුවෙන් සහ පාක්ෂිකයන් වෙනුවෙන් ස්තූතිවන්ත වෙනවා. මෙහි කතා කළ මැති ඇමතිවරු කිව්වා වගේ සුමතිපාල පරම්පරාව එදා මෙදා කාලය තුළ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය අසීරු අමාරු අවස්ථාවන්ට මුහුණ පෑ සෑම අවස්ථාවකදීම කර ගහපු පරම්පරාවක්. 80 දශකයේ මුල් කාලයේ ඩාලි පාරේ අපේ පක්ෂ කාර්යාලය නැතිව ගිය අවස්ථාවේ බොරැුල්ලේ උද්‍යාන පාරේ පක්ෂ කාර්යාලයක් තාවකාලිකව දාන්න ගිය වෙලාවේ සුමතිපාල පරම්පරාවෙන් තමයි අපට ඒ ගොඩනැගිල්ලත් දීලා අමාරු වෙලාවේ කර ගැහුවේ කියා මේ අවස්ථාවේ මා සිහිපත් කරන්නට කැමැතියි.

අපිට අවශ්‍ය වන්නේ ජයග‍්‍රහණය පෙනී පෙනී තිබෙන අවස්ථාවේ ඒ ජයග‍්‍රහණයට කොඩි වනන මිනිසුන් නෙවෙයි. අපිට අවශ්‍ය ජයග‍්‍රහණය ඈත පෙනෙද්දී ඒ ඈත පෙනෙන ජයග‍්‍රහණය ළඟා කරගන්න ඊට වේගයෙන් එක්වන ජනතාවගේ සහ ඊට සහය දෙන අයගේ සහයෝගය යි. දිනුම දකින විට බොහෝ අය අපිට එකතුවෙනවා. දිනුම අසීරුයි කියන විට ඇතැම් අය ඈත් වෙනවා. අභියෝගය බාරගන්න කැමති අය එක්වෙනවා. අපිට අභියෝගයක් තියෙනවා. ඒ අභියෝගය ඔබ පැහැදිලිවම දන්නවා. මේ වසර මැතිවරණ වසරක්. මේ වසර මේ රටට අලූත් ආණ්ඩුවක් හැදෙන හදන වසරක්. ඒ හදන අලූත් ආණ්ඩුව සඳහා තමයි අද තමුන්නාන්සේලා අපි මේ කොළඹ දිස්ත‍්‍රික් කාර්යාලය විවෘත කළේ. එතුමා කාර්යාලයට උදෘත පාඨයක් දාලා තිබෙනවා ”කොළඹ පරිවර්තනය” කොළඹ වෙනස කියලා. කොළඹ වෙනස් විය යුතුයි. එක් එක් යුග තුළ කොළඹ වෙනස් වෙලා තියෙනවා. අපේ දේශපාලන ව්‍යාපාරයට සුදුසු විදියට. ඒ නිසා කොළඹ කියන්නේ වෙනස් කරන්න බැරි දිස්ත‍්‍රික්කයක් නෙවෙයි. ඒ වෙනස කරන්න සෑම කෙනෙක්ගේ ම කැපවීම, සහයෝගය, අනුග‍්‍රහය තිබෙන්නට ඕනෑ.

ඒ වගේම අපි ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය විදියට රටට ආදරය කරන අයගේ පුළුල් ජනතා ව්‍යාපාරයක් බිහිකරගෙන ශක්තිමත් කරගෙන ඉදිරියට යන්න ඕනෑ. විශේෂයෙන් මා සඳහන් කරන්නට ඕනෑ සම්ප‍්‍රදායික දේශපාලන කතාබහත් එක්ක ඒ සම්ප‍්‍රදායේම ඇලී ගැලී සිටින අය කියනවා දේශපාලන පක්ෂ පරාජය කිරීම පිළිබඳව අපේ රටේ. දේශපාලන නායකයින් පරාජය කිරීම පිළිබඳව. අපට අද තිබෙන්නේ පක්ෂ හෝ නායකයින් පරාජය කිරීම නෙවෙයි. අද අපට තිබෙන්නේ රටට ද්‍රෝහී ජනතාවට ද්‍රෝහී බලවේග හරියට හඳුනාගෙන ඒ බලවේග පරාජය කිරීමයි. එය මා බොහොම පැහැදිලිව තමුන්නාන්සේලාට කියන්න ඕනෑ. සෑම දේශපාලන පක්ෂයකම රටට ආදරය කරන පිරිසක් ඉන්නවා. සෑම දේශපාලන පක්ෂයකම අවංක පිරිසක් ඉන්නවා. ඒ වගේම රටට ද්‍රෝහිකම් කරන, තමන් ගැන විතරක් හිතන පිරිසක් ඉන්නවා. මේ පවතින දේශපාලන පසුබිම හා දේශපාලන වාතාවරණය තුළ අපි හිතන්නට ඕනෑ අපි තෝරා ගන්නට ඕනෑ, මේ රටට ආදරය කරන පිරිසිදු දේශපාලන ව්‍යාපාරයකට සුදුසු නායකයින් සහ ක‍්‍රියාකාරීකයින්, අනුගාමිකයින් සහ සාමාජිකයින් මේ වැඩපිළිවෙළ ඉදිරියට ගෙන යන්න.

මේ රටේ අද සිදුවන වංචා, දූෂණ, හොරකම්, නාස්තිය, අක‍්‍රමිතාවයන් පිළිබඳව මට නම් අදත් පුදුමයි. 1994 ගත්තොත් වසර 17ක එක්සත් ජාතික පක්ෂ ආණ්ඩුව පරාජය කරලා චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ සටන් පාඨය වුණේ කුමක්ද. දූෂණය හා භීෂණය පරාජය කරමු කියලා. අපි භිෂණය පරාජය කරලා තිබෙනවා. විශේෂයෙන්ම ගෙවී ගිය වසර හතරේ භිෂණය පැහැදිලිව පරාජය කරලා තිබෙනවා. මම එය ඕනෑම කෙනෙකුට අභියෝග කරනවා නැහැයි කියන්න කියලා. නමුත් ගතවූ වසර 25 ක 30 ක කාලය තුළ කිසිම දේශපාලන පක්ෂයකට ආණ්ඩුව වෙනස් කරන මැතිවරණයක දී සටන් පාඨයක් වෙච්ච දූෂණය පරාජය කරන්න පු`එවන් වී නැහැ. දූෂිතයන් සහ දුෂිත බලවේග ශක්තිමත් වෙලා තියෙනවා. මම ඒ පිළිබඳ විස්තර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ.

මත්ද්‍රව්‍ය ජාවාරම වෙනත් වෙළෙඳ ව්‍යාපාරත් එක්ක තිබෙන පුළුල් ජාවාරමක්. රටේ අස්සක් මුල්ලක් නෑර දූෂණය කියන එක පිරිලා ඉතිරිලා ගිහින් තිබෙනවා. කෙනෙක් අහන්න පුළුවන් ඔබ ජනාධිපති ඔබ අතේ පොලීසිය තියෙනවා ඇයි ඒවා වෙනස් කරන්න බැරිද කියලා. ඒවා වෙනස් කරන්න පැය විසිහතරෙන් පුළුවන් කමක් නැහැ. මං මගේ අතට පොලිසිය අරගෙන දැන් මාස දෙකකට අඩුයි. ඒ කාලය තුළ දහසක් අභ්‍යන්තර වෙනස්කම් කරලා තියෙනවා. පොලිසිය නීතිය හා සාමය වගේම පොලිසිය රටට ගැලපෙන විශේෂයෙන්ම සමාජ විරෝධී, නීති විරෝධි දූෂිත තත්ත්්වයෙන් වෙනස් කරන්න, මර්ධනය කරන්න, ශක්තිමත් පොලිසියක අවශ්‍යතාවය ගොඩනඟන්න මං පටන් අරගෙන තියෙනවා. නමුත් පුළුල් දූෂිත බලවේගවලට මේ රටේ විශාල ශක්තියක් තිබෙනවා.

ඒවා දේශපාලන පක්ෂ භේද වලින් තොරවයි තිබෙන්නේ. මේවා රටක් විදියට හදුනාගෙන අපේ වගකීම් මොනවද කියලා තේරුම් අරගෙන රටට ආදරේ කරන පිරිසක් එක්ක රට හදන්න ඉදිරියට යන්න අපි සියලූදෙනා එකට එකතු වෙන්න කියන ගෞරවනීය ඉල්ලීමයි ඔබ වගේම රටේ සෑම කෙනෙකුගෙන්ම මට ඉල්ලා සිටින්න වෙන්නේ. ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂයේ ඉතිහාසය, බණ්ඩාරනායක මැතිතුමාගේ නායකත්වය, බණ්ඩාරනායක මැතිතුමා එදා පක්ෂය හදලා ආණ්ඩුව හදලා ඔවුන්ට දුන්න අභියෝග දුෂ්කරතා ජීවිත පුජා කිරීම් එදාමෙදා තුල බණ්ඩාරනායක මැතිනියගේ අත්දැකීම් කඳුළු සැළුෑ බණ්ඩාරනායක මැතිනිිිය පක්ෂය සහ රට වෙනුවෙන් ත‍්‍රස්තවාදීන්ගේ ඉලක්කවලට ලක්වුණු චන්ද්‍රිකා බණ්ඩාරනායක මැතිනියගේ අත්දැකීම් ඒ වගේම යුද්ධය ත‍්‍රස්තවාදය පරාජය කිරීමට මහින්ද රාජපක්ෂ මහතාගේ අත්දැකම්. මේ සියල්ලත් එක්ක පෝෂණය වෙච්ච පක්ෂයක් ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය.

මේ පක්ෂය වෙනුවෙන් නායකයෝ විතරක් නෙවෙයි බණ්ඩාරනායක මැතිතුමා විතරක් නෙවෙයි මේ රටේ වැඩ කරන කම්කරුවෝ, ප‍්‍රගතිශීලීන්, පීඩිතයින් කොච්චර මැරුම්කාලා තියෙනවද? මරණයට පත්වෙලා තියෙනවද? වෙඩිකාලා තියෙනවද? අතපය නැතිවෙලා තියෙනවද? පක්ෂයේ ආරම්භයේ සිටම අපිට උරුම වුයේ පංති සටනක්. ප‍්‍රගතිශීලී සටනක්. එ් ප‍්‍රගිතිශීලි පංති සටන කියන එක එදා මෙදා දේශපාලන ලෝකයේ සිදුවුනු වෙනස්කම් එක්ක අද නව ආර්ථික ක‍්‍රමවේදයක් නව සමාජ බලවේගයක් නව සංස්කෘතික බලවේගයන් සමග අපි අලූතෙන් හිතලා අලූතෙන් සැලසුම් කරලා තියෙනවා. අපි පනහේ දශකේ හිතපු විදියට ඉදලා ආණ්ඩුව හදන්න බැහැ. හැටේ දශකේ හැත්තෑවේ දශකේ අසුව දශකේ අනූව දශකේ හිතපු විදියට හිතලා ආණ්ඩුව හදන්න අද පුලූවන් කමක් නැහැ. අද ආණ්ඩුවක් හදන්න පුළුල්ව රටට ආදරේ කරන සහ රටට ආදරයක් නැති තමන් විතරක් වර්ධනය වෙන රට අමතක කරන පිරිස් සමග මේ සටන කරන්නේ කොහොමද කියන එක අප විසින් පැහැදිලිව තේරුම් ගත යුතුව තිබෙනවා. දූෂිත බලවේග පරාජය කලයුතු වෙනවා.

රට විනාශ කරන විදේශීය නියෝජිතයින් පිළිබදව අපි හොදින් හදුනාගැනීම අවශ්‍යය වෙනවා. විදේශ බලවේග අපි බොහෝම පැහැදිව තේරුම් ගත යුතු වෙනවා. මේ රටේ තිබෙන දහස් ගණනක් රාජ්‍ය නොවන සංවිධාන රටට ආදරේ හිතවත් ඉතා හොද එන්.ජී. ඕ තියෙනවා. නමුත් මේ රට අපිට තිබෙන සංස්කෘතිය, අපේ උරුමයන්, අපේ දේශීයත්වය, අපේකම් ඒ සියල්ල විනාශ කරන්න ලෑස්තිවෙච්ච විදේශීය රාජ්‍ය නොවන සංවිධාන රාශියක් අද මේ රටේ දේශපාලනයට අතදාලා තියෙනවා. මේ රටේ සංවර්ධනයට අතදාලා තියෙනවා. මේවා හදුනාගත යුතුව තිබෙනවා. පසුගිය අවුරුදු පනහක හැටක සම්ප‍්‍රදායික දේශපාලනයට වඩා මේ ඇතිවෙලා තිබෙන අලූත් දේශපාලන ප‍්‍රවණතා පිළිබදව අවබෝධයකින් කටයුතු කිරීම අවශ්‍යවෙලා තිබෙනවා.ඒ නිසා පාක්ෂිකයාටත් ගමටත් ජනතාවටත් විශේෂයෙන් මේ රටේ උගත් නව පරපුරටත් ඔවුන්ගේ සිතුම් පැතුම් සහ චින්තනයන් සමග නව දේශයක් ගොඩනගන්න ඉදිරියේදී විශේෂයෙන්ම මේ අප අතර අලූත් ආණ්ඩුවක් හදන්න තමුන්නාන්සේලා අපි රටට ආදරේ කරන පැහැදිළිි දේශපේ‍්‍රමී දේශමාමක පිරිසිදු බලවේග හදුනාගෙන ඉදිරියට යෑමේ අවශ්‍යතාවය සෑම කෙනෙකුටම පැහැදිලි කිරීම අවශ්‍යයයි.ඒ නිසා අද දවසේ මේ කාර්යාලය විවෘත කිරීම තුල විශේෂයෙන්ම පක්ෂයේ ප‍්‍රතිසංවිධාන වැඩපිළිවෙළේ දැන් ආරම්භ කරලා තියෙනවා.

නව දිස්ත‍්‍රි‍්‍රක් නායකයින් නව සංවිධායකයින් සමග මේ වැඩ පිළිවෙළ අපි ශක්තිමත්ව ඉදිරියට ගෙනියලා ඉදිරි මාස තුනක කාලසීමාව තුළ ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය නැවත ශක්තිමත් බලවේගයක් කියන එක රටට පෙන්වන්න සියලූදෙනාම පැය විසිහතර පුරා කැපවෙන්න කියන ඉල්ලීම මම තමුන්නාන්සේලාගෙන් කරනවා. කම්මැලිකමට ආණ්ඩු හදන්න පුලූවන්කමක් නැහැ. ගණන් හදහද හිත හිත ආණ්ඩු හදන්න පුලූවන්කමක් නැහැ. අපි දුර්වලයි කිය කිය ආණ්ඩු හදන්න පුලූවන්කමක් නැහැ. අපි වැටිලයි කියලා හිත හිත ආණ්ඩු හදන්න පුලූවන්කමක් නැහැ. අපිට දිනන්න බැහැ කියලා හිත හිත ආණ්ඩු හදන්න පුලූවන්කමක් නැහැ. අපි දිනනවා අපි ජයග‍්‍රහණය කරනවා අපි ශක්තිමත් වෙනවා කියන එක සෑම කෙනෙකුගේම කටේ තියෙන්න ඕන ඒ හඩ තියෙන්න ඕනෑ. එතනින් තමයි රට අවදි වෙන්නේ. එතනින් තමයි පාක්ෂිකයා අවදි වෙන්නේ. ඒ නිසා ජයග‍්‍රහණය පිළිබදව සටන් පාඨයත් සමග අපි ශී‍්‍ර ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් කරමු. රටට ආදරේ කරන හොද ආණ්ඩුවක් හදමු.

මේ රටේ තිබෙන නව දේශපාලන ආර්ථික සහ සමාජ සංස්කෘතික බලවේගයන් හඳුනාගෙන අපි යා යුතු ගමන් මග සකස් කරගන්න අවශ්‍යයි. තිලංග සුමතිපාල මහත්මයා මේ දිස්ති‍්‍රක්කයේ නායකයා විදියට පත්කළේ එතුමා පක්ෂයට ලොකුම කැපවීමක් කරන කෙනෙක් නිසයි. මම කලින් කිව්ව විදියට. තිලංග හොඳ කළමනාකරුවෙක්. දිස්ත‍්‍රික් නායකයෙක් කියලා කියන්නේ හොඳ කළමනාකරුවෙක්. දේශපාලන නායකයෙක් වගේම. කොළඹ දිස්ත‍්‍රික්කයේ අපේ සියලූ පාර්ලිමේන්තු මැති ඇමතිවරු, පළාත් සභා මැති ඇමතිවරු. සියලූ පළාත් පාලන මැති ඇමතිවරු, සංවිධායකවරු, පාක්ෂිකයන්, ඒ සියලූදෙනාගෙන් ම මම ඉතාමත් කාරුණිකව ගෞරවයෙන් ඉල්ලීමක් කරනවා අපි සියලූදෙනාම එකට එකතු වෙලා මේ ගමන යමු. තිලංග සුමතිපාල මහතාගේ නායකත්වයෙන් යුතුව කොළඹ දිස්ත‍්‍රික්කයේ ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය ශක්තිමත් බලවේගයක් කරලා විශිෂ්ට ජයග‍්‍රහණයක් ලබා ගන්න අප සියලූදෙනාම අපේ වගකීම් සහ යුතුකම් ඉටුකරමුයි කියන ගෞරවනීය ආයාචනය කරමින් ඔබෙන් සමු ගන්නවා.

Share This Post

NEW