රට හමුවේ ත්‍රස්ත අනතුරක් නොමැති අතර මතුව තිබෙන්නේ අවස්ථාවාදීන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමට දරන උත්සාහයක් – ජනපති පවසයි

රට හමුවේ ත්‍රස්ත අනතුරක් නොමැති අතර මතුව තිබෙන්නේ අවස්ථාවාදීන්ගේ  පටු අරමුණු ඉටුකර ගැනීමට දරන උත්සාහයක් – ජනපති පවසයි

අද වන විට රට හමුවේ ත්‍රස්ත අනතුරක් නොමැති අතර මතුව තිබෙන්නේ අවස්ථාවාදීන්ගේ පටු අරමුණු ඉටුකර ගැනීමට දරන උත්සාහයක් බව ජනාධිපතිතුමා පවසයි.

රට තුළ තහවුරු කර තිබෙන නිදහස අවභාවිත කරමින් තොරතුරු නොදැන ඇතැමුන් කරන වැරදි ප්‍රකාශවලට රට අරාජික කිරීමට ඉඩ තැබිය නොහැකි බව ද ජනාධිපතිතුමා ප්‍රකාශ කළේ පසුගියදා කළුතර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයේ දී කළුතර දිස්ත්‍රික්කයේ දේශපාලන අධිකාරිය, රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානීන් සමඟ පැවති හමුවේ දී ය.

පක්ෂ විපක්ෂ බේදයකින් තොරව දේශපාලනඥයන් සහ පළාත් පාලන ප්‍රධානින් මෙන්ම රාජ්‍ය නිලධාරින් සහ ආරක්ෂක අංශ ප්‍රධානිහු මීට එක්ව සිටි අතර රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට ගෙන යන වැඩපිළිවෙළට ප්‍රාදේශීය දේශපාලන නායකයන්ගෙන් සහ රාජ්‍ය නිලධාරින්ගෙන් ආරක්ෂක අංශවලට ලැබිය යුතු සහය පිළිබඳවත්, රට තුළ ගැටුම්කාරි පරිසරයක් ඇතිවීමට ඉඩ නොතබා සියලු ජන කොටස් අතර විශ්වාසය තහවුරු කරමින් සාමකාමී පරිසරයක් පවත්වාගෙන යාමට ගතයුතු පියවර පිළිබඳවත් මෙහි දී දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරිනි.

මෙම සාකච්ඡා මාලාව පසුගිය දිනවල ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පළාත් සහ දිස්ත්‍රික් මට්ටමින් පැවැත්වුණු අතර එහි 12 වන දිස්ත්‍රික් වැඩසටහන කළුතර දි පැවැත්විණි.

අනෙකුත් දිස්ත්‍රික්ක ද ආවරණය කරමින් මෙම සාකච්ඡා මාලාව ඉදිරියේ දී ජනාධිපතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වීමට නියමිතය.

මෙහි දී වැඩිදුරටත් අදහස් දැක්වූ ජනාධිපතිතුමා කියා සිටියේ මෙරට ආරක්ෂක අංශ කෙරෙහි පූර්ණ විශ්වාසයක් තබමින් රටේ ජාතික ආරක්ෂාව තහවුරු කිරීමට අවශ්‍ය වැඩපිළිවෙළ මේ වන විට ක්‍රියාවට නංවා අවසන් බවත්, රට අනතුරේ නම් ඒ පිළිබඳ සැඟවීමට ආරක්ෂක අංශ හෝ තමා කිසිවිටෙකත් කටයුතු නොකරන බවත් ය.

සියලු පාසල් දරුවන්ට පාසලට පැමිණෙන ලෙස රජය දැනුම් දුන්නේ ආරක්ෂක අංශවලින් ඒ පිළිබඳ පැහැදිලි සහතිකයක් ලබා ගැනීමෙන් අනතුරුව බව ප්‍රකාශ කළ ජනාධිපතිතුමා දරුවන්ගේ අධ්‍යාපනය, රටේ දෛනික කටයුතු පමණක් නොව ජාතික සමගිය සහ සංහිඳියාව වෙනුවෙන් ගෙන යන වැඩපිළිවෙළ ද කඩාකප්පල් කිරීමේ උත්සාහයක් රට තුළ ක්‍රියාත්මක බව පෙන්වා දුන්නේ ය.

කෙසේ වෙතත් රටත්, රටේ දරුවන්ගේ හෙට දවසත් වෙනුවෙන් සියලු දෙනා අවබෝධයෙන් කටයුතු කළයුතු අතර ත්‍රස්තවාදී අභියෝගය ජය ගැනීමට සේම ආර්ථික, සමාජ අභියෝග ජය ගනිමින් යහපත් රටක් ගොඩනැගීමේ කාර්යය වෙනුවෙන් සියලු දෙනා කැපවිය යුතු බව සඳහන් කළේය.

කළුතර දිස්ත්‍රික් ආරක්‍ෂක කමිටු රැස්වීම අමතමින් ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමා කළ කතාව
2019.05.12 වන දින

සෑම දිස්ත්‍රික්කයකටම, සෑම පළාතකටම ගොස් ඒ ප්‍රදේශවල තිබෙන ආරක්ෂක තත්ත්වය සමාලෝචනය කිරීම සඳහා ගෙනියන වැඩපිළිවෙළ අනුව අද කළුතරට පැමිණියා. මේ වන විට මම දිස්ත්‍රික්ක 12 ක ට ගිහින් තිබෙනවා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව හැර අනෙකුත් රජයේ නිලධාරී මහත්වරු ඉරිදා විවේකයෙන් ඉන්න දවසක්. නමුත් ඒ විවේකය ගැන නොසලකා ඔබත් ත්‍රිවිධ හමුදාවේ පොලිස් සහ අනෙකුත් සියලු කාර්ය මණ්ඩල මැති ඇමතිවරු සියලුම දෙනා මේ සාකච්ඡාව සාර්ථක කිරීමට දක්වන උනන්දුව සහයෝගය සහ කැපවීම පිළිබඳව මම ස්තූතිවන්ත වෙනවා.

අප්‍රේල් 21 වෙනිදා සිදුවීමට මේ වන විට සති 03 ක් පමණ ගත වී තිබෙනවා. මේ සති 03 ක කාලය තුළ අපේ බුද්ධි අංශත්, යුද, නාවික, ගුවන් සහ පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ ඉතාමත් විශිෂ්ට සේවාවක් ඉටු කර තිබෙනවා. අප්‍රේල් 21 ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ ත්‍රස්ත සංවිධානයේ ත්‍රස්තවාදින්, අපිට වඩා ප්‍රබල රටවලවලට පහර දුන්නා. රුසියාව, ඇමරිකාව, යුරෝපය, ඔස්ට්‍රේලියාව, කැනඩාව, ඉන්දුනීසියාව, මැලේසියාවට වගේම ඉන්දියාවටත් අවස්ථා ගණනාවකදීම පහර දුන්නා. ඒ සෑම රටක්ම අධි තාක්ෂණයෙන් ශක්තිමත්, ඉහළම යුද ශක්තියක් තිබෙන රටවල්. ඒ පහරදීම්වලට පිළිතුරු දුන්නේ ත්‍රස්තවාදින්ගේ මූලස්ථාන විනාශ කිරීමෙන්. අපි පුංචි රටක් වුවත් අපේ ආරක්ෂක හමුදා ඉතාමත් ශක්තිමත්. වසර 30 ක දීර්ඝ කාලීන ප්‍රබල ත්‍රස්තවාදී සංවිධානයක් පරාජය කර පුළුල් අත්දැකීම් සහ අවබෝධයක් තිබෙන පිරිසක්. අපේ ආරක්ෂක අංශවලට මේ ත්‍රස්ත මූලස්ථානය තිබෙන්නේ කොහෙද කියලා හොයලා පහර දෙන්න ශක්තියක් නැහැ. ඇතැම් වෙලාවට සිරියාවේ ද ලෝකයේ වෙනත් රටක ද කියලා අපේ රටේ ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ දන්නෙ නැහැ. එය ඇමරිකාවටත් රුසියාවටත් තවම හරියට හොයා ගන්න බැහැ. ඒ හේතුව නිසා තමයි 21 ප්‍රහාරයෙන් පසුව 23 වෙනිදා මේ ත්‍රස්ත ව්‍යාපාරයේ ප්‍රධානීන් ලෝකයේ කොහේ හරි රටක ඉඳලා ප්‍රකාශයක් නිකුත් කළේ ලංකාවේ පිපිරීම් සමඟ ප්‍රහාරයේ වගකීම ඔවුන් භාර ගන්නවා කියලා. ඊළඟට අප්‍රේල් 26 වෙනිදා නැඟෙනහිර සයින්දමරුදු ප්‍රදේශයේ සිදු වූ ගැටුම් සහ පිපිරීම්වල වගකීම් ඔවුන් භාර ගන්නවයි කියලා මේ ත්‍රස්ත ව්‍යාපාරයේ නායකයා කොහේ හෝ සිට මාධ්‍යවලට ප්‍රකාශයක් කළා. ඇමෙරිකාව, රුසියාව ප්‍රමුඛ යුරෝපයේ ප්‍රබල රටවල් සිතා ගෙන සිටියේ මීට වසර 04 කට පෙර මේ ත්‍රස්තවාදී ව්‍යාපාරයේ නායකයා මැරුණයි කියලා. නමුත් ලංකාවේ ප්‍රහාරයෙන් පසුව, මේ ව්‍යාපාරයේ නායකයා වසර 04 කට පසුව එළියට ඇවිල්ලා ප්‍රකාශයක් කළා ලංකාවේ ප්‍රහාරයේ වගකීම ඔවුන් භාර ගන්නවා කියලා. මම හිතනවා ඒ ප්‍රකාශයත් එක්ක ප්‍රබල රටවල් නැවත ඔහු සොයන්න පටන් ගන්නට ඇති. නමුත් අපිට එහෙම අධි තාක්ෂණික යුද ශක්තියක් නැහැ, ලෝකය පුරා හොයලා පහර දෙන්න. නමුත් අපේ ආරක්ෂක හමුදාවත් පොලිසියත් බුද්ධි අංශත් ඉතාම දක්ෂ වුණා ඉතාම කෙටි කාලයකින් ලංකාවේ ත්‍රස්තවාදින් සියලුදෙනාම අත්අඩංගුවට ගන්න. ඒවගේම පුපුරණ ද්‍රව්‍ය, අවි ආයුධ, යුද උපකරණ ඔවුන්ගේ මූලස්ථාන, පුහුණු මධ්‍යස්ථාන ඒ සියලු දේ සොයා ගන්න අපේ බුද්ධි අංශ සහ හමුදාව පොලිසිය ඉතාම දක්ෂ වුණා.

මේ පිළිබඳව රටේ විවිධ විවේචන කරන අය ඉන්නවා. සමහර විට දේශපාලන කුහකකම් වෙන්න පුළුවන්. සමහර විට වෙනත් වෙනත් අවස්ථාවාදය වෙන්න පුළුවන්. ආරක්ෂාව පිළිබඳව තවමත් කිසිම දෙයක් වෙලා නැහැයි කියන පිරිසක් ද ඉන්නවා. රජයට චෝදනා කරනවා මේ කටයුතු ප්‍රමාණවත් නැහැ. ආරක්ෂාව මදි කියලා. අපි දරුවන්ට පාසැල් එන්න කිව්වේ ආණ්ඩුව වගකීමක් අරගෙන. වගකීම ගන්නේ නැතිව ලක්ෂ 40 කට වැඩි දරුවන්ට පාසල් එන්න කියන්නේ නැහැ. නමුත් දරුවෝ එව්වේ නැහැ. දරුවෝ එව්වේ නැත්තේ ඇයි? දරුවෝ එව්වේ නැත්තේ ප්‍රබල කිහිපදෙනෙක් වගේම, සමාජ මාධ්‍ය හරහා කිව්වා ආරක්ෂාව නැහැ දරුවෝ එවන්න එපා කියලා කීව නිසයි. නමුත් ඔබ දකින්න ඇති පාසලට දරුවෝ එව්වේ නැති වුණාට ටියුෂන් පන්ති සේරම පිරිලා. ආරක්ෂක විධිවිධාන හොඳින් හදලා තිබෙන පාසල්වලට දරුවෝ එවන්නේ නැහැ. පොලිසිය, ත්‍රිවිධ හමුදාව, දෙමව්පියෝ ඇතුළු ගුරු මණ්ඩල සියලුදෙනාම පාසල්වල ආරක්‍ෂක විධිවිධාන හොඳට ශක්තිමක් කර තිබෙනවා. අපි දරුවන්ට එන්න කියලා කිව්වේ, බුද්ධි අංශ සහ විශේෂයෙන් හමුදා ප්‍රධානීන් දැන් දරුවෝ පාසල් ආවට ප්‍රශ්නයක් නැහැයි කියලා පැහැදිලි සහතිකයක් දුන්නට පස්සේ.

සමහර රජයේ කාර්යාලවලට කවුරු හරි කෝල් එකක් දුන්නහම වහලා දාලා යන්න යනවා. දැන්නම් ඒක නැවතිලා. සමහර විට කාර්යාලයේම ඉන්න පියන් කෙනෙක් වෙන්න පුළුවන්, අයිනකට ගිහිල්ලා කෝල් එක දෙන්නේ ආයතන ප්‍රධානියාට මේ කාර්යාලයට ගහනවයි කියලා. මේ සමාජය හැදිලා තිබෙන්නේ එහෙමයි. ඊයේ සමාජ මාධ්‍යයන්හි ඔබ දකින්නට ඇති භික්ෂුන් වහන්සේ නමක් කතා කළා. හෙට 13 වෙනිදාට හැටදහසක් මැරෙනවයි කියලා. අපි ඊට පසුව උන්වහන්සේ ළඟට පොලිසිය යැව්වා. අපිට අත්අඩංගුවට ගන්නත් පුළුවන් හදිසි නීති බලතල යටතේ, මේ වගේ ඉතාමත් වැරදි රට නොසන්සුන් කරන ප්‍රකාශ නිකුත් කිරීම ගැන. නමුත් අපි අත්අඩංගුවට ගත්තේ නැහැ. පොලිස් නිලධාරින් ගිහින් මේ ගැන කරුණු විමසුවහම උන්වහන්සේ ඊට වැඩිය වෙනස් විදියට ප්‍රකාශ කරන්න පටන් අරන් තිබෙනවා. රටේ ආරක්ෂාව පිළිබඳව ප්‍රශ්නයේදී ඉතාම ප්‍රමුඛ විශිෂ්ට වැඩකොටසක් ත්‍රිවිධ හමුදාව සහ පොලිසිය ඉෂ්ට කරනවා. සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුවත් එක්ක. මිලියන 21 ක පමණ ජනතාවට ඉන්නේ ලක්ෂ 04 කටත් අඩු ආරක්ෂක අංශ පිරිසක්. නමුත් ඒ අංශ විසින් හැකි උපරිම ලෙස සෑම ආයතනයකම ආරක්ෂක විධිවිධාන ශක්තිමත් කර තිබෙනවා. මේ ආරක්ෂක කටයුතු සඳහා මොනතරම් යෙදෙව්වත් දෛනිකව පොලිසියට අනිවාර්යයෙන් කළ යුතු තවත් වෙනත් වැඩකොටස් රාශියක් තිබෙනවා. උසාවි යන එක. නඩු, වෙනත් හදිසි බරපතළ පැමිණිලි හෝ මහජනතාවගේ වෙනත් කරදර පිළිබඳව. මාර්ගවල රාජකාරි. ඒවා පොලිසිවල දෛනික අත්‍යවශ්‍ය සේවාවන්. ඒ සේවාවන් කරන ගමන් අමතර අනිවාර්යයෙන් කළ යුතු මේ සේවාවේ කටයුතුත් පොලිසිය ඉෂ්ට කරනවා. පොලිසිය සහ ත්‍රිවිධ හමුදාව ආරක්ෂක අංශවල මේ සියලුදෙනා දවල් රෑ නැතිව ඉතාම ඉහළ විශිෂ්ට සේවාවක් කරන කොට අපේ රටේ සංවර්ධනයේ ප්‍රමුඛ බළකාය වන ලක්ෂ 16 ක් වන රාජ්‍ය සේවයත් ඒ බලඇණිවලට එකතු වෙන්න ඕනෑ. මම සතුටු වෙනවා දිසාලේකම්තුමාලා, ප්‍රාදේශීය ලේකම්තුමාලා බොහෝ ආයතන ප්‍රධානීන් ඒ වගකීම් ඉතා හොඳින් ඉෂ්ට කිරීම ගැන.

අපි තව තවත් ශක්තිමත් විය යුතුයි. ලක්ෂ 16 ක රාජ්‍ය සේවය කියලා කියන්නේ විශාල බල ඇණියක්. මම ඉල්ලනවා මේ තත්ත්වය ස්ථීරව යහපත් තැනට ඇවිත් ජනතාවගේ විශ්වාසය ඇතිවන තෙක්, සතියකට සැරයක් සියලුම ආයතන ප්‍රධානීන් තමන්ගේ කාර්යාලවල අඩුම වශයෙන් විනාඩි 35-40 ක පමණ සාකච්ඡාවක් ගන්න. කාර්යාලයීය ප්‍රශ්න කතාකරන්න, කාර්යාලයට යන එන අය ගැන නිරීක්ෂණය කරන්න, විශේෂයෙන්ම ප්‍රාදේශීය ලේකම්තුමන්ලාටයි ක්ෂේත්‍ර නිලධාරීන් විශාල පිරිසක් අයත් වන්නේ. ක්ෂේත්‍ර නිලධාරීන් හරහා ගම්වල තොරතුරු, ආරක්ෂක තත්ත්වය ගැන සොයා බලා මේ වැඩපිළිවෙළ හදන්න පුළුවන්. ඔබ දන්නවා දිසා ලේකම් කාර්යාල හා ප්‍රාදේශීය ලේකම් කාර්යාල කියන්නේ පොලිස් බලතල තිබෙන ආයතන දෙකක්. ඒ ප්‍රදේශයේ යම් යම් අඩුපාඩු තිබෙනවා නම් ආරක්ෂක අංශයට දන්වන්න අපේ ප්‍රදේශයේ මෙවැනි අඩුපාඩු තිබෙනවා කියලා. එවිට ඒවාට අවශ්‍ය විසඳුම් හා පිළියම් ලබාදෙනවා.

අපි වසර 30 ක් බෝම්බත් සමග ජීවත්වුණ ජනතාවක්. රටේ අති බහුතර ජනතාව මැරිලා ඉපදුන අය නෙමේ. ඔබ දන්නවා මම 06 වැනි ජනාධිපතිවරයා. ඉතිහාසයේත් මීට වඩා බෝම්බ පිපුරුවා. ආරක්ෂක ලේකම්ලා, යුද හමුදාපතිවරුන් ඉලක්ක කරගෙන බෝම්බ පිපුරුවා. මමත් ඒ කාලයේ ත්‍රස්ත ප්‍රහාර 05ක ට මුහුණ දුන්න කෙනෙක්. ඒ නිසා ඒ අත්දැකීමත් සමඟ අපි හිතන්න ඕන, මේක මේ කවදාවත් නැතිව හදිසියේ පත්වුණ ප්‍රශ්නයක් නෙමේ කියලා. ඇමරිකාවේ ලෝක වෙළෙඳ කුලුණු කඩා වැටෙන්න පහර දුන්න වෙලාවේ 2700 ක ට වඩා මියගියා. අදත් ඇමැරිකාවට කියන්න බැහැ කොයිතරම් මැරුණ ද කියලා. ලෝකයේ ප්‍රබලම රටක් වන ඇමරිකාවට බෝම්බ දානකල් එයාලා දන්නේ නැහැ. යුරෝපයේ සියලුම රටවල්වලට පාහේ ගැහුවා. එතකොට අපි යුද්ධයේ අත්දැකීම් තිබෙන පිරිසක් විදියට අපි කොහොමද මේ ප්‍රශ්නයට මුහුණ දෙන්නේ.

80 දශකයේ මුල් භාගයේ තමයි එල්.ටී.ටී.ඊ ය ශක්තිමත් වුණේ. අපි කනගාටුවෙන් වුණත් කියන්න ඕනේ 83 කළු ජූලිය. ඊට කලින් එල්.ටී.ටී.ඊ සංවිධානය ශක්තිමත් වෙලා තිබුණේ නැහැ. නමුත් දමිළ කෝටිපති ව්‍යාපාරිකයන්ට, උගතුන්ට, බුද්ධිමතුන්ට, තරුණයන්ට, එල්.ටී.ටී.ඊ සංවිධානයට කිසිදු සම්බන්ධයක් නැති අයට ගැහුවා, ගිනිතිබ්බා. රාජිත සේනාරත්න මහතා දන්නවා අද සිංගප්පූරුවේ සිටින හෘද රෝග විශේෂඥ වෛද්‍ය සිවදාසන්. අපේ රෝගීන් බොහෝ අය යනවා එතුමා ගාවට. එතුමා හොඳට සිංහලෙන් කතාකරනවා. ඇයි සිංගප්පූරුවේ ආවේ කිව්වාම කියනවා 83 කලබල කාලේ අපේ අයට ගහලා හිරිහැර කළා, දෙහිවල ඉඳලා තමයි ඒ කාලයේ මහරෝහලේ වැඩට ආවේ. අද සිංගප්පූරුවේ රෝහලේ සිටින ප්‍රධාන හෘද රෝග විශේෂඥයෙක්. එතකොට ඒ අපේ සම්පත්. එදා එල්.ටී.ටී.ඊ එක ශක්තිමත් වුණේ හැම දමිළ ජාතිකයෙක්ම කොටියෙක් කියලා හිතාගෙන ජනතාව කොන් කරපු නිසා. අද මේ ප්‍රශ්නයේ දී ආරක්ෂක අංශ බොහෝම පැහැදිලිවම හොයාගෙන තිබෙනවා මේ ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පිරිස ඉන්නේ 130-140 ක් පමණ කියලා. එතකොට අද එතැනින් කොටසක් මියගිහින් තිබෙනවා. ප්‍රබල හැම කෙනෙක්ම අද අත්අඩංගුවට ගෙන තිබෙනවා. නායකයෝ අත්අඩංගුවේ සිටිනවා. මේ ඔක්කොම බලලා තමයි බුද්ධි අංශ කිව්වේ දැන් ජනතාව සාමාන්‍ය තත්ත්වයට පත්වෙන්න කියලා. අපි කාර්යාල වැහුවොත්, පාසල් වැහුවොත්, මේක ත්‍රස්තයින්ගේ රට බවට පත්වෙනවා. අපි මේ ප්‍රශ්නයට මුහුණ දෙන්න ඕන.

වසර තිහක යුද්ධය කාලයේ මීට වඩා ප්‍රබල අවස්ථා තිබුණා. මේක කොහෙත්ම අඩු තක්සේරු කරනවා නෙමේ. මේක ම්ලේච්ඡ ප්‍රහාරයක්. මේ සිදුවීම් සමග සමාජය නොසන්සුන් කරන්න කටයුතු කරන්නේ දේශපාලන සංවිධාන නෙමේ. නමුත් මේ නිකම් ඉන්න අය දුරකථනය ගන්නවා, ලැප්ටොප් එක ගන්නවා, මොකක් හරි එකක් හදලා මේක බෙදාහරිනවා. එතකොට විශාල විනාශයක් වෙනවා. දැන් මේ හෙට ගහනවා කියලා යන කතන්දරය කොයිතරම් ප්‍රබලයි ද කියනවා නම් ඒක පාර්ලිමේන්තුවේත් කතාවුණා. මම නම් හිතන්නේ නැහැ එහෙම දෙයක් වෙයි කියලා බුද්ධි අංශ ලබා දී ඇති තොරතුරුත් සමඟ. මේකට මොකක්ද මුල. ප්‍රංශයේ ලංකා පැරිස් තානාපති කාර්යාලයට සිංහලෙන් ලිපියක් එවලා ගහනවා කියලා. ප්‍රංශයේ තානාපති මේක පොටෝකොපියක් මට එව්වා. එකක් විදේශ කටයුතු එකට ලබාදීලා. මට එවපු එක මම බුද්ධි අංශයට දුන්නා. මගේනම් විශ්වාසය ප්‍රංශය වගේ යුද අතින් ඉතාමත් ශක්තිමත් රටකට කියලා ගහන්නේ නම් නැහැ කියලා. මම හිතන්නේ ඒක කවුරු හරි නොසන්සුන් කරන්න කරපු වැඩක්. විශේෂයෙන් සිංහලෙන් ලියලා තිබුණ නිසා. මම හිතන්නේ නැහැ ත්‍රස්තයෝ සිංහල භාෂවෙන් එවයි කියලා. කොහොමහරි මේ ලියුම සමාජ මාධ්‍යවලට ගියා. ඊට පස්සේ තමයි කතාකරන්න ගත්තේ 13 වනදා විශාල විනාශයක් සිදුවෙනවා කියලා.

මේ වගේ දේවල්වලදී මූලික වශයෙන් මාධ්‍ය නිදහස, සැබෑ ලෙසම මනුෂ්‍යයින්ට දීලා තිබෙන්නේ. බුද්ධිමත්, උගත් අයටනේ දීලා තිබෙන්නේ. මේක නොමිනිසුන් අතට ගියාම මිනිසුන්ගේ වටිනාකම් තේරෙන්නේ නැහැ. ඒකෙන් තමයි මේ රට විනාශ කරන දේවල් හදන්නේ. ගැටුම් ඇතිකරන දේවල් හදන්නේ. ඒ නිසා අපි හැමකෙනෙක්ම මේ ගැන අවබෝධයකින් සහ අවදියෙන් සිටීම වැදගත්. ප්‍රාදේශීය ලේකම් කාර්යාල, දිසා ලේකම් කාර්යාල සතියකට සැරයක්වත් මේ ගැන සාකච්ඡා තියන්න කිව්වා වගේම ආණ්ඩුකාරවරුන්ටත් මම කිව්වා විසුරවලා තිබ්බට කමක් නැහැ සියලුම පළාත් සභා කැඳවන්න කියලා.

ඒ, මැති ඇමතිවරු කැඳවලා ඒ අයත් එක්ක සාකච්ඡා කරන්න පළාතේ තිබෙන ආරක්ෂක තත්ත්වය සහ අඩුපාඩු මොනවද කියලා. ඒ අයටත් වගකීම් ටිකක් බෙදලා දෙන්න. ඒවගේම නගර සභා, ප්‍රාදේශීය සභා සභාපතිතුමාලා කැඳවන්න. කැඳවලා තමන්ගේ බල ප්‍රදේශයේ ආරක්ෂක තත්ත්වය ගැන පොලිසියේ ප්‍රධානීන්, යුද හමුදා ප්‍රධානීන් සමඟ කතාබහ කරන්න. දැන් වෙනත් අයුරකින් මේ සමාජය නොසන්සුන් කරන්න පටන් අරගෙන, අවුරුදු 2 ට කලින් මහනුවර සිද්ධිය වගේ. මේ බව අපිට පේනවා සමාජ වෙබ් අඩවි දිහා බලපුවම. අද උදේ බුද්ධි අංශත් මට වාර්තා කළා රටේ සිංහල මුස්ලිම් ගැටුමක් හදන්න ලොකු උත්සාහයක් ගන්නවා කියලා. තමුන්නාන්සේලාගේ දිස්ත්‍රික්කයේ අලුත්ගම ප්‍රදේශයේ කාලයකට පෙර සිදු වූ සිද්ධිය පිළිබඳ අත්දැකීම් තිබෙනවා. දවස් 4ට කලින් මීගමුවේ වෙච්ච සිද්ධිය . අපිට මීගමුවේ පොලිස් ඇදිරි නීතියත් දාන්න සිදුවුණා . නමුත් වුණේ මොකක්ද. දහවල් ඉඳලා, සිංහල දෙන්නෙක් කසිප්පු බීල, මුස්ලිම් ජනතාවට බැණ බැණ එහෙට මෙහෙට ගියා. හවස් වෙනකොට වැඩිවෙන්න මේ දෙන්නා කසිප්පු බීලා මුස්ලිම් මනුස්සයෙකුට ගැහුවා. ඒක අන්තිමට වාහනයක් දෙකක් පුච්චලා ලොකු ආරවුලක් බවට පත්වුණේ.

මේ ගැටුම්වලට මුල ප්‍රධාන වශයෙන්ම ගත්තම කසිප්පු බීම. කසිප්පු බීලා කාටහරි ගහනවා. අන්තිමට ඒක රට ගිනිගන්න ලොකු ගැටුමක් . ඉතින් මම පොලිසියටත් කියන්නේ බීල දඟලනවනම්, වහාම ගෙනල්ලා කූඩු කරන්න වෙරි හිඳෙනකන්. මැති ඇමති, ආණ්ඩුකාරතුමාල, නගරාධිපතිතුමාලා, ප්‍රාදේශීය සභාවේ සභාපතිතුමාලා, මහජන නියෝජිතයින් වශයෙන් සිංහල , දමිළ මුස්ලිම් ජනතාව ජීවත් වෙන ප්‍රදේශවල, ප්‍රධානින් සමඟ සාකච්ඡා කරල ඒ ගම්වල ගැටුම් ඇති නොවෙන ආකාරයට කටයුතු කරන්න. ප්‍රාදේශීය ලේකම්, දිසාපතිතුමාල, මැති ඇමතිතුමාලා වැඩසටහනක් හදල තියෙනවා දිස්ත්‍රික් මට්ටමෙන්. ඒක ඉතාමත් හොඳයි. මම අගේ කරනවා. ප්‍රාදේශීය මට්ටමෙන් තව මෙය ශක්තිමත් කරන්න. ආරක්ෂක හමුදා කෙරෙහි විශ්වාසය තියන්න. හමුදා ප්‍රධානීන්, පොලිසියෙන් දෙන උපදෙස් කෙරෙහි විශ්වාසය තියන්න. මේ පිළිබඳව යම් වගකීමක් ඇතිව තිබෙන තත්ත්වය ගැන අවබෝධයෙන් කටයුතු කරන්නෙ.

ත්‍රස්තවාදීන් සියල්ල අත්අඩංගුවට අරගෙන තිබෙනවා. පුපුරණ ද්‍රව්‍ය විශාල වශයෙන් අත්අඩංගුවට අරගෙන තිබෙනවා. විශාල ප්‍රගතියත් තිබෙනවා. අනතුරක් තිබෙනව නම් කවදාවත් ආරක්ෂක අංශවලින් කියන්නේ නැහැ මේ විදියට නිදහසේ වැඩ කටයුතු කරන්න කියලා. දැන් මම මෙහෙම කියනකොට හිතන්න පුළුවන් එහෙම නම් ඇයි මුල් සිදුවීම වළක්ව ගන්න බැරිවුණේ කියලා. මුල් සිදුවීමේ තත්ත්වය තමුන්නාන්සේලා දන්නවා. මම 21 මේ දේ සිදුවුණාම 22 උදේම ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරතුමෙකුගේ නායකත්වයෙන් පරීක්ෂණ මණ්ඩලයක් පත්කෙරුව. මම මේ සිද්ධිය දැනගත්ත මොහොතේ ඉඳලා මට ලොකු සැකයක් ඇතිවුණා මෙවැනි සිදුවීමක් සිදුවන තෙක් වගකිව යුතු අංශ වලින් ඇයි අවශ්‍ය දේ නොකෙරුණේ කියලා. ශ්‍රේෂ්ඨාධිකරණ විනිශ්චයකාරවරුන්ගෙන් පත් කරපු මේ පරීක්ෂණ මණ්ඩලය දැන් අපිට අතුරු වාර්තා 2 ක් දීලා තිබෙනවා. අවසාන වාර්තාව ලබන සතියේ දෙයි. අතුරු වාර්තා 2ම පැහැදිලි කරලා තියෙනවා වගකිව යුත්තෝ කවුද කියලා. ඒ වාර්තා 2 ම මේ වනවිට නීතිපතිතුමාට මම යොමු කරලා තියෙනවා අවශ්‍ය ක්‍රියා මාර්ග ගන්න. ඒ නිසා වගකීම් පැහැර හැරිය කොහෙද ,කොතනද , කුමක්දයි කියන එක, ඒ පරීක්ෂණ මණඩල වාර්තාව කියයි. අවසාන වාර්තාව ආවම මම ඒක පාර්ලිමේන්තුවට ඉදිරිපත් කරනවා. මම රටට ප්‍රසිද්ධ කරනවා. එතකොට එක එක්කෙනාට ඇඟිල්ල දික් කළාට, එක එක්කෙනාට චෝදනා කළාට, මේ වගේ ප්‍රශ්නවලදී රටක් විදියට අපි වැඩ කරන්න ඕන කොහොමද කියන එක. මූලික වශයෙන් අපි හැම කෙනෙකුටම අධිෂ්ඨානයක් තියෙන්නට ඕන. අපේ රට අපි රැක ගන්න ඕනයි කියන කාරණාව. අපි දේශපාලන හේතුන් මත භාෂාව හා ආගම වෙනත් කරුණු මත, බෙදුනොත් ඒක ත්‍රස්ත ව්‍යාපාරයේ ජයග්‍රහණයක්. ඔවුන්ට අවශ්‍ය වන්නේ ඒකයි. ලෝකයේ කිසිම තැනක ත්‍රස්ත ව්‍යාපාරය ජයග්‍රහණය කරල නැහැ. අල්කයිඩාත්, බින්ලාඩන්ලාත් විනාශ වුණා. අපේ රටේ එල්.ටී.ටී. ඊ. එක. අයර්ලන්තයේ තිබුණු ත්‍රස්ත ව්‍යාපාරය. ඒ කිසිම ත්‍රස්ත ව්‍යාපාරයක් ජයග්‍රහණය කළේ නැහැ, විනාශ වුණා. මිනිසුන්ගේ නිදහස හා ප්‍රජාතන්ත්‍රවාදය සහ පොදු මතයට ත්‍රස්තවාදය විනාශ වෙනවා.

මේ ත්‍රස්ත ව්‍යාපාරයත් විනාශ කරනවා. ඒ නිසා අපි අපේ රට රැක ගන්න මේ අනවශ්‍ය කතා, නොමඟ යැවීම්, බොරු ප්‍රචාර පිළිබඳව ඔබ ප්‍රාදේශීය නායකයින් විදියට,ආයතන ප්‍රධානීන් විදියට,රැවටෙන්න එපා. ඔබ මෙතෙක් ඉටුකර තිබෙන, වගකීම ගැන මම ඉතාමත් සතුටු වෙනවා. ස්තුතිවන්ත වෙනවා. නමුත් ඉදිරි කාල සීමාව තුළත් ස්ථිරවම රට සාමකාමී වන තෙක් වගකීමෙන් ක්‍රියා කරන්න. ආරක්ෂක හමුදා පොලිසිය තම රජකාරි හරියට කරල තියෙනවා. නමුත් නොමඟ යවන, අසත්‍ය ප්‍රචාර කරන, බොරු කතා යවන, විශේෂයෙන්ම සමාජ මාධ්‍යවල වැරදි ප්‍රචාරයන් යවන, සමහර අය තොරතුරු හරියට දන්නේ නැහැ, තොරතුරු දන්නවා වගේ ඇතැම් වෙලාවට කරන වැරදි ප්‍රකාශ නිසා තමා මේ තත්ත්වයන් ඇතිවෙලා තියෙන්නේ. ඒ නිසා අපි ඔක්කොම වැඩ කරන්න ඕන. එළියට එන්න ඕන. කාර්යාල වැඩ කරන්න ඕන. පාසල් වැඩ කරන්න ඕන. ෆැක්ටරි වැඩ කරන්න ඕන. සංචාරක ව්‍යාපාරය ප්‍රමුඛ ව්‍යාපාරික ක්ෂේත්‍රය දියුණු කරන්න ඕන. ඒ ගැන අපි ආණ්ඩුවක් විදියට දීර්ඝ වශයෙන් සාකච්ඡා කරලා තියෙනවා. සංචාරක ව්‍යාපාරයට සම්බන්ධ හෝටල් හිමියන්ගේ සංගම් ඇතුළු සංචාරක මණ්ඩලයේ සහ ඒ ආයතන සියල්ල අපි පළමු සතියෙම ගෙනල්ලා ඔවුන්ගේ තියෙන ප්‍රශ්න අඩුපාඩු කළ යුතු දේවල් අපි සාකච්ඡා කළා.

ඒ අනුව අපි තීන්දුවක් ගත්තා. විනාශ වෙච්ච හෝටල්වලට ඒවයේ අලාභ ගෙවන්න. ඒ වගේම මේ ප්‍රශ්නය තුළ ව්‍යාපාරික වශයෙන් ගොඩ එන්න බැරි තත්ත්වයේ තියෙන හෝටල් ඇතුළු සංචාරක ව්‍යාපාර ආයතනවලට රජයේ අනුග්‍රහය දෙන්න. ණය අරන් තිබෙනවානම්, ඒ ණය ගෙවීම් කාල සීමාවන් දීර්ඝ කරන්න. ඒ විදියේ පහසුකම් දෙන්න අපි තීන්දු කළා. ජෝන් අමරතුංග සංචාරක ඇමතිතුමාගේ ප්‍රධානත්වයෙන් කැබිනට් අනුකාරක සභාවක් පත් කළා. දෙපාර්තමේන්තු, ආයතන, අමාත්‍යංශ ලේකම්වරුන්ගේ අනුකමිටු පත් කරල මේ ගැන අපි විධිමත් වැඩ පිළිවෙළක් මේ වනවිට අපි ක්‍රියාත්මක කරනවා. වැටුණු ආර්ථිකය ආපහු ගොඩ ගන්න. ව්‍යාපාරිකයන් සමග අපි නිතරම කතාබහ කරනවා. සාකච්ඡා කරනවා. අපි මොනවද කොහොමද කෙරෙන්න ඕනේ කියන එක ගැන. සංචාරක ව්‍යාපාරය සුළු වැඩිවීමක් තියෙනවා. එනිසා අපි හිතනවා සාමාන්‍යයෙන් මාසයක් විතර යනකොට සංචාරක ව්‍යාපාරය යහපත් තත්ත්වයට ඇතිවෙයි කියලා.

මම සියලුම තානාපතිවරුත් කැඳවලා ඒ අයගෙන් ඉල්ලීමක් කළා. ඒ ගොල්ලෝ දාලා ඉන්න සංචාරක තහනම අයින් කරන්න කියලා. ඇමරිකාව තමයි ඉස්සල්ලම දැම්මේ. ඒ අනුව තමයි තවත් රටවල් කිහිපයක් දැම්මේ .මම ඒ අයගෙනුත් ඉල්ලීමක් කළා, මම හිතනවා බොහෝවිට හෙට දවසෙන් පස්සේ ඒ තත්ත්වයත් වෙනස් කරයි කියලා. මට ආරක්ෂක අංශ සහ බුද්ධි අංශ ගැන විශ්වාසයක් තියෙනවා. ඒ නිසා දෛනිකව කටයුතු හොඳින් කරන්න. අඩුපාඩු තියෙනවා නම් ඒවා දන්වන්න. ආණ්ඩුවක් විදියට මහජනතාව ගේ ආරක්ෂාව, ආයතනවල ආරක්ෂාව, පොදු දේපළ, පෞද්ගලික දේපොළ ආරක්ෂාව වෙනුවෙන් අපි සෑම වැඩ පිළිවෙළක්ම ක්‍රියාත්මක කරනවා. මොනව හරි යෝජනා ගැටලු ප්‍රශ්න තියෙනවා නම් කරුණාකරලා ඒවා ඉදිරිපත් කරන්න. අපිට පුළුවන් ඒවා සාකච්ඡා කරන්න. මේ කටයුතු සංවිධානය කළ සියලු දෙනාටත්, පැමිණුනු මැති ඇමතිතුමාලා ඇතුළු ඔබ සැමටමත් ස්තුතිවන්ත වෙමින් අපේ වගකීම් සහ යුතුකම් ඉටුකර, හෙට දවස රටට හොඳ දවසක් කර ගනිමුයි මතක් කරමින් මගේ වචන ස්වල්පය අවසන් කරනවා.

සියලු දෙනාටම ස්තුතියි.

Share This Post

NEW