මහා ශිව රාත්‍රී පණිවුඩය

මහා ශිව රාත්‍රී පණිවුඩය
ලොව පුරා හින්දු ලබ්ධිකයන් උපවාස ශීලය සමාදන් වී මෝහාන්ධකාරය පරදා ප්‍රඥාව ජය ගැනීම සලකුණු කරන මහා ශිව රාත්‍රී දින උළෙලට පේවී සිටිනශ්‍රී ලාංකේය හින්දු භක්තිකයන් සමඟ මම ද සතුටින් එක්වෙමි.

හින්දු ආගමික දින දර්ශනයේ අතිශය වැදගත් උත්සවවලින් එකක් වන මහා ශිව රාත්‍රිය පුරා සිදුකරන අනේකවිධ ආගමානුකූල ක්‍රියාකාරකම් තුළින් මිනිසා තුළ නිසර්ගයෙන් දක්නා දුර්ගුණ ඉවත්ව මානසික පවිත්‍රතාව අත්පත් කරගත හැකි බව හින්දු බැතිමතුහු විශ්වාස කරති.

ඔවුන්ගේ ආගමික සම්ප්‍රදායට අනුව විශ්වයේ ශ්‍රේෂ්ඨතම පරම ආත්මය වන ශිව දෙවිඳු කෛලාශ කන්දේ වැඩ සිිටිමින් නිරන්තරයෙන් දුෂ්ඨාත්ම පළවා හරියි.අනේකවිධ කැළඹිලි, ඝට්ටන මැද ඉදිරියට යන ලෝකයක මිනිසාට මානසික ශාන්තිය උදාකර දෙන්නේ ආගමයි. නව ජවයකින් අලූත් හෙටක් පිළිබඳ බලාපොරොත්තු දල්වා සිටින ශ්‍රී ලාංකිකයන් අතරට අපගේ සහෝදර දෙමළ ප්‍රජාව ද අයත් වෙති.

අන්තර් – ආගමික සහජීවනය අන් කවරදාටත් වඩා කුළු ගන්වමින් රටේ සෑම ජන කොටසක්ම සිය මාතෘ භූමියේ උන්නතිය වෙනුවෙන් කැපවී සිටිනු දැකීම රටේ නායකයා වශයෙන් මට මහත් සතුටකි.මහා ශිව රාත්‍රියේ දල්වන පහනේ ආලෝකයෙන් සියලූ දනන්ගේ අධ්‍යාත්මය ආලෝකමත් වේවා යි මම පතමි.
ගෝඨාභය රාජපක්ෂ
2020 පෙබරවාරි මස 19 වන දින

Share This Post