“සෞභාග්‍යයේ දැක්ම” පොරොන්දු වූ සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයේ දීම සම්පූර්ණ කරනවා …

“සෞභාග්‍යයේ දැක්ම” පොරොන්දු වූ සියලු මාර්ග සංවර්ධන ව්‍යාපෘති නියමිත කාලයේ දීම සම්පූර්ණ කරනවා …

මහාමාර්ග අමාත්‍යාංශ ලේකම්

 

  • කොළඹ නගරයේ ප්‍රධාන මංසන්ධි පුළුල් කිරීමට පියවර …
  • නවීන තාක්ෂණයෙන් යුත් විදුලි සංඥා පද්ධති …
  • කොළඹ – පුත්තලම මාර්ගය කඩිනමින් සංවර්ධනයට …
  • අන්තර් ආයතන සබඳතාවලින් නාස්තිය අවම කිරීමට සැලසුම් …
  • කින්නියා කුරුඤ්ඤන්කේනි පාලම මාස 09ක් ඇතුළත …

 

“සෞභාග්‍යයේ දැක්ම” ප්‍රතිපත්ති ප්‍රකාශනයෙන් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා ජනතාවට දුන් පොරොන්දු ප්‍රකාරව සියලුම මාර්ග නියමිත කාලයට සංවර්ධනය කිරීමට පියවර ගන්නා බව මහාමාර්ග අමාත්‍යාංශයේ ලේකම් ආර්.ඩබ්.ආර්. පේමසිරි මහතා පවසයි. දිවයිනේ සියලුම අතුරු මාර්ග හා ප්‍රවේශ මාර්ග සංවර්ධනය කොට ප්‍රධාන මාර්ග පද්ධතිය හා සම්බන්ධ කිරීම කඩිනම් කර ඇති බව ද ලේකම්වරයා කියා සිටි.

“ශ්‍රී ලංකාවේ මාර්ග පද්ධතිය ගැන අලුත්ම තොරතුරු” යන මැයෙන් අද (25) පෙරවරුවේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්‍රවෘත්ති සාකච්ජාවට එක්වෙමින් ලේකම්වරයා මේ බව පැවසීය.

ජනාධිපති මාධ්‍ය ප්‍රකාශක, කිංස්ලි රත්නායක මහතා විසින් සාකච්ඡාව මෙහෙයවනු ලැබූ අතර සියලු විද්‍යුත් හා මුද්‍රිත මාධ්‍ය නියෝජනය කරමින් වීඩියෝ තාක්ෂණය ඔස්සේ මාධ්‍යවේදීහු සාකච්ඡාවට එක් වූහ.

ජනතාව ඉමහත් උනන්දුවකින් බලා සිටින මධ්‍යම අධීවේගී මාර්ගයේ මීරිගම සිට කුරුණෑගල දක්වා කිලෝමීටර් 41කින් සමන්විත කොටස නුදුරේදීම ජනතා අයිතියට පත්වන බවත්, කොවිඩ් වසංගතය හමුවේ දැඩි කැපවීමකින් උදාකරගත් එම අවස්ථාව විශාල ජයග්‍රහණයක් බවත් ලේකම්වරයා පෙන්වා දෙයි.  වසර 2024 වන විට මධ්‍යම අධිවේගී මාර්ගයේ සංවර්ධන කටයුතු සම්පූර්ණ කිරීමට හැකි වන බව ද ඒ මහතා කියා සිටි.

මාර්ග සංවර්ධනයේ දී අදාළ ප්‍රසම්පාදන ක්‍රියාවලිය අන්තර්ජාතික නියමයන්ට අනුව සිදු කෙරන අතර ඉදිකිරීම් වලදී ද ජාත්‍යන්තර ප්‍රමිතිය ආරක්ෂා කරගැනීම සඳහා ඉදිකිරීම් හා පුහුණු කිරීම් ආයතනය නියම කළ තාක්ෂණික පිරිවිතරයන්ට අනුව ම කටයුතු කරන බව ද පේමසිරි මහතා පවසයි.

කොළඹ නගරයේ මාර්ග තදබදයට හේතු වන ප්‍රධාන මංසන්ධි සියල්ල පුළුල් කර, නවීන තාක්ෂණයෙන් යුත් ආලෝක සංඥා පද්ධති සවි කිරීමට සැලසුම් කර තිබේ. භෞතික අවහිරතා ඇති ස්ථානවල ගුවන් පාලම් වැනි විකල්ප ක්‍රම භාවිතා කරමින් මාර්ග තදබදයට විසඳුම් ලබාදීමට සැලසුම් කර ඇති බවත් ප්‍රධාන නගර ආශ්‍රිතව විකල්ප මාර්ග ඉදිකිරීමට ද යෝජනා කර ඇති බව ද ලේකම්වරයා පැවසීය.

Share This Post