කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එජාපය අතර සාකච්ඡාවක්

කොරෝනා වෛරසය ව්‍යාප්තිය සමග රටේ උද්ගතව ඇති  තත්ත්වය පිළිබඳව රජය සහ එජාපය අතර සාකච්ඡාවක්

 

  • වෛරසය පාලනයට රජය ගෙන ඇති ක්‍රියාමාර්ග පිළිබඳව එජාපයේ ප්‍රසාදය …
  • ජන ජිවිතයට බාධාවක් නොවන අයුරින් අත්‍යාවශ්‍ය සේවා පවත්වාගෙන යා යුතු බවට දෙපාර්ශ්වයේමඅවධානය
  • සුහද සාකච්ඡාව පැය දෙකකට අධික කාලයක් ..

කොරෝනා වෛරසය පැතිරයාමත් සමග රටේ උද්ගතව ඇති තත්ත්වය පිළිබඳව රජය සහ එක්සත් ජාතික පක්ෂය අතර සාකච්ඡාවක් අද (01) දහවල් ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ සහ අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් පැවැත්විණ.

කොරෝනා වෛරසය රට තුළ ව්‍යාප්තිය වැළැක්වීමට රජයමෙතෙක් ගෙන ඇති ක්‍රියාමාර්ග හා ඉදිරියට  සැලසුම් කර ඇති වැඩපිළිවෙළ ජනාධිපතිතුමා දීර්ඝ වශයෙන් පැහැදිළි කළේය. මේ වන විට වෛරසය ආසාදිත පිරිසෙන් බහුතරය නිරෝධායන මධ්‍යස්ථානවලින් හඳුනාගත් අයහෝ මීට පෙර වෛරසය වැළඳුණු පුද්ගලයන් සමීපව ඇසුරු කළ අය අතුරින්හෝ හඳුනාගැනීමත් වෛරසය ව්‍යාප්තිය පාලනය කර ගැනීමට ඉමහත් පිටිවහලක් වූ බව ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා පෙන්වා දුන්නේය.

ජන ජිවිතය සාමාන්‍ය පරිදි පවත්වාගෙන යාමට අත්‍යාවශ්‍ය සේවාවන්, ආහාර ද්‍රව්‍ය, ඖෂධ බෙදාහැරීමේ යාන්ත්‍රනය සහ කාර්ය සාධක බලකාය ක්‍රියාත්මක කර ඇති වැඩපිළිවෙළ පිළිබඳව එහි ප්‍රධානී සහ ජනාධිපති විශේෂ නියෝජිත බැසිල් රාජපක්ෂ මහතා පැහැදිළි කළේය. දිවයිනේ හඳුනාගත් පවුල් හැට පන් ලක්ෂයෙන්,  පවුල් පනස් තුන් ලක්ෂයකට අප්‍රේල් මස 09 වන දිනට පෙර රුපියල් 5,000/- බැගින් ලබාදීමේ ක්‍රියාවලිය සිදු කෙරෙමින් පවතින බවත් බැසිල් රාජපක්ෂ මහතා පැවසීය.

වෛරසයේ ව්‍යාප්තිය මර්දනය සඳහා ගෙන යන වැඩපිළිවෙළ සාමාන්‍ය ජන ජිවිතයට ඇති විය හැකිබාධා අවම වන අයුරින්  සිදු විය යුතුය යන්න දෙපාර්ශ්වයේම මතය විය. වැඩපිළිවෙළ නිර්දේශපාලනික විය යුතු බවට දෙපාර්ශවයම එකඟ වූහ. රටේ ආර්ථික ක්‍රියාවලිය බිඳ නොවැටි අඛණ්ඩව පවත්වාගන යාම මෙන්ම රාජ්‍ය සේවකයන්, ව්‍යාපාරිකයන් හා වැවිලි ක්ෂේත්‍රයේ ප්‍රජාවමෙන්ම දෛනිකව විවිධ රැකියාවල සහ ස්වයං රැකියාවල නිතර වු පිරිස් මුහුණ දී තිබෙන දුෂ්කරතා පිළිබඳවත්, ඒවාට දිය යුතු විසඳුම් පිළිබඳවත් දෙපාර්ශ්වයම අවධානය යොමු කළහ.

වෛද්‍යවරු, හෙද ඇතුළු සමස්ත සෞඛ්‍ය කාර්ය මණ්ඩල, ත්‍රිවිධ හමුදාව, පොලීසිය ඇතුළු සියලු ආරක්ෂක අංශවල කැපවීම ද දෙපාර්ශ්වයේම ඇගයීමට සහ ප්‍රසාදයට ලක් විය. සාකච්ඡාවට එක් වූ කණ්ඩායම දිස්ත්‍රික් වශයෙන් සිය පක්ෂ නියෝජිතයන් දැනුවත් කිරීමට ද එකඟ වූ අතර පැය දෙකකට අධික කාලයක් සිදු වූ සාකච්ඡාව ඉතා සුහදශීලිව සහ සාර්ථකව පැවැත්විණි.

රජය නියෝජනය කරමින් දිනේෂ් ගුණවර්ධන , නිමල් සිරිපාලද සිල්වා, විමල් වීරවංශ, බන්දුල ගුණවර්ධන, ජොන්ස්ටන් ප්‍රනාන්දු, ඩලස් අලහප්පෙරුම යන අමාත්‍යවරු ද එක්සත් ජාතික පක්ෂය නියෝජනය කරමින්  උප නායක රවී කරුණානායක, අර්ජුන රණතුංග, රුවන් විජේවර්ධන, දයා ගමගේ, පාලිත රංගේබණ්ඩාර, නවීන් දිසානායක, ලක්ෂ්මන් විජයමාන්න යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරු ද, ජනාධිපති ලේකම් ආචාර්ය පී.බී. ජයසුන්දර, මුදල් අමාත්‍යාංශයේ ලේකම් එස්. ආටිගල සහ මහබැංකු අධිපති මහාචාර්ය ඩබ්ලිව්.ඩී. ලක්ෂ්මන් යන මහත්වරු ද මීට එක්ව සිටියහ.

Share This Post