විපතට පත් ජනතාවට සහන සැලසීමට චක්‍රලේඛ සහ අණ පනත් බාධාවක් කර ගන්න එපා – ජනපතිගෙන් බලධාරින්ට උපදෙස්

විපතට පත් ජනතාවට සහන සැලසීමට චක්‍රලේඛ සහ අණ පනත් බාධාවක් කර ගන්න එපා – ජනපතිගෙන් බලධාරින්ට උපදෙස්
  • සහන මධ්‍යස්ථාන කිහිපයක් ජනපති නිරීක්ෂණයට …
  • ආපදා තත්ත්වය පහව යාමත් සමග නැවත පදිංචි කිරීම් අරඹන්න …

 

හදිසි ගංවතුර ආපදාවෙන් විපතට පත් ජනතාවට කඩිනම් සහන සැලසීමේ දී චක්‍ර ලේඛ සහ අණ පනත් බාධාවක් කර නොගන්නා ලෙස ජනාධිපතිතුමා නිලධාරින්ට උපදෙස් දෙයි.

එවැනි අණ පනත් වේ නම් ඒවා සංශෝධනය කරන ලෙස ද උපදෙස් දෙනු ලැබිණ.

විපතට පත්වූවන් උදෙසා වන සහන වැඩපිළිවෙල සමාලෝචනය කිරිමේ විශේෂ සාකච්ඡාවක් ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (23) පෙරවරුවේ අනුරාධපුර ජනාධිපති මන්දිරයේ දී පැවැත්වුණු අතර එහිදී ජනාධිපතිතුමා මේ උපදෙස් දුන්නේය.

අනතුරුව ජනාධිපතිතුමා අනුරාධපුර සහ පොළොන්නරුව දිස්ත්‍රික්කයන්හි අවත්නැන් වූවන් රැඳී සිටින සුබසාධන මධ්‍යස්ථාන කිහිපයක  නිරීක්ෂණ චාරිකාවක නිරත විය.

පළමුව රාජාංගනය යාය 02 ශ්‍රී දුටුගැමුණු විහාරය වෙත ගිය එතුමා එහි සිටින ජනතාව හමුවී සුහද කථා බහක නිරත විය.

විපතට පත් ජනතාවට අවශ්‍ය සියලු සහන කඩිනමින් සම්පාදනය කළ යුතු අතර කිසිදු පුරවැසියෙකු අපහසුතාවට පත් නොකළ යුතු බව ජනාධිපතිතුමා අවධාරණය කළේය.

ආපදා තත්ත්වය පහව යාමත් සමග නැවත පදිංචි කිරීම් කඩිනමින් ආරම්භ කරන ලෙස ද අදාළ අංශ දැනුවත් කෙරිණ.

ජනතාවගේ සෞඛ්‍ය පහසුකම් පිළිබඳ විශේෂ අවධානයක් යොමු කිරීමේ වැදගත්කම ද පෙන්වා දෙනු ලැබිය.විහාරාධිපති පූජ්‍ය මහමාන්කඩවල ධම්මසිරි හිමියන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියහ.

අනතුරුව රාජංගනය යාය 09 ගැමුණු පුර ශ්‍රී බෝධිරාජරාම විහාරයේ සුබසාධන මධ්‍යස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා එම ජනතාවගේ ද තොරතුරු විමසීය.

ඔවුන් වෙනුවෙන් ගෙන යන සහන වැඩපිළිවෙළ ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.විහාරාධිපති පූජ්‍ය ඉහළමුල්ලේ චන්දජෝති හිමියන්  බැහැදුටු ජනාධිපතිතුමා උන්වහන්සේ සමඟ ද  සුහද කතා බහක නිරත විය.

Share This Post