“ගම සමග පිළිසඳර” ට – ජනපති කැබිතිගොල්ලෑවට යයි

“ගම සමග පිළිසඳර” ට – ජනපති කැබිතිගොල්ලෑවට යයි

කෘෂිකර්මාන්තය ජීවනෝපාය කරගත් ජනතාවට බාධා එපා – ව්‍යාපෘති සැලසුම් කිරීමේ දී අවතැන්වන්නන්ට කඩිනම් විසඳුම් දෙන්න.

                                                   ජනපතිගෙන් නිලධාරීන් උපදෙස්

 

“කණුගහවැව ආදර්ශ ගම්මානයක්” ලෙස  සංවර්ධනය ගුවන් හමුදාවට …

  • වැව් 21ක් සහ ඇල වේලි රැසක් කඩිනමින් පිළිසකර කෙරේ …
  • ඉඩම් ගැටළුවටත් ඉක්මන් විසඳුම් …
  • ප්‍රධාන සහ අතුරු මාර්ග සංවර්ධනයට පියවර …
  • කිරි ගව පාලනයට තෘණ බිම් …
  • සෞඛ්‍ය, අධ්‍යාපන, ප්‍රවාහන ගැටළු රැසකට පිළියම් …

 

“ගම සමග පිළිසඳර” සඳහා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා කැබිතිගොල්ලෑව, කණුගහවැව ගමට යයි. ජනාධිපතිතුමා සහභාගී වූ “ගම සමග පිළිසඳර” සිව් වැන්න මෙයයි.

2020 සැප්තැම්බර් 25 වැනි දින වැඩසටහන ආරම්භ වූයේ බදුල්ල දිස්ත්‍රිකයේ හල්දුම්මුල්ල ප්‍රාදේශීය ලේකම් කොට්ඨාසයේ වෙලංවිට ගම්මානයෙනි. මෙතෙක් කල් නිසි අවධානයට ලක් නොවූ නගරයෙන් බැහැර දුෂ්කර ගම්මාන වෙත ගොස් ගැමි ජනතාව මුහුණපා සිටින, දිගු කලක් නොවිසඳී ඇති ගැටළු නිවැරදිව හදුනාගැනීම, එම ගැටළු නිලධාරීන්ට ඝෘජුව ඉදිරිපත් කොට විසඳුම් දීම ජනාධිපතිතුමාගේ අපේක්ෂාවයි. කඩිනමින් විසඳිය හැකි ගැටළු ඒ මොහොතේම නිරාකරණය කෙරේ. විසඳීමට කල්ගතවන ප්‍රශ්න සටහන් කොට ගෙන පසුව ආමන්ත්‍රණය කරනු ලැබේ.

වැඩසටහනේ දෙවැන්න 2020 ඔක්තෝබර් 02 වැනිදා මාතලේ දිස්ත්‍රික්කයේ, විල්ගමුව ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයට අයත් හිඹිලියාකඩ ගම්මානයේ දී ද, තෙවැන්න දෙසැම්බර් 18 වැනි දින බලංගොඩ, ඉඹුල්පේ රාවණාකන්ද ගම්මානයේ දී ද පැවැත්විණ.

අද (30) පිළිසඳර සඳහා අනුරාධපුර නගරයේ සිට කි.මි 73ක් දුරින් පිහිටි කැබිතිගොල්ලෑව ප්‍රදේශීය ලේකම් බල ප්‍රදේශයේ කණුගහවැව ගම්මානය තෝරාගෙන තිබිණි. ජන හමුව කණුගහවැව ප්‍රාථමික විද්‍යල භූමියේ දී පවත්වනු ලැබීය. තල්ගහවැව, හල්මිල්ලවැටිය, තම්මන්නෑව, හේරත් හල්මිල්ලෑව, නිකවැව ඇතුළු ගම්මාන රැසක ජනතාව සිය දුක්ගැනවිලි ජනාධිපතිතුමාට දැනුම්දීම සඳහා රැස්ව සිටියහ.

කැබිතිගොල්ලෑව බෙදුම්වාදී යුද්ධය සමයේ එල්ටීටීඊ ත්‍රස්තවාදී භීෂණයට නිතර ගොදුරු වූ ප්‍රදේශයකි. 2006 ජූනි මස 15 වන දින හල්මිල්ලවැටිය ග්‍රාමයේ දී, කැබිතිගොල්ලෑව බස් රථය කොටි ත්‍රස්තවාදින්ගේ බෝම්බ ප්‍රහාරයට ලක් වීමෙන් කණුගහවැව සහ අවට ගම්වල 68 දෙනෙක් ජීවිතක්ෂයට පත් වූහ.

1995 සිට 1998 දක්වාත්, 2006 සිට 2008 දක්වාත් මේ ගම්මානවල වැසියන්ට ත්‍රස්තවාදී භීෂණය නිසා කඳවුරුගතව ජිවත්වීමට සිදු විය. දැන් එකී උවදුර අවසන් වී ඇතත් ඕව්හු බරපතළ ආර්ථික, සාමාජයීය ප්‍රශ්න රැසකට මුහුණ පා සිටිති. ග්‍රාමයේ දරිද්‍රතාව ජන සංඛ්‍යාවෙන් 54%කි.

 

Share This Post